දුවන ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ නෑ

දමිළ චරිතවලට ප්‍රසිද්ධ සිංහල රුවැත්තිය

 

 

මේ දිනවල‘ නොනිමි’  ටෙලි නාට්‍යයෙන් හමුවන ‘තමලිනී’ කියන්නේ තමන්ටම අනන්‍ය වූ විවිධ හැඩතල සොයමින් ප්‍රේක්ෂකාගාරය තුළ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා සිටින රුවැත්තියකි.
සිනමාවෙන්, පුංචි තිරයෙන් ඇයව නිරන්තරයෙන් දකින්නට නොලැබුණත් වේදිකාවේ නිතර මුණ ගැසෙන ඇය තිලක්ෂිණී රත්නායක ය. මෙවර අපේ සිරිකත හැඩ කරන්නී ඇයයි. 


■ මාණික්කාවතේ සුගුණහාමිට සමුදෙනවාත් එක්කම තමලිනී කියන දෙමළ කෙල්ලව මුණගැසෙන්නේ කොහොමද?
මාණික්කාවත ටෙලි කාට්‍යයේ සුගුණහාමි කියන්නේ මගේ රංගන ජීවිතේ ලැබුණු සුවිශේෂිම චරිතයක්. ටෙලි නාට්‍යය ඉවර වුණත් තාමත් සුගුණහාමිට ප්‍රේක්ෂකයෝ ආදරෙයි. නොනිමි ටෙලි නාට්‍යයේ පිටපත මගේ අතට ලැබෙන්නේ මාණික්කාවතේ පිටපත ලැබෙන්නත් කලින්. මාණික්කාවත අවසන්වනවාත් එක්කම නොනිමි විකාශනය ආරම්භවීම ලොකු සතුටක්.
වෙනස් චරිත එක්ක වෙනස් ප්‍රතිචාර විඳින්න මම හරි ආසයි. තමලිනීව මට මුණගැහෙන්නේ නොනිමි අධ්‍යක්ෂ සුරාජ් මාපා අයියාගේ ආරාධනයෙන්.

 


■ තමලිනී චරිතයත් එක්ක හුඟක් ප්‍රේක්ෂකයන්ට තිබෙන ප්‍රශ්නයක්? ඇත්තටම තිලක්ෂණී දමිළ යුවතියක්ද?
මගතොටේදී දැක්කත් හැම කෙනෙක්ම මගෙන් අහන්නේ ඔයා දෙමළද කියලා. සමහර අය දෙමළත් මාත් එක්ක කතා කරනවා. මම දෙමළ විලාසිතාවලටත් හුඟක් කැමැතියි. ඒවාගේම මම ඉපදෙන්නේ, හැදෙන්නේ කොළඹ කොටහේන ආශ්‍රිතව. මේ මුළු පරිසරයේම ඉන්නේ දමිළ ජනතාව. සිංහල පවුල් ඉන්නේ ටිකදෙනයි. 
මමත් සිංහල කතෝලික, සිංහල බෞද්ධ මිශ්‍රණයක්. බහු ආගම්, බහු සංස්කෘතික ලක්ෂණ පුංචි කාලේ ඉඳලාම මට ලැබුණා. එහෙම පරිසරයක ජීවත්වෙන නිසාද මන්දා මම දමිළ චරිතවලටත් හරිම ආසයි. 

 


■ තමලිනීගේ චරිතයට ඔබේ රූපය විශේෂ වුණේ කොහොමද?
ඇත්තටම තමලිනීගේ චරිතයට ගැළපෙන කෙනෙක් සුරාජ් මාපා අයියා කාලෙක ඉඳන් සොයලා තියෙනවා. ඒ අතරේදී දසුන් පතිරණ සුරාජ් අයියාට මං ගැන කියලා තියෙනවා. 

 


■ මේ ඔයා දමිළ යුවතියකගේ චරිතයකට දායක වූ පළමු වතාවද?
නැහැ. මම යාපනය, වව්නියාව, මඩකලපුව ආශ්‍රිතව දමිළ සිනමාකරුවන්ගේ කෙටි චිත්‍රපටිවලට දායක වෙලා තියෙනවා. ඒ අතරතුර දෙමළ භාෂාව කතා කරන චරිත කීපයකුත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තමිලිනීගේ චරිතය ගොඩනගාගන්න ඒ දමිළ කෙටි චිත්‍රපට හරහා ලැබුණු පුහුණුව සෑහෙන්න මට උදව් වුණා.

 

 


■ වේදිකාව පැත්තෙන් මොනවාද මේ දවස්වල අලුත් වැඩ කටයුතු?
ජනවාරි 20,21,22 රජිත දිසානායකගේ නාට්‍ය උලෙළක් පැවැත්වෙනවා. 21 වැනිදා මම දායක වෙලා ඉන්න සිහින හොරු අරන්, ලයනල් වෙන්ට්ඩ් ශාලාවේදී වේදිකා ගතවෙනවා. මේ දිනවල එහි පුහුණුවීම් වගේම නොනිමි රූගතකිරීම්වලට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව දිලංක රංගනාත්ගේ ඩිංකා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතුවලටත් මේ දිනවල දායක වෙනවා.

 


■ තිලක්ෂිණී මේ වෙනකොට වෘත්තීමය රංගන ශිල්පිනියක්ද?
කෙටි නාට්‍ය හරහා මම ප්‍රසිද්ධ වේදිකාවෙන් තමයි මගේ කලා ගමන අරඹන්නේ. මම ඉහළට ඉගෙන ගත්තේ පරිගණක අංශයෙන්. ඒත් එක් තැනකදී ඒ සියල්ල නතර කර කලාවට ආවාට පස්සේ නැවත මම හැරෙන්න ගියේ නැහැ. ඒ අතෑරලා කලාව තෝරා ගැනීම බොහොම සිහියෙන් ගත් තීරණයක්. 

 

 


■ අඩුවෙන් වැඩ කරලා මේ වෘත්තීමයභාවය රැකගන්න පුළුවන්ද?
මම චරිත බෙදීමක් කරන්නේ නැහැ. විශේෂයෙන් චරිත භාරගනිද්දී මම පරිබාහිර කාරණා ගැන හිතන්නේම නැහැ. හැබැයි මම වැඩක් භාරගනිද්දී පිටපතක් නැති දුවන ටෙලි නාට්‍යවලට නම් දායක වෙන්නේ නැහැ. පිටපතක් නැතිව ඒ වෙලාවේ දෙන දෙබස්වලට රඟපාන්න මට අමාරුයි. එහෙම අවස්ථාවල මම වැඩ දාලා ගෙදර ආපු අවස්ථාත් තියෙනවා. හැබැයි මම කරන වැඩේ අවංකව කරනවා.

 


■ තිලක්ෂිණීගේ ආදරය කොයිවගේද? 
මම සදාකාලික ආදරවන්තියක්. මම ආදරය ලබනවා, විඳිනවා. මවුපියන්ගෙන්, යහළුවන්නේ, ප්‍රේක්ෂකයින්ගෙන් මට උපරිමයෙන් ආදරය ලැබෙනවා. 

 

නදීශා අතුකෝරාළ
ඡායාරූප : සජීව ලක්ෂාන්


 

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Previous

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

The Next Face Read Next

The Next Face

Realted Post