පවුල් කයිද මැරුම් කයිද දන්නේ නෑ

 

පාරදිගේ ‘සරනි’ සහ ‘රෙහාන්’ මේ දිනවල ටෙලි ප්‍රේක්‍ෂකයින්ට නම් අමතක කරන්නම බැරි යුවළක්. 
පාරදිගේ සරණි එහෙම නැතිනම් බන්ටි චරිතයෙන් ප්‍රේක්‍ෂකයන් අතර ඇවිද යන ඇය දුෂේනි මියුරංගි. පාරදිගේ ටෙලි නාට්‍යයේ ආරම්භක යුගයටත් වඩා වර්තමානයේ චරිතය ජීවමාන කිරීමට ඇය දරන උත්සාහය විශිෂ්ටයි.


ප්‍රේක්‍ෂකයන් චරිතවලට ඇබ්බැහි කරවන්න හිතන තරම් ලේසි නැහැ. පාරදිගේ සරණි සහ රෙහාන් එය  කළා නේද? 
මම මෙහි රඟපාන්නේ ද්විත්ව චරිතයක්, මේ දවස්වල සරණිට ලැබෙන ප්‍රතිචාරය හිතාගන්න බැහැ. ඒවගේම රෙහාන් සර්ගේ ආදරේටත් ප්‍රේක්‍ෂකයෝ ආදරෙයි. සරණිට හොඳ වගේම බණින ප්‍රතිචාරත් අඩුවක් නැතිව ලැබෙනවා. හැබැයි බන්ටිට වඩා සරණිට ගොඩක්ම ලැබෙන්නේ ආදරය. 

 


සරණි ඇතුළෙ බන්ටිව ජීවමාන කිරීම දුෂේනිට අභියෝගයක් වුණේ නැද්ද? 
ටෙලි නාට්‍යය ඇතුළෙ නැන්දම්මා ලේලි ගැටුම නිර්මාණය කිරිමේදී අධ්‍යක්‍ෂවරයා සහ පිටපත් රචක දෙපළ ඇතුළු අපි හැමෝමට එන්න ගත්තේ ලොකු අභියෝගයක් මොකද ඒක සමාජය කොයි විදිහට භාරගනීවිද කියන ගැටලුව තිබුණා. ඒත් සරණි සහ රෙහාන්ගේ මව අතර ගැටුම් විකාශය වීමත් සමග හිතුවේ නැති විඳිහට ටෙලි නාට්‍යය ප්‍රසිද්ධ වුණා.  
ඒත් එක්කම ප්‍රේක්‍ෂකයෝ මට පෞද්ගලිකව කතා කළා ඒ අයගේ පෞද්ගලික අත්දැකීම් මට ලියලා එවලා තිබුණා. 
මම විවාහ වෙලා නැති නිසා මට පෞද්ගලික ජීවිතේ අත්දැකීම් නැහැ. ඒත් හැම තරුණියකගේම ජීවිතේ එක කාලෙකඳි මේ අත්දැකීම් බොහෝ දෙනා විඳලා තියෙන දෙයක් සහ විඳින්න වෙන දෙයක් කියලා මම හිතනවා. 
නැන්දම්මා ලේලි ගැටුම කොටස් ටික නොබලපු කෙනෙක් නැතිතරම්.. 

 


නැන්දම්මා විදිහට රඟපාන මල්කාන්ති ජයසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනියගෙන් ලැබුණු සහාය කොහොමද? 
ඇයගෙන් ලැබුණු සහය වචනයෙන් කියලා නිම කරන්න බැහැ. රංගනය ඇතුළෙ ගොඩක් දේවල් මම ඇයගෙන් ඉගෙනගෙන තියෙනවා. 
මට බණින දෙබස් කියන්න හරිම අමාරුයි. මල්කාන්ති අක්කම තමයි තව ටිකක් සැරට කියන්න, මේ මේ වචන කියන්න කියලා කියන්නේ. මල්කාන්ති අක්කාට ‘නාකි ගෑනි’ කියපු දෙබස කියන්න කලින් මම ළඟට ගිහින් කීපවතාවක්ම ඇහුව්වා කිව්වාට කමක් නැද්ද කියලා, ඒක කියලා, ඉවර වෙලා  මම මල්කාන්ති අක්කාව බදාගෙන සොරි කිව්වා. 

