මට ගහපු ගල්වලින් මම මාලිගාවක් හදනවා

 

වර්තමාන කලා ක්ෂේත්‍රයේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් තාරකාවිය ඇයයි. ගැමි චරිතයක් වේවා, නාගරික චරිතයක් වේවා, එක ලෙස සැබෑ දක්ෂතාවයෙන් රඟපාන්නට හැකියාව ඇති නිළියන් අතළොස්ස අතර විශිෂ්ට රංග ප්‍රතිභාවක් ගොඩ නගාගත් ඇය වර්තමානයේ රඟ පෑ බොහෝ චරිත තුළින් විද්‍යුත් ටෙලි රූපකාය තුළ නව මාවතක් විවර කළාය.
වසර 2019 රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ඇය හොඳම ටෙලි නාට්‍ය නිළිය සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබූ අතර වසර 24කට පසුව එක් නිළියක් එකවර සම්මාන දෙකම දිනාගත් අවස්ථාව ද එය විය. වාණිජ සහ සම්භාව්‍ය ගණයේ විවිධ චරිත ස්පර්ශ කරමින් දක්ෂතාව සහ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ඇය වර්තමාන කලාව තුළ ආදේශක නොමැති රංගන ශිල්පිනියකි. ඇය නම් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකායි.

 


කියා දෙන්න ආදරේ තර්ම් ටෙලි නාට්‍යයේ ‘ස්නේහාගේ’ චරිතයෙන් සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන හීනයකි මේ ආදරේ හි ‘පාරමී’ ලෙසින් මුණ ගැසෙන ඇය මෙවර සිරිකත කවරය හැඩ කරන්නීය. 


 ඉතින් කොහොමද ජීවිතේ? 
වසර 2023 ට පය තිබ්බෙම පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක. ඩෙංගු විතරයි හැදිලා නොතිබුණේ.  ඒකත් හරි දැන්. 2023 අලුත් අවුරුද්ද උදා වෙනකොට ඩෙංගු හැදිලා ඇඳේ තමයි ඉන්න වුණේ. දවස් 8 ක් රෝහලේ හිටියා.
ගෙදර ඇවිල්ලත් සති කීපයක් විවේකීව ඉන්න කියලා වෛද්‍යවරු උපදෙස් දුන්නා. ඒ නිසා සියලුම වැඩ පොඩි කාලෙකට නතර කරන්න වුණා. දැන් නැවත සුපුරුදු පරිදි ටෙලි නාට්‍ය රූගතකිරීම්වලට දායක වෙනවා. මේ දවස්වල ටිකක් නෙමෙයි ගොඩක්ම කාර්ය බහුලයි. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය සහ හීනයකි මේ ආදරේ රූගත කිරීම්වලට අමතරව අක්ෂි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. එය ලබන මාසේ සිට විකාශය ආරම්භ වෙනවා. ඒ නිසා වෙන අවුරුදුවලට වඩා මේ අවුරු්ද්ද පටන් ගනිද්දීම ටිකක් කාර්ය බහුල වුණා.

 


 මේ වෙනකොට ස්නේහා - නිර්වාන් ආදර කතාව තීරණාත්මක තැනක ඉන්නේ. ප්‍රේක්ෂකයින්ට සුබවාදී පිළිතුරක් ලැබේවිද? 
කියාදෙන්න ආදරේ තරම් කියන්නේ මෑත කාලයේ ප්‍රේක්ෂකයින් අසීමිතව ඇඳබැඳගත්  ටෙලි නාට්‍යයක්. මේ වෙනකොට කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අවසානයට ළඟාවෙමින් තිබෙනවා. ළඟදීම ප්‍රේක්ෂකයින්ගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳේවි කියලා හිතනවා.

 


 ඔබ ස්නේහාගේ චරිතයට සමුදුන්නා කියන්නෙ ඇත්තක්ද? 
මම නැතුව ස්නේහා කොහොමද ජීවත් වෙන්නේ. චරිතයෙන් ඉවත් වෙලා නැහැ. ඒවා ගොසිප්. ඇත්තටම වුණේ දිගැසි මගේ බෙල්ල මිරිකත සීන් යන දවස්වල තමයි මට ඩෙංගු හැදුනේ. ඒකත් එක්ක මට ටික දවසක් විවේක ගන්න වුණා. ගොඩක් අය හිතුවා මම චරිතයෙන් අයින් වුණා කියලා. විවාහයත් එක්ක මම කලාවෙන්ම ඉවත් වෙලා කියලත් සමහර ගොසිප් නාලිකා දාලා තිබුණා.

