තීරණාත්මක වෙනසක් ඇති වෙනවාමයි - වත්මන් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය කලින්ම කියූ අනාවැකිය

2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකව සිටි අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු දේශපාලන ඉතිහාසයේ සලකුණක් තබමින් මෙරට තුන්වැනි කාන්තා අගමැතිනිය ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පසුගියදා අගමැති ධුරයේ දිවුරුම් දුන්නාය.

  • පළමුවරට ආචාර්යවරියක් අගමැති ධුරයට

ආචාර්ය හරිනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමට පෙර ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි චරිතයකි. 2020 මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය හිමිකරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වෙමින්, මේ දක්වා ඇය එම මන්ත්‍රී ධුරය හොබවමින්  NPP වටා ජනතාව බලගැන්වීම උදෙසා සක්‍රීයව කටයුතු කළාය.
ලෝකයේ පළමු අගමැතිනිය පත්වූයේද ශ්‍රී ලංකාවෙනි. ඒ, සිය සැමියා වන හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසුව අගමැතිනිය ලෙස දේශපාලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායකයි. ඉන්පසුව ඇගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  (1994) අගමැතිනිය බවට පත්වූවාය.
හරිනි අමරසූරිය අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිට සක්‍රීය දේශපාලනයට පිවිස, අද වන විට මෙරට පළමු වරට ආචාර්ය උපාධියක් හිමි ශ්‍රී ලංකාවේ අගමැතිනිය බවට පත්ව තිබේ. මේ සියල්ල හරහා කාන්තාවක් ලෙස ඇය දකුණු ආසියානු දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්ද නිතැතින්ම සලකුණු කර තිබේ.

  • NPP ප්‍රබල සාමාජිකාවක් 

2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රචාරණ වේදිකාවල ආචාර්ය හරිනි අමරසූරිය කැපී පෙණුනු චරිතයකි. ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගය විසින් සංවිධානය කළ කාන්තා සමුළුවේද මුල් තැන ගත් ඇයගේ කැපවීම කෙතරම්ද යන්න හුවා දැක්වීමට, ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමග සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් මෙලෙස ගෙන එන්නෙමු. 
“අපගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මම කිලෝමීටර් 21,500කට වැඩි දුරක් ගමන් කර තිබෙනවා. මා රැස්වීම් සිය ගණනක කතා කරන්න ඇති. දහස් ගණන් මිනිසුන් හමුවෙන්න ඇති. එය මගේ මුළු ජීවිතයේම ප්‍රීතිමත් සහ වෙහෙසකර කාලයක් වුණා” 

  • නව අගමැතිනිය ගැන කෙටි සමාලෝචනයක්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක​ ලෙස කටයුතු කරමින් ඇය ජාතික ජනබලවේගයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ  2020 වර්ෂයේදීය.   1970 මාර්තු 6වන දින කොළඹදී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවෙක් වන අතර, ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටී. කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ඇය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.
ඇය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇත.  ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගනිමින් 2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තවදුරටත් විස්තර දක්වනවා නම්, මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක්ද ඇයට හිමිය.
නිරන්තරයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සක්‍රීයව කතා කළ චරිතයක් වන මැය, ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙසද කටයුතු කළාය. ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක අධ්‍යක්ෂ ධූරයක් සහ සභාපති ධූරයක්ද, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක ද තනතුරක්ද දරා තිබේ.
නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ගෙන යන ලද අරගල රැසකට සම්බන්ධ වූ ඇය, 2011දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන්  6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක කරන ලද අරගලයටද ක්‍රියාකාරීව සම්බන්ධ වූවාය. මීට අමතරව ඇය දිගින් දිගටම නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ගෙන යන ලද අරගල රැසකටද සම්බන්ධ වූවාය. 
manthri.lk වෙබ්අඩවිය සිදුකර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව, මන්ත්‍රීවරුන් 225දෙනා අතරින් ඇය 65වන ස්ථානයේ සිටින අතර, ඇය මාතෘකා 14ක් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. මෙහිදී ඇය වැඩි වශයෙන් අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපනය, අයිතිවාසිකම් හා නියෝජනය, සෞඛ්‍ය සහ ආර්ථික හා මූල්‍ය සම්බන්ධ මාතෘකාවලටය.
වංචා දූෂණ මෙන්ම, දුෂණ සම්බන්ධයෙන් පමා කෙරුණු විමර්ශනයන්හී සාධාරණය වෙනුවෙන් කතා කළ ඇය, නිරතුරුව පැවසුවේ ඔවුන්ගේ පාලනයකදී හුදෙක් ඔළු ගෙඩි මාරුවක් පමණක් සිදුනොවන බවයි.  ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක වෙනසක් ඒ තුළ සිදුවන බවද පැවසුවාය. මීට වසර දෙකකට පෙර ජාතික ජනබලවේගය  64දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව හඳුන්වා දුන් අතර, ඉන්පසුව දිස්ත්‍රික් විධායක සභාද සැලසුම් කරමින් කොට්ඨාස මට්ටමෙන් කොට්ඨාස සභා පිහිටු විය. කොට්ඨාස සභා පිහිටුවීමේ එකම අරමුණ ජනතා බලයක් ගොඩනගමින් සංවිධාන රාමුවක් ඇති කිරීම බව පවසමින් ඇය ඊටද සිය ශක්තිය ලබාදෙමින් කටයුතු කළාය. 

