නිදහසේ කතාව

ශ්‍රී ලංකාවේ  පළමු  නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 4 දා කොළඹ නිදහස් චතුරස්‍රය අසල ඉදිකරන ලද තාවකාලික ශාලාවක පැවැත්වුණු  අතර එහිදී එම ඓතිහාසික  දිනය රජයේ  නිවාඩු  දිනයක්  ලෙස ද  නම් කෙරිණි. එම උත්සවය ශ්‍රී ලංකාවේ  පළමු ආණ්ඩකාරවරයා වූ    හෙන්රි  මේසන් මුවර් මහතාගේ   සහභාගීත්වයෙන්  ඇරඹිණි.

ලංකාවේ  පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා ගුවන් විදුලිය ඔස්සේ ජාතිය අමතන ලදී.
ආනන්ද  සමරකෝන් මහතා   විසින් රචිත  නමෝ නමෝ මාතා ගීතය ජාතික  ගීය ලෙස තෝරාගෙන  තිබුණද  එය මුල්වරට ගායනා කරන ලද්දේ 1949  පෙබරවාරි 4 දින පැවැති දෙවැනි නිදහස් දින සමරු දින දීය. එම   ගීතය ගායනා කරන ලද්දේ  කොළඹ මියුසියස් විදුහලේ සිසුවියන් විසිනි.
මෙවර අප  නව රජයක්  යටතේ සමරන්නේ 77වන නිදහස් දින සමරුවයි. එහි තේමාව වී  ඇත්තේ ‘ ජාතික පුනරුදයට පෙළගැසෙමු’  යන්නයි.
අපේ  රටට   නිදහස හිමිවූයේ  1948 පෙබරවරි 4  වුවත් මෙරට  මැතිවරණ ඉතිහාසය ඇරඹෙන්නේ 1924 වසරේ ය. ඒ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් සඳහා පළාත් තුළින් පළමු  වතාවට මන්ත්‍රීන් තෝරාගැනීම අරඹමිනි. නිදහසේ තමන් කැමති පාක්ෂිකයකු තෝරා පත්කර ගැනීම එදා ඇරඹුනද ඊට පසු ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගන් නාමිකව නිදහස් වී 1948 දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය  සමග අද අප සැවොම කතාකරන දේශපාලන වටපිටාව ඇරඹෙයි.
එසේ වුවත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වන්නේ බලාපොරොත්තු  වූ  නිදහස අනුව සැබෑ සිංහල මිනිසුන්ට වඩා නාමිකව සිංහල මිනිසුන් නොවී දේශීයත්වයට තැනක් නොදෙන කළු සුද්දන්ය යන්න එදා මිනිසුන්ගේ අදහස විය. 
ඒ කාලය තුළ සාමාන්‍ය ජනතාව අතර තහවුරු වූයේ 1948 දී ලැබුණු නිදහස  අප බලාපොරොත්තු වූ සැබෑ නිදහස නොවේ ය යන්නයි. එයද නාමික නිදහසක් බවයි. ඒ බව බොහෝදෙනකු කතාබහට ලක් කළ අතර ඒ පිළිබඳව කවියෙන් ඉටු වූ  සේවාව අති මහත්  ය. 
විශේෂයෙන් වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කාර්යභාරය එදා පුවත්පත්, සඟරා තුළින් ඉටු වූ අතර කවි සඟරා ආදියෙන්ද ඉටුවූ සේවාව අති මහත් ය.
  • කවියෙන්  විරෝධය
අතීතයේ කවි සඟරා සඳහා සමාජයේ ඉහළ තැනක් හිමිවූ අතර එය ජනප්‍රියතම  මාධ්‍යක් බවට පත්වූයේ කවියෙන් සිය විරෝධතා මතු කිරීමට මහඟු පිටිවහලක්  වූ බැවිනි. දේදුන්න, මී වදය වැනි කාව්‍ය සඟරා තුළින් පියදාස සිරිසේන, පී.බී. අල්විස්  පෙරේරා , ජෝර්ජ්  රාජදාස , මළල්ගොඩ වැනි කවීහු ඉතා ඉහළ ප්‍රශ්න කිරීම්වල  නිරත වූහ. සමාජ අසාධාරණය, පවතින දේශපාලනය පිළිබඳව පුළුල් ලෙස මේ තුළින් ප්‍රශ්න කිරීම් සිදුවූ අතර ඒ දෑ විශ්වාස කිරීමට සමාජය ද පුරුදු  පුහුණුවී සිටියහ. අදීන පුවත්පත් කලාවේදීන් සහ කාව්‍ය සඟරා කළ කවීන් නිසා ඇත්ත  තත්ත්වය ප්‍රශ්න කරන්නට පෙලඹූනහ. මුද්‍රිත මාධ්‍යය දියුණු වූ කොළඹ යුගයේ  මුල් කාලය වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලාවල දියුණු වූ අතර යම් සමාන බවක්  පෙන්නුම් කරයි.  එදා සැමටම තම අදහස් ප්‍රචාරය කිරීමට මුද්‍රිත මාධ්‍යය හේතු වූ අතර  අද එය ඉටුකරන්නේ  සමාජ මාධ්‍යයයි. මෙහි යහපත් දේ වැඩි අතර  අයහපත් බවද නැත්තේ නොවේ. කවිය මොනතරම්  ප්‍රබල  අවියක් වූ වග 1952 ජුනි 1 දා නිකුත් වූ  මී වදය කවි සඟරාවේ ‘නිදහසේ  පියවරු’  නම් මෙම කාව්‍යයෙන් පැහැදිලි වේ.
 