 


 ඇත්තටම ඒක එහෙම වෙනවාද? 
හොරෙන් නම් බඳින්නේ නැහැ. හැමෝටම කියලා තමයි බඳින්නේ. දැනට කලාවෙන් ඉවත් වෙන්න කිසිම විදියක තීරණයක් අරගෙන නැහැ. කාලේ අනුව සමහර තීරණ වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවේදී විවාහය ගැන මම කියනවා.

 


 ‘අක්ෂි’ වෙනස්ම විදියකින් ශලනිට දකින්න ලැබෙන නිර්මාණයක්. ඒ ගැනත් කියමු. 
නවක අධ්‍යක්වයෙක් වන ශාන් ජයරත්නගේ ‘අක්ෂි’ ටෙලා නාට්‍ය කියන්නේ මට කාලෙකට පස්සේ ලැබුණු සුවිශේෂ පිටපතක්. එහි මගේ චරිතය වෙන්නේ ‘පෑලියගොඩ පරෙවි ආදි’. 
කෙල්ලෙක් විදිහට ඉපදුනාට කොල්ලෙක් වගේ ජීවත්වෙන චරිතයක් මේක. වෙනස්ම හරිම ලස්සන වැඩක්. ළඟදීම පෑලියගොඩ පරෙවි ආදි’ එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

 


 ශලනිට සිනමාවේ ඉඩක් තාම ලැබිලා නැද්ද? 
සිනමාවෙ ලැබෙන අවස්ථා අඩුයි. මම අධ්‍යක්ෂවරුන්ට කතා කරලා වැඩ ඉල්ලගෙන යන කෙනෙක් නෙමෙයි. චිත්‍රපටි නොකළෙ නැහැ. චිත්‍රපටි කීපයක් කළා. කරපු චිත්‍රපටි 3 ක් විතර තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න. ඊට අමතරව මේ අවුරුද්දේ අලුත් චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි සිනමාවේ   කරනවාට වඩා දෙයක් පුංචි තිරයේ ප්‍රෙක්ෂකයාට දැනෙන නිර්මාණ කරන්න මට ලැබුණා. ඒ නිසා සිනමාවේ මඟ හැරුණු තැන් ගැන මම දුක්වෙන්නේ නැහැ. මට කලා ජීවිතේ තවත් මඟ හැරුණු තැනක් තමයි වේදිකාව. මට වේදිකාවට ගොඩවෙන්න බැරි වුණා. පුංචි තිරයේ නිර්මාණ එක්ක කාර්ය බහුල වුණු නිසා වේදිකාව මඟ ඇරුණත් වේදිකා නාට්‍ය මිස් නොකර මම බලනවා.

 


