කිඹුලට බය වුණාට වතුරට බය නෑ

 

මේ දවස්වල වැඩිපුරම ඉන්නේ මාදු ගඟේ 
 

මේ දිනවල ටෙලි රසික රසිකාවියන්ගේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඇති කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ චරිත දෙකක් මෙවර සිරිකත මුල් පිටුව හැඩ කරන්න එකතුවෙනවා. 
ඒ තමයි සුන්දරා සහ සුද්දි. 
 
නව පරපුරේ රංගන තරු අතර කාවින්ද්‍යා දුල්ෂාණි කියන්නේ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම  දිනාගත්  ශිල්පිනියක්. රංගනයෙන් පමණක් නොව නිවේදනයටද දක්ෂතා පෙන්වන ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලි නිර්මාණ කිහිපයකම දකින්න පු`ළුවන්. 
 

අපි සුද්දිගෙන්ම කතාබහ ආරම්භ කරමු නේද?
මේ දවස්වල ටෙලි කීපයකම වැඩ කරන නිසා ටිකක් විතර කාර්යබහුලයි. ‘ගගන පියවර’ ටෙලි නාට්‍යයේ ‘සලීමා’ මුස්ලිම් යුවතියකගේ චරිතයක්. කෝලම් කුට්ටමේ සුද්දි. මේ චරිත ටික එක්ක තමයි මම මේ දවස්වල ජීවත් වෙන්නේ. මේ චරිත අතරින් වැඩිම කාලයක් මම ගත කරන්නේ සුද්දි එක්ක. 
 
 
කොහොමද මාදු ගගේ ගත කරන ජීවිතේ?
කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය රූගතකිරීම් බොල්ගොඩ ආශ්‍රිතවත් කරනවා. මේ දවස්වල නම් ජීවිතේ ගෙවන්නේ මාදු ගඟේ.
මාදු ගඟේ ගත කරන ජීවිතේ නම් හරිම සුන්දරයි. රූගතකිරීම් අතරතුර ඔරුව පෙරළුණු අත්දැකීම නම් මැරෙනතුරු අමතක වෙන්නේ නෑ. චමීර අයියයි මමයි දෙපාරක් ඔරුව පෙරළිලා වතුරේ ගිලිලා තියෙනවා. අපි දෙන්නාම වැඩිපුර බය වුණේ වතුරේ ගිලෙනවාට නෙමෙයි. කිඹුලා එයි කියලයි. 
 
 
කාවින්ද්‍යා ඔරු පදින්න පුරුදු වුණේ සුද්දි නිසාමද?
ඇත්තටම ඔව්. මම අභියෝගවලට හරි කැමතියි. මාදු ගඟේ ඔරු පදින්න තිබුණු හුඟක් තැන් ගැඹුරුයි. මම කිඹුලාට බය වුණාට වතුරට බය නැහැ. 
 
 
සුද්දි කියන චරිතය කොහොමද කාවින්ද්‍යාට දැනෙන්නේ?
සුද්දි කියන්නේ සාම්ප්‍රදායික පවුලක ජීවත්වෙන ඒ වුණාට ඒ රාමුවෙන් පිට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. දඟකාරකම  කෙළිලොල්කම තිබුණත් තාත්තා සාම්ප්‍රදායික නිසා ඒ රාමුවේම ඉඳගෙන තාත්තාගේ දේවල්වලටත් උදව් කරගෙන පවුලට ගොඩක් ලෙංගතු, පවුල් බර කරට අරන් ජීවත්වෙන ශක්තිවන්ත චරිතයක්. සුද්දිගෙ ජීවිතේ සමහර දේවල් මගේ ජීවිතයටත් දැණුනු තැන් තියෙනවා.
මගේ රංගන ජීවිතේ තිබුණු එක හීනයක් තමයි ශිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන එක. ඒවාගේම පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර, කැමරාකරණය ප්‍රභාත් දර්ශන මේ ප්‍රවීණයන් සමග වැඩ කරන එකත් මට තිබුණු ලොකු ආසාවක්. ඒ හීනය සැබෑ වෙන්නේ මට සුද්දි කියන චරිතය හරහා. ශිවගුරුනාදන් කියන්නේ මගේ රංගන දිවියේ මුණ ගැසුණු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුවරයෙක්. මට ඒ අවස්ථාව, අත්දැකීම ලබා දුන්නාට ඒ සියලුමදෙනාට ස්තූතිවන්ත වෙනවා.
 

සුන්දරා ගැනත් කියමුද?

චමීර අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම බය නැතිව ඔරු පදින්නෙත් චමීර අයියා ඉන්න නිසා. මොකද ඔහු පිහිනුම් ශූරයෙක්. 
 
 
කාවින්ද්‍යාගේ ජීවිතේ පිටුපස ඉන්න ශක්තිවන්තම චරිතය කවුද?
ඒ ශක්තිවන්තිය මගේ අම්මා. ජීවිතේ ආපු ප්‍රශ්නවලදී මුහුණ දෙන්න සිදුවන යම් සිදුවීම්වලදී මම මානසිකව ගොඩක් තැන්වල කඩා වැටුණා. සමහර තැන් ගොඩ දාගත්තෙ කොහොමද කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි ඒ හැම තැනකදීම හිනාවෙලා ආයෙමත් ජීවිතේ අලුතින් පටන් ගන්න කියලා මාව ධෛර්යමත් කළේ මගේ අම්මා. ලෝකයේ මිනිස්සු මොනවා කිව්වත් අම්මාගේ හයිය හරි බලවත්.
 