බුරුමය භාරතය නිදහස් කර      දැම්මූ
ඇට්ලි  ඇතුළු දිවිතැනියේ සිටි    වම්මූ
අපිටද තෑගි සිත තරමක් දුර      නැම්මූ
බව  අද දනිති මෙහි නුවරහු  හා ගම්මූ
 
ජාතික සංගමය  හා සිලෝන්      ලීගය
නිදහස  කරා  මතකද ඇදුණු    වේගය
අද  දින ලබාගෙන නිදහසක      බාගය
තව දිවි තැනිය හා අප පුරුදු        දීගය
 
සියබස සිය  ඇඳුම ගැන නොමැති නිදහස 
බටහිර විලාසය වෙත පාති          මදහස
කීයක් වටිනවා ලොකු අයගෙ      අදහස 
කිසිවක් නොපෑයුතු මේ  වැඩට    උදහස
 
මේ  තුළින්  පැහැදිලි වන්නේ නිදහස වෙනුවෙන් පෙළගැසුණු අප ට  නිදහසෙන් පසුවද බලාපොරොත්තු වූ නිදහසක්  නොලැබුණු බවත් එසේ ලැබූ නිදහස සම්පූර්ණ එකක්  නොව භාගයක් බවයි.
සිලෝන්  ලීගය
සීලෝන්  ලීගය යනු නිදහස් සටනේ  පුරෝගාමීත්වය ගත් නායකයන් එකතු වූ සංවිධානයකි. 1965 දී පිහිටුවාගත්  මෙය ඉංග්‍රීසි  පාලකයන්නේ නොමනා පාලනය  මැඬපැවැත්වීමට යොදාගත්  අතර මෙම සංවිධානය පැවැතුණේ වසර හතරක්  පමණි.
  • ජාතික සංගමය
ඉංග්‍රීසි ජාතිකයන් සිංහල ජනතාවට එරෙහිව ගත් අසාධාරණ ක්‍රියා කලාප නිසා ඉංග්‍රීසි ආණ්ඩුව සිංහල ජනතාව මර්දනය කරන්නට පටන් ගත් අතර 1915 දී සිංහල මුස්ලිම් අරගලය හේතුවෙන් ඩී.බී. ජයතිලක, පියදාස සිරිසේන,  ආතර් ද සිල්වා වැනි පිරිස් නඩු විභාගයක් නොමැතිව සිරගත කරන ලදි. මේ ක්‍රියාවන්ට විරුද්ධව ලංකා ජාතික සංගමය බිහිවිණි.
වසර 1952  පළ වූ දේදුන්න සඟරාවේ කතුවැකිය ලියන්නේ පී.බී.  අල්විස්  පෙරේරා මහතාය. ඔහු ප්‍රජාන්ත්‍රවාදය ගැන කවියෙන්  මෙසේ කියා ඇත.
 
