මගේ රටේ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා
සාරංග නිසා බුදු දහමට ගොඩක් ලැදි වුණා. බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ දර්ශනය අනුව තමයි මම ජීවිතය දකින්නේ. පෙර පින, පෙර කර්මය කියන දේවල් මම විශ්වාස කරනවා. අද මං මේ ජීවිතේ ගෙවන්නේ පෙර පිං අනුවයි.
අද වන විට අසිමිත රසික ආදරයක් දිනාගෙන සිටින දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර යුවළ ගැන අප අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. මෙවර සිරිකත නත්තල් කවරය හැඩ කිරීමට දිනක්ෂි - සාරංග යුවළ සමග අමුත්තියකුත් එකතු වුණා. සාරන්‍යා දිසාසේකර.
උතුම් මවු පදවිවට හිමිකම් කියමින් පසුගිය කාලයේ කලාවෙන් විරාමයක් ගත් දිනක්ෂි නැවතත් සුපුරුදු පරිදි රංගන කටයුතු සඳහා එක්ව මේ කතාබහ ඔවුන් සමගයි.
ඉතින් කොහොමද ජීවිතේ?
දෙසැම්බර් මාසේ කියන්නේ ඉතින් අවුරුද්දේ කාර්යබහුලම මාසේ. නත්තල් එක්ක විවිධ ප්‍රසංග, වැඩසටහන් එක්ක තමයි වැඩි කාලයක් ගතවෙන්නේ. දුව ලැබුණට පස්සෙ දායක වුණු ටෙලි නාට්‍ය කීපයක් තිබුණා. ඒවත් පසුගිය දිනවල විකාශය අවසන් වුණා.
සාරාන්‍යා ලැබුණාට පස්සේ පූර්ණකාලීනව රංගන කටයුතුවලින් කෙතරම් කාලයක් ඉවත් වෙලා හිටියාද?
මම බබාට සති තුන හතරක් යනකොටම වැඩකටයුතුවලට ගියා. මුලින්ම. ිසබ්ප්ගකන වෙනුවෙන් අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද තේමා කරගෙන නිසංක වේහැරදුව මහතා අධ්‍යක්ෂණය කරපු ‘අප්පච්චි’ ටෙලි චිත්‍රපටයට දායක වුණා. ඊට පස්සේ දිල්ශාරා ජයමාන්න මහතා අධ්‍යක්ෂණය කළ ‘යාළුවෝද යාළුයිද’ චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඉන්පසුව තිරය ඇරපන්, ලෝකා ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා.
වේදිකාව පැත්තෙනුත් කපිල රත්නායක මහතාගේ ‘පිරිමියෙකුගෙන් පැමිණිල්ලක්’ වේදිකා ගත වෙනවා. ඒවත් එක්ක කලා කටයුතු කරගෙන යනවා. අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. එහි වැඩකටයුතුත් ලබන වසරේ ආරම්භ වෙයි.
සාරන්‍යා එක්ක ගෙවන ජීවිතේ දැනෙන්නේ කොහොමද?
එයා කුසට ආපු දා ඉඳලා ජීවිතේ අනෙක් පැත්ත පෙරලුණා. වගකීම් ඉස්සරට වඩා වැඩියි. අලුත් ජීවිතේකට හුරු වුණා. අලුත් අලුත් දේවල් ගොඩක් ජීවිතේට එකතු වුණා දූ අපේ ලෝකෙට ආවාට පස්සේ. අපි දෙන්නා හරිම ආසයි බබාලට. විශේෂයෙන් සාරංග දුවලට හරිම ආදරෙයි.
දැන් සාරන්‍යාට අවුරුද්දයි මාස තුනයි. දැන් ඉතිං අපේ පැංචිගේ හුරතල්ම වයස. මොහොතක්වත් දැන් දාලා යන්න හිතෙන්නේ නැහැ. එක මොහොතක් එක විදියට ඉන්නේ නැහැ. දැන් දඟමල්ලක්. නිතරම එයාගේ භාෂාවෙන් මොනවාදෝ කියනවා.
දිනක්ෂි ජීවිතේ සතුටෙන්ම ගෙවුණෙ මොන කාලේද?
මම සතුටින්ම ජීවිතේ ගෙව්වේ දුව කුසේ තියාගෙන හිටිය මාස නවය. හැමෝගෙන්ම මට අඩුවක් නැතිව ආදරය, සෙනෙහස ලැබුණා. දුව ලැබෙන්න හිටිය මුල් මාස 03 නම් ඉතාම අමාරු කාලයෙක් ගත කළේ. කැම කෑවෙ නැතිම තරම්. වතුර බොන්නම බැරි වුණා. සේලයින් පවා දුන්නා. ඒ කාලය ගෙවන්න අමාරු කාලයක් වුණත් මාව සතුටෙන් තියන්න මගේ පවුලේ අය සාරංග ගොඩක් උත්සාහ කළා. සාරංග ඒ කාලය පුරාවටම මගේ ළඟින්ම හිටියා.