 
මේ වෙනකොට කාවින්ද්‍යා පෙම්වතියක්ද?
ඔව්. ඔහුගේ සහයත් මගේ වැඩකටයුතුවලට උපරිමයෙන් ලැබෙනවා. 
 
 
කාවින්ද්‍යාගේ ජීවිතයේ ප්‍රතික්ෂේපවීම් තියෙනවාද?
අම්මෝ ඔව්..... ආදරේ කියන කාරණාව ඇතුළෙ මම ගිනිපෙනෙල්ලෙන් බැටකාපු කෙනෙක්.
 
 
ජීවිතේ ගත් නිවැරැදිම තීරණය මොකක්ද?
කලාව තෝරා ගැනීම.
විලාසිතාවලට කොහොමද කැමැත්ත

මම ගොඩක් කැමැතියි ටැටූ විලාසිතා කරන්න. තේරෙන කාලේ ඉඳලා ටැටූ එකක් අඳින්න ආසාවෙන් හිටියේ. මුලින්ම ටැටූ එකක් ගැහැව්වේ ගෙදරට හොරෙන්. අම්මාට ටැටූ එක අහුවුණු වෙලාවේ ගුටිත් කෑවා. 

 


 

මේ දවස්වල මරණ බය දැනෙනවා 

චමීර ලියනගේ
 
සුන්දරාගෙ නියම නම තාම එළියට ආවෙ නෑ 
 
 
මීළඟට අපේ කතාබහට එකතු වුණේ දක්ෂයන් අතර චරිතාංග නළුවෙකු ලෙස අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් ආදාරණීය චරිතයක්. කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ සුන්දරාගේ චරිතයට පණ දෙන ඔහු චමීර ලියනගේ.
 
 
කොහොමද මේ දවස්වල ජීවතේ?
මේ දවස්වල ජීවිතේ මාදු ගඟත් එක්කම තමයි ගෙවන්නේ. දවසම මාදු ගඟේ තමයි. අපිත් දැන් දියකාවෝ වගේ තමයි. කෝලම් කුට්ටමට අමතරව මම දායක වෙලා ඉන්න චන්දික විජේසේකරගේ ගඟන පියවර ටෙලි නාට්‍යයත් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. 
 

අපි සුන්දරා ගැන කතා කළොත්....
මේ නිර්මාණයේ මම ද්විත්ව චරිතයක් නිරූපණය කරන්නේ. ඇත්ත නම සෙනාල්. අනෙක් නම තමයි සුන්දරා සහ සර්. තාම කතාව ඇතුළේ සුන්දරා කියන්නේ කවුද කියලා හෙළිවෙලා නැහැ. සුන්දරාගේ ඇත්ත චරිතය මොකක්ද කියලා ඉදිරියේදී එළියට එයි.
 
 
ඒ කියන්නේ සුද්දිගෙයි සුන්දරාගෙයි ආදර කතාව වෙන අතකට පෙරලෙයිද?
ඒ ආදාර කතාව හොඳ තැනක නතර වෙයි කියලා හිතනවා. කතාවට අනුව සුද්දිගේ දෙවියා ඉතිං සුන්දරා තමයි.
 
 
සුන්දරා මොන වගේ අත්දැකීමක්ද?
රත්තිලවැව, ගිරිදේවි, බලවෙට්ටුවා, වෙස්, දාම් හරහා පසුගිය කිලසීමාව පුරා මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත.
 
ඒ චරිත හරහා මට වටිනාකමක් හැදුණා. සුන්දරා කියන්නේ මට වෙනස්ම වටිනාකමක් එකතුවුණු චරිතයක්. සුන්දරාට පාරේ බැහැලා යන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. 
 
කෝලම් කුට්ටම කියන්නේ මට මරණ බය දැණුන නාට්‍යයක්. සද්ධා අයියාගේ පිටපතේ තියෙන  ත්‍රාසජනක දේවල් මම කිසිම වෙලාවක නොකර ඉඳලා නැහැ. පසුගිය දවසක රූගතකිරීමකදි අපි බෝට්ටුවේ ඉද්දි එතනින් කිඹුලෙක් ගියා. එදා කිඹුලා ඇස් දෙකටම දැක්ක වෙලේ නම් කකුලුත් පණ නැති වුණා. ඒවාගේම තව දර්ශනයක් තිබුණා මීටර් 50 විතර බෝට්ටුවෙන් පැනලා ගොඩට පීනගෙන එන්න. එදා එක හුස්මට පීනුවා. මම පීනුවේ මගේ ශක්තියට නෙමෙයි. කිඹුලට තියෙන බයට. 
 
සද්ධා සර්, ශීවා සර්, ප්‍රභාත් අයියා යන අයට ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව මට දුන්නාට. ඒ අවස්ථාව ලැබුණු වෙලාවේ දැණුන සතුට කියලා නිම කරන්න බැහැ. මේ චරිතය හරහා මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මට හැඟුණා. මේක නිකම්ම නිකං දෙබස් කියන නිර්මාණයක් නෙමෙයි. 
 
 
ආදරේ කොයි විදියටද ගළපාගන්නේ?
ආදරේට මම ආදරෙයි. තාම තනිකඩයෙක්. තව ටික දවසක් නිදහසේ ඉන්න ආසයි. පරණ ආදරේටත් මම තාමත් ආදරෙයි. අදටත් ඇය මගේ දුකේදි සැපේදි ළඟින් ඉන්න හොඳ යාළුවෙක්. මමත් එහෙමයි. ආදරය, විවාහය කියන දේවල් ගැන මම ලොකුවට හීන මවන්නේ නැහැ.
නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය Read Previous

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය Read Next

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය

Realted Post