 ‘පතිනි’ ටෙලි නාට්‍යයෙන් ආරම්භ කරපු ගමන මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවාද? 
මගේ පටන් ගැන්ම ආරම්භ වෙන්නේ 2007 සිරස කුමරි කරගාවලියෙන්. රඟපානවා කියන දේ මගේ තුන්හිතකවත් තිබුණු දෙයක් නෙවෙයි. නිළියක් වුණේ මගේ ආසාවට නෙමෙයි. සිරසෙන් කරපු ආරාධනය අහක දාන්න බැරි නිසා තමයි මම ‘පතිනි’ ටෙලි නාට්‍යයේ රඟපාන්න ආවේ. රඟපාන්න මෙලෝ දෙයක් දන්නේ නෑ. ඔහේ දෙබස් ටික කියලා එනවා. එතකොට මට අවුරුදු 17 යි. උසස් පෙළ කරනවා. මාස 2 ක් විතර රඟපානකොට මට එපා වුණා. එහෙම නතර කරලා ඉන්නකොට  අවුරුද්දකට විතර පස්සේ ෂර්ලි පී දෙලංකාවල මහතා පුජාසනය ටෙලි නාට්‍යයට ආරාධනා කරනවා. පූජාසනය එක්ක තමයි මම පූර්ණකාලීනව කලාවට එකතු වෙන්නේ.
දැන් කලාවට ඇවිත් අවුරුදු 15 ක්. මේ ගතවුණු වසර 15 තුළ විවිධ චරිත රැසක් මට කරන්න ලැබුණා. ඒක මගේ වාසනාවක්. අධ්‍යක්ෂවරු මං ගැන තබපු විශ්වාසයට ඔවුන්ට මම ස්තූති කරනවා. අද මම ගෙවන ජීවිතේ ගැන ගොඩක් සතුටුයි. මේ ගමන එද්දි කැපිලි කෙටිලි බාධක ඕනෑ තරම් තිබුණා. මේ හැමදේම අතෑරලා දාලා යන්න හිතුණු අවස්ථා අනන්තයි. ප්‍රශ්න ආවාම අපිව ශක්තිමත් කරන මිනිස්සුන්ට වඩා ඉන්නේ අපිව වට්ටන මිනිස්සු. මම ආපු කාලේ කැපිලි කෙටිලි තිබුණේ අඩුවෙන්. ඉහළට යන්න යන්න මේ ක්ෂේත්‍රය ඇතුළෙ කැපිලි කෙටිලි වැඩියි. අදටත් ඒ කැපිලි කෙටිලිවල අඩුවක් නැහැ. ළඟම ඉන්න අයගෙන් පවා එන බාධක කැපිලි අදටත් එමටයි. ඒවා උපේක්ෂාවෙන් බලලා දරාගෙන එයාලාගේ ගල්වලින් මම මගේ මාලිගාව හදාගෙන යනවා.
මම වැටුණු හැම තැනකදීම මගේ ඔළුව හදාගන්න ශක්තිමත්ව නැගිටින්න උදව් කළේ මගේ අම්මා තාත්තා ඇතුළු මගේ  පවුල.

 


 මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්නේ ‘ආදරය’... ශලනිට දැනුණු ආදරය කොයිවගේද? 
ආදරය ගැන මගේ ජීවිතේ එක එක කාලවලදී එක එක අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය නිසා දුක් විඳලා තියෙනවා. ආදරය නිසා සතුට විඳලා තියෙනවා. ආදරය කියන දේ ඇතුළේ මම පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහා නෑ. මගේ දීර්ඝකාලීන ආදර කතාව නතර වෙලා අවුරුදු 08 ක්. හැබැයි අදටත් අපි හොඳම යාළුවෝ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. සිනහවෙන් ළඟට ගන්න දේවල් සිනහවෙන්ම අතහරින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ඕනෑ.
ආදරේ බලෙන් හිරකරලා තියාගන්න බැහැ. එයාට නිදහස දෙන්න ඕනේ. ඒ නිදහස ඇතුළෙත් මං ගාවම එයා රැඳෙනවා නම් ඒක තමයි ආදරේ.

 


 එහෙම ආදරයක් මේ වෙනකොට ඔබ විඳිනවාද? 
ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට. ඒ වගේ ආදරයක් මම දැන් විඳිනවා.

 


 ජීවිතේ ඔබ අද සතුටින්ද? 
ඇත්තටම ඔව්. නිළියක් විදියට මම මගේ ජීවිතේ යන්න ඕනෑ ඉහළටම දැන් ඇවිත් තියෙන්නේ. පොඩි වයසකදි ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මාන දෙකම එකම වේදිකාවේ ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. අවුරුදු 17 ක් පුරාවට මට කන්න අඳින්න, වාහනයක්, ගෙයක් මේ හීන සියල්ල සැබෑ කර ගත්තේ කලාවෙන්. ඒකට මම කලාවට හැමදාමක් පිං දෙනවා. ජීවිතේ සතුට මට දුන්නේ කලාව.


 යම් තැනකදි කලාව අත්හරින්න වුණොත්... 
මේ ක්ෂේත්‍රයට එද්දිම මම දාගෙන ආපු නීතියක් තමයි විවාහ වුණාට පස්සේ කලාවෙන් අයින් වෙනවා කියන එක. විවාහවෙලා ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ වගකීම ගන්න මම කැමතියි. විවාහයත් එක්ක යම් දවසක සමුගන්න වුණොත් මට සතුටින් සමුගන්න පුළුවන්. පසුතැවීමක් දුකක් නැහැ.

 

 

නදීෂා අතුකෝරාල
ඡායාරූප සජීව ලක්ෂාන්


 

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Previous

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post