සාරන්‍යා ලැබෙන්න ඉද්දි මම ඇහුවෙම යශෝදරාවත. මම කතෝලික වුණත් නිතරම ඇහුවේ පිරිත්. මම නිතරම ප්‍රාර්ථනා කරන්නේ හැම අම්මා කෙනෙකුටම ඒ කාලේදි ඒ ආදරය සෙනෙහස හැම මොහොතකම ලැබෙන්න කියලා.
පළමු දරුවා ලැබුණාට පස්සේ අලුත් අම්මලාට විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දිනක්ෂිටත් ඒ අත්දැකීම්වලට මුහුණ දෙන්න වුණාද?
මුල ඉඳන්ම මම බලාපොරොත්තු වුණේ සාමාන්‍ය දරු ප්‍රසූතියක්. පසුව වෛද්‍ය උපදෙස් මත යම් යම් සෞඛ්‍ය ගැටලු එක්ක සීසර් එකකට යන්න සිදු වුණා. මම ඒකට කැමැති වුණා. බබා ලැබුණාට පස්සෙ කිරි ප්‍රශ්නෙන් මම හුඟක් පීඩා වින්දා. හුඟක් අම්මලාට දරුවෙක් ලැබුනාට පස්සේ ඇතිවෙන තත්ත්වයක් තමයි දරු ප්‍රසූතියේ වේදනාවත් එක්ක පශ්චාත් ප්‍රසව අවධියේ ඇතිවෙන මානසික රෝග, පශ්චාත් ප්‍රසව විෂාද තත්ත්වය. කාන්තාවන්ගෙන් 10%කට වගේ ප්‍රතිශතයකට මෙම රෝගී තත්ත්වය ඇතිවෙනවා. ඒක සාමාන්‍යයි. මටත් මේ තත්ත්වය ඇති වුණා. ඩිප්ප්‍රෙෂන් තත්ත්වයට ගියේ නැහැ. සති දෙකකින් වගේ මට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න පුළුවන් වුණා. මට ඒ තත්ත්වයෙන් මිදෙන්න ගෙදරින් ලොකු සහායක් ලැබුණා.
බබාගේ වැඩවලට සාරංගගෙන් ලැබුණු සහය කොහොමද?
ඇත්තටම සාරංග කියන්නේ වගකීම් සහගත හොඳ තාත්තා කෙනෙක්. බබාට එයාගෙන් ඉටු විය යුතු වගකීම් යුතුකම් 100%ක්ම නොපිරිහෙලා ඉටුවෙනවා. එයාගේ ලෝකෙම සාරන්‍යා තමයි. එයා ලැබෙන්න ඉන්න කාලේ සාරංග රෑට එයාට ඇහෙන්න සිංදු කියනවා. ඒ පුරුද්දට බබා දැන් සිංදු නැතිව නිදාගන්නේ නැහැ. සාරංග බබාට සාරන්‍යා කියලා නම දැම්මෙත් බබා ලැබෙන්න කලින්මයි. එයා ප්‍රාර්ථනා කළේම දුවෙක්.
මවු පදවියත් එක්ක දිනක්ෂිගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න වුණාද...
දරුවෙක් ලැබුණා කියලා මම මගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් කර ගත්තේ නැහැ. මම කොහොමත් ගෙදර වගකීම් දරපු කෙනෙක්. දුව ලැබුණාට පස්සේ තව චුට්ටක් වගකීම් වැඩි වුණා විතරයි. සාරංග මට කිසිම වෙලාවක නීති පනවලා නැහැ. මගේ නිදහස, සතුට ඔහු වගකීම් දාලා හිර කරලා නැහැ. ඒක මට ගොඩක් වටිනවා.
ඉස්සරට වඩා දැන් රූපය ගැන සැලකිලිමත්ද?
මම හැමදාමත් ලස්සනට ඉන්න, අඳින්න පලඳින්න කැමැති කෙනෙක්. බබා ලැබෙන්න ඉද්දි මම රූපය ගැන හිතුවෙම නැහැ. මට ඕනැ වුණේ හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බිහි කරන්න. දැන් මගේ රූපය ගැන ශරීරය ගැන හිතනවා. දරුවෝ ලැබුණා කියලා අපි අපි වෙනුවෙන් කාලය වෙන් කරන එක නතර කරන්න අවශ්‍ය නැහැ.
