රහස් කියන Aloka

රහස් කියන කඳු චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූ ඇය  වේදිකාව මතින්  පුංචි තිරය හා රිදී තිරයට පැමිණියාය. රූපවාහිනියේ  මේ දවස්වල විකාශනය වන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ  නර්ස් නෝනාගෙ චරිතයෙන්  ප්‍රේක්ෂකයන් අතරට එන ඇය  ආලෝකා ගයාත්‍රි. අද අපි ඇය සමගයි සුහද කතාබහකට සැරසෙන්නේ.

  • කොහොමද මේ දවස් වල ආලෝකාට ලැබෙන ප්‍රතිචාර

මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර හොඳයි. අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ  චරිතයට  හොඳ ප්‍රතිචාර ලබමින් කාලය ගත කරනවා. මේ දවස් මට විශේෂයි.

  • කලා ජීවිතයේ ආරම්භය ගැන කිව්වොත්

මුලින්ම ප්‍රියංකර රත්නායක මහතාගෙ  නාට්‍ය වැඩමුළුවකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන්  ඩිප්ලෝමාවක්  ලබාගන්නවා. ඉන්පසුවයි  සෝමලතා සුභසිංහ මහත්මියගේ  වැඩමුළුවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එතැනදී  මම රංගනය හැදෑරීම සඳහා අවස්ථාව කරගන්නවා. ඒ අතරතුර  වේදිකාවට හා  සිනමාවට  රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙනවා. දැන් මම වෘත්තීය රංගන ශිල්පිනියක්.

  • රහස් කියන කඳු චිත්‍රපටයට  ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ජගත් මනුවරනගේ චිත්‍රපටියක්. අදටත් මේ වෙනකොටත්  ඒ චිත්‍රපටිය සඳහා මට ප්‍රතිචාර ලැබෙනවා. එහිදී මට වෙනස්ම විදිහෙ  චරිතයකට දායක වෙන්න ලැබෙන්නේ. 

  • ඔබ රංගනයෙන් දායක වූ  ජාත්‍යන්තර සම්මානයක් ලැබූ චිත්‍රපටය ගැන මොකද හිතන්නේ

ඉලංගෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙන්ටිගො චිත්‍රපටය  රටවල් ගණනාවක  ප්‍රදර්ශනය සඳහා  පරිවර්තනය කිරීමට වැඩ ආරම්භ කර තිබෙනවා. මෙම චිත්‍රපටය සඳහා  ජාත්‍යන්තර සම්මානයක් ලැබෙනවා.

  • වේදිකා නාට්‍ය සමග  රට වටේම  සංචාරය කරද්දි  ලැබුණු අත්දැකීම් මොනවද?

 ගොඩක් හොඳ අත්දැකීම් ලැබුණා.  විවිධ පළාත්වලින්  විවිධ විදිහේ අත්දැකීම් ලැබුණා. සමහර පළාත්වල  මිනිස්සු  කවදාවත් වේදිකා නාට