 


දූෂේනිගේ සැබෑ ජීවිතේට කිට්ටු බන්ටිද නැත්නම් සරණිද?
මම බන්ටි කියන චරිතයට හරිම ආදරෙයි. හැබැයි මගේ ජීවිතේට සමීප සරණි කියන චරිතය. බන්ටි කියන චරිතය මට කරන්න ටිකක් අමාරු චරිතයක්. සරණි කියන්නේ මට ආයාසයකින් තොරව රඟපාන්න පුළුවන් චරිතයක්. මොකද මම ඇත්ත ජීවිතේ සද්ධ බද්ධ නැති අහිංසක පාඩුවේ ඉන්න චරිතයක්. 
මම බෙහෝ දේවල් අතෑරලා දාලා ඉඳපු මොහොකත තමයි මට බන්ටිව මුණ ගැහෙන්නේ. 

 


ඒ කියන්නේ දුෂේනිට කලාව එපා වෙච්ච කලායක් තිබුණද?
අපෝ නැහැ කලාව එපා වෙලා තිබුණෙ නැහැ. හැබැයි මම දැන් රඟපෑවා ඇති කියල හිතුණු වාර තිබුණා. ලංකාවේ හිටියා ඇති කියලත් හිතුණා. 2019 සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය කළාට පස්සේ මට ඉන්දියාවට යන්නේ ඒ නිසා. ඉන්දියාවෙන් ආවට පස්සේ රඟපාන්නෙ නැති තීරණයක මම හිටියේ. 
එහෙම සිටියදී තමයි ශිවගුරුනාදන් මහතා පාරදිගේ ටෙලි නාට්‍යයයට මට කතා කරන්නේ. සද්ධා මහත්මාගේ  පිටපත් කියෙව්වාම බන්ටි කියන චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තියෙනවා කියල හිතුණා. අවසානයේ පාරදිගේ බන්ටි, සරණි මගේ ජීවිතේම වෙනස් කළා.

 


ජීවිතේ වෙනස් කරපු ක්‍රෙඩිට් එක දුෂේනි දෙන්නේ කාටද?
මුලින්ම පාරදිගේ අධ්‍යක්‍ෂක ශිවගුරුනාදන් මහතාට සහ තිර රචක සද්ධාමංගල මහත්මාට සහ මුළු ටෙලි නාට්‍ය කණ්ඩායමටම ඒ ක්‍රෙඩිට් එක මම දෙනවා. විශේෂයෙන් ශිවගුරුනාදන් මහතා සරණි කියන චරිතයට වඩා බන්ටිගේ චරිතය ගොඩ නගාගන්න ලොකු සහයෝගයක් දෙනවා. 
ඒ වගේම මවුපියන් මතක් කරන්න ඕනෑ. හැම වෙලාවෙම මාව ධෛර්යමත් කරන්නේ ඒ දෙන්නා. නැවත රඟපාන්න මගේ ඔළුව හැදුවේ අම්මයි තාත්තයි.

 


රෙහාන් - සරණි තවදුරටත් පවුල් කයිද?
සරණි රෙහාන්ට කරලා තියෙන බොරුවත් එක්ක පවුල් කයිද මැරුම් කයිද කියලා නම් කියන්න බැහැ. බලමු, ඉදිරිය තවත් රසවත් වෙයි කියලා හිතනවා.

 


මොනවද ඉදිරි අලුත් කලා කටයුතු? 
අලුත් වැඩ කිීපයක්ම කරගෙන යනවා. සෝමරත්න දිසානායක මහතාගේ සිංහබාහු චිත්‍රපටයේ මේ වෙනකොට වැඩ කටයුතු නිමයි.
සිංහබාහු මගේ ප්‍රථම සිනමා අත්දැකීම ඒ චිත්‍රපටය තිරගත වෙනකම් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. මේ දවස්වල නම් වැඩි කාලය ගෙවන්නේ පාරදිගේ ටෙලි නාට්‍යය එක්ක.