දිනක්ෂිගේ ජීවිතේ පිටිපස්සේ තියෙනවා හරි අපූරු ශක්තියක්. ඒ තමයි ඔබගේ අම්මා...
අපේ අම්මාගේ ශක්තිය ගැන මට හිතාගන්නවත් බැහැ. එක කාලයක් තිබුණා අම්මායි, තාත්තයි අපි වෙනුවෙන් ගොඩක් දුක් විඳපු. අපේ අම්මාට ලස්සනට මහන්න පුළුවන්. ඇය ඒවායින් සල්ලි ඉතුරු කරගෙන තමයි අපි තුන්දෙනාගේ හුඟක් දේවල් කළේ. පවුලක් විදියට අපි හුඟක් ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. මගේ අම්මා අපි තුන්දෙනාව මේ තැනට ගේන්න ලොකු කැපකිරීමක් කළා. අපි තුනදෙනාව උස් මහත් කරන්න අම්මා තාත්තා දුක් විඳපු හැටි මම දැක්කා.
ඒ නිසා අපි තුන්දෙනාටම ඕනැ වුණේ අම්මාටයි, තාත්තාටයි සතුටින් ඉන්න ඵුළුවන් ජීවිතයටක් දෙන්න. දැන් අපි තුන්දෙනා ඒක කරලා තියෙනවා.
මේ ආපු ගමන සුද්දර නැහැ. බොහොම දුෂ්කරයි. එක තැනකදි මගේ උසස් අධ්‍යාපනය නතර කරලා මම ගෙදර බර කරට ගත්තා. එතකොට නංගිලා දෙන්නාම පාසල් යනවා.
අපි හැමෝටම එකට එකතු වෙලා ඉන්න පුළුවන් ගෙයක් ගන්න ඕන කියන එක තමයි මට තිබුණු එකම හීනය. ඒ හීනය වෙනුවෙන් මම ෆුල් ටයිම් වැඩ කළා. මට අවුරුදු 28 වෙනකම් අපි හිටියේ කුලී ගෙවල්වල. අපිට කියලා ගෙයක් තිබුණේ නැහැ. අවුරුදු 10 ක් එක දවසක්වත් නිවාඩුවක් නොගෙන රෑ දවල් මම වැඩ කළා. ඒ අවුරුදු 10ට මම ටි්රප් එකක්වත් ගිහින් නැහැ. එහෙම වැඩ කරලා තමයි මේ හැමදේම ගොඩ නගා ගත්තේ. පස්සේ නංගිලාත් මාත් එක්ක එකතු වුණා. 2017 තමයි අපිටම කියලා ඉන්න ගෙයක් ගත්තේ. මේ හැම දෙයක් පිටිපස්සේම තිබුණේ මගේ අම්මාගේ ශක්තිය. අද ජීවිතේ මම නිදහසේ සතුටින් විඳිනවා.
මම සමාජයට පේන්න පන්සල් පල්ලි යන්නේ නැහැ. හැබැයි මම ආගමට ගොඩක් ලැදියි. සාරංග නිසා බුදුදහමට ගොඩක් ලැදි වුණා. බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ දර්ශනය අනුව තමයි මම ජීවිතය දකින්නේ. පෙර පින, පෙර කර්මය කියන දේවල් මම විශ්වාස කරනවා. අද මං මේ ජීවිතේ ගෙවන්නේ පෙර පිං අනුවයි.
ඉතින් නත්තලට දැන් සූදානම්ද?
පසුගිය වසරේ සාරන්‍යාගේ පළමු නත්තලට ගෙදර ලස්සනට සැරසුවා. එයාගේ උසට වඩා උසින් තමයි මේ පාර නත්තලට සැරසුවේ. එයාගේ උස මට්ටමට තියෙන හැමදේම දැන් අදිනවා.
මේ නත්තලේ ඔබේ ප්‍රාර්ථනය.....
මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනා ජීවත් වෙන්නේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේ. ඒවා අඩුවැඩි වශයෙන් අපිටත් තියෙනවා. මගේ ප්‍රාර්ථනාව මගේ රටේ මිනිස්සුන්ට මානසික පීඩාවකින් තොරව සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕනෑ. මට තියෙන විදියට මට හැකි අයුරින් බොහෝදෙනාට උදව් කරනවා. හැම වෙලාවේම ප්‍රාර්ථනා කරන්නේ මගේ රටේ අහිංසක මිනිස්සුන්ට බඩගින්නක් පීඩාවක් නොදැනේවා කියලයි.
නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන්
Leave a comment