මැතිවරණයට  පත්කරගත්      නිලධාරී
සඳපත් දමන්නට ආ අය හට      බේරී
කතිරය අතන ගසපන් කියමින්      කාරී
ඉටුකෙරුවෝය මදහස ලැබ කොළ සාරී
 
නොදුනොත් අසවලා හට ඡන්දය    බාර
නොලැබෙයි සහල් කුපන් පත්   මේ පාර 
කීවෝ මුලාදෑනිහු එළිපිට              වීර 
මේවා ප්‍රජාතන්තර ගස්   වෙත    පෝර
 
අප ලද නිදහස පොදු ජනතාව සහභාගීත්වයෙන් ලද අරගලයක ප්‍රතිඵලයක්   නොවේ. මෙහිදී සිදුවූයේ බ්‍රිතාන්‍යයන් විසින් බටහිරකරණය කරගත් දේශීය සුපිරි පන්තිය නියෝජිතයන්ට බලය පැවරීමක් පමණි.හුදෙක්  සුදු පාලකයන්ගේ තැනට කළු පාලකයන් ආදේශවීමක් බව අවබෝධකර ගැනීමට හැකිය.
මේ  බහුතර බලය හිමිකරගත් රටට හිතැති මිනිසුන්ට වඩා මීට පෙර පාලනය කළ විදේශිකයන්ට හිතැති , සැප සම්පත්වලට කෑදර  මිනිසුන් නිසා  පමණක් නොව අද දවසේද අප රටට සිදුවී ඇත්තේ එක ම දේය. ඔවුන් සිතන්නේ ඔවුන්ට  ඇති වාසි පමණකි.
මේ  ක්‍රියා දෙස බලදිදී අපේ රටට නිදහස  ලැබුණායැයි  පැවසුවද ඇත්තටම දිනාගත් නිදහස, අමාරුවෙන් ගත්  නිදහස රැකගැනිමට අයිතිය  ඇත්තේ අපට ය.  ඒ නිසා සියලු දෙනාම එක ලෙස එකතුවී එය රැකගත්තේ  නැතිනම් අප සෑම වසරකම පෙබරවාරි හතරවැනිදාට පමණක් සමරන නිදහසක්  පමණක් උරුම වෙයි.
මුලසිටම සිදුවූ වැරැද්ද මත අදටත් අප පුරුදු  වී ඇත්තේ එම ක්‍රමවේදයම අනුගමනය කිරිමටයි. ඒ තුළින් අපේ රටට අහිමි වන දෑ බොහෝය. මෙය අපේ රට යැයි අපේ ම මිනිසුන්ගේ හිත්වලට එක සේ දැනිය යුතු කාලය එළඹ ඇත.
එසේ  නොවේනම්,
  • සිරිලක සිරි  තියෙනවාද?
  • නිදහස මෙහි තියෙනවාද?
 යනුවෙන් සෑම දිනකම  අසමින්  කාලය ගෙවා දැමිය හැකිය. තනි තනියෙන්  නොව සියල්ල එක්වී ලෝකයක්  දිනන්න ට මේ  නිදහස් දින සැමරුවෙන් පසුවවත් පෙළ ගැසෙමු. එය වඩා සාර්ථක කර ගැනීමට කාන්තා ඔබ, අපටද මනා දායකත්වයක්  දැක්විය  හැකිය. 

 

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක්  සකස් කෙරේ Read Previous

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ

නිදහසේ අභිමානය Read Next

නිදහසේ අභිමානය

Realted Post

Leave a comment