  • තීරණාත්මක වෙනසක් ඇති වෙනවා - කලින්ම කියූ අනාවැකිය 

මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව අනිවාර්යයෙන් වෙනසක් සිදුකරන බව ඇය නිරතුරුව පැවසුවාය.
“අද තියෙන්නේ 1994, 2019 හෝ 2020 තිබුණ තත්ත්වය නෙමෙයි. පහුගිය කාලයේදී ජනතාව තුළ ඇතිවෙච්ච වෙනස අපට මගහරින්න බැහැ. NPP කියන්නේ ඒ වෙනස හොඳටම තේරුම් අරගෙන වැඩ කරන පක්ෂයක්. අනෙක් දේශපාලන පක්ෂවල තියෙන ලොකුම දුර්වලතාවය ඒ වෙනස ඔවුන් හරියට තේරුම් නොගැනීම. ඒ නිසාමයි ඔවුන් ප්‍රතික්ෂේප වෙන්නේ. ඒ නිසා මීළඟ මැතිවරණයේදී ඒ වෙනස වෙනවා. මෙවර ඇතිවෙන්නේ තීරණාත්මක අවස්ථාවක්. වසර 75ක දේශපාලනය වෙනස් කළ යුතුයි කියන තැන ඉඳලයි ජනතාව අද දේශපාලනය සමග සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මීට පෙර නොදැකපු වෙනසක් සිදුවෙනවා.”එමෙන්ම  ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක බවත්, ජනාධිපති අපේක්ෂකයාද ඔහු බවත් ඇය එදා පැවසුවාය. එය මේ වන විට යථාර්ථයක් බවට පත්වී හමාරය. බලයට පත්වූ පසු දඬුවම් ලබාදිය යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවත්, එසේ නොකළොත් ජනතාව අපට සාප කරාවි යන්නත් ඇය පැවසුවාය.
NPP තෝරාගැනීම ගැන මොකද හිතෙන්නේ ? යනුවෙන් අප වරක් ඇයගෙන් ඇසූ ප්‍රශ්නයකට ඇය දුන්නේ මෙවන් උත්තරයක්. 

“මම දේශපාලනය කරන්නවත් නොහිතපු කෙනෙක්. පාර්ලිමේන්තුවට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැති කෙනෙක්. 2020 මම මේ තීරණය ගත්තේ හරිම අකමැත්තෙන්. නමුත් ඒ වෙලේ මගේ හිතේ දේශපාලන ව්‍යාපාරයට තිබ්බ ගෞරවය නිසා මම දේශපාලනයට එන්න තීරණය කළා. අද මම ගත්ත තීරණය ගැන සතුටුයි.” 

නිරන්තරයෙන් අප සමග සම්බන්ධ වෙමින් දේශපාලනය මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් ගැන ජනතාව දැනුම්වත් කිරීමට සම්බන්ධ වූ මිත්‍රශීලී, සරල දිවි පෙවෙතක් ගතකරන, ප්‍රියමනාප චරිතයක් වූ හරිනි අමරසූරිය පරිසරයට මෙන්ම සතුන්ටද බෙහෙවින්ම ආදරය කළ චරිතයක් බවද කිවයුතුය. 
දශක දෙකකට අධික කාලයකට පසු මෙරට අගමැති ධුරයට පත් වූ තුන්වැනි කාන්තාව වන ආචාර්ය හරිනි අමරසූරිය ගැන තවත් විස්තර බොහොමයකි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබට ගෙන එන්නට සිරිකත අපි බලාපොරොත්තු වෙමු.  

ඇය පාර්ලිමේන්තුවේ දැරූ තනතුරු, 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
සත්ත්ව සුබසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව,
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
සාමාජිකත්වය දැරූ කාරක සභා
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව) අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව ගැටලු විමර්ශනය කිරීම සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ අනුකාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව)

  • ශෂිකලා වර්ණසූරිය

 

 

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජීවත්වීමට  පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් Read Previous

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජීවත්වීමට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ Read Next

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

Realted Post

Leave a comment