 

 

 

 

 මට නිදහසක් ලැබෙන්නේ රෙහාන්ගෙන් නිදහස් වුණු දවසට 

උද්දික ප්‍රේමරත්න 

චරිතාංග නළුවකු ලෙස පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ බොහෝ තැන් ස්පර්ශ කළ උද්දික ප්‍රේමරත්න කලින් කලට වෙනස් වූ චරිත හරහා ප්‍රේක්‍ෂකාගාරයට ගොඩවෙනවා. මේ දිනවල උද්දික වඩාත්ම ජනප්‍රිය වෙලා ඉන්නේ පාරදිගේ රෙහාන්ගේ චරිතයත් සමගයි.


 රෙහාන් - සරණි ආදර කතාව ගැන අපි උද්දික සමග කතා කළේ මේ විදියට. 


 ඉතින් මොකද වෙන්නේ? 
රෙහාන් - සරණි පුංචි තිරයේ එක යුගයක් නිර්මාණය කරපු යුවළක් වුණා කිව්වොත් හරියටම හරි සමාජ මාධ්‍ය තුළ වගේම මග තොටේදි කවුරු මුණගැහුනත් රෙහාන්ටයි සරණිටයි සුබ පතන්න අමතක කරන්නේ නැහැ. රෙහාන් සහ සරණිට මිනිස්සු වශීවෙලා කිව්වොත් හරි. 

 


රෙහාන් ඇයි මේතරම් මෝඩ කියලා කෙනක් ඇහුව්වොත්?
සමහර අයට එහෙම හැඟෙන්න පුළුවන්. ඒත් කොයි ජගතා වුණත් කොයි තරාතිරමේ හිටියත් ආදරේ ඇතුළෙ අන්ධ වෙනවා. ආදරේ ඇතුළෙ රැවටෙන්න පුළුවන්. ආදරේ ඇතුලේ හැමදේම නැති වෙන්නත් පුලුවන් හැබැයි ආදරේ ඇතුළේ අවංක වෙන්නත් පුළුවන්. අපි ආදරේට හරිම කැමතියි. ආදරය ඉස්සරහ තරාතිරම අමතක වෙන්න පුළුවන්. 

 


නැන්දම්මා ලේලී අත්දැකීම් උද්දික පෞද්ගලික ජීවිතේ අත්විඳලා තියෙනවද?
ඒ ගොඩේ මම ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් 

 


රෙහාන් වෙනුවෙන් උද්දික වවාගෙන ඉන්න රැවුල කපන දවස ළඟද?
සරණි රැවුල වවනවාට කැමතිම නැහැ. සරණි ඉදිරියේදි රැවුල කපයිද කියලා නම් දන්නේ නැහැ. 
ඇත්තටම රෙහාන් වෙනුවෙන් මගේ ස්වරූප වෙනස් කරගන්න වුණා. මේකේ තියෙන්නේ ටිකක් වැඩිමල් කෙනෙක් තරුණ ගෑනු ළමයෙකුට ආදරය කිරීම. එතකොට රෙහාන් වෙනුවෙන් මට උඩු රැවුල වවන්න සිද්ධ වුණා. අවුරුදු 2ක ඉඳලා චරිතය වෙනුවෙන් මම උඩ රැවුල වවනවා. පාරඳිගේ කවදාහාරි ඉවර වුණ දවසට තමයි රැවුල කපලා කෙට්ටු වෙන්න වෙන්නේ. චරිතයක් වෙනුවෙන් රංගන ශිල්පියෙක් විදියට ඒ කැපකිරීම මම දකින්නේ වගකීමක් විඳිහට. 

 

 


ඉදිරියේදි මොනවද ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ?
මේ දවස්වල නම් වැඩ කරන්නේ පාරදිගේ ටෙලි නාට්‍යයේ විතරයි. අලුත් නිර්මාණ මුකුත්ම බාරගත්තේ නැහැ. මොකද රැවුල නිසා වෙනත් චරිතයකට යන්න අමාරුයි. ආරාධනා නම් අඩුවක් නැහැ. ඒත් මොන නිර්මාණය කරන්නත් මට නිදහස ලැබෙන්නේ රෙහාන්ගෙන් නිදහස් වුණු දවසට.

නදීශා අතුකෝරළ 
ඡායාරූප - සජිව ලක්‍ෂාන්


 

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට  සැප්තැම්බර් 22 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට සැප්තැම්බර් 22 ඉරිදා දක්වා

St Peter’s College Old Boys Dinner Dance Read Next

St Peter’s College Old Boys Dinner Dance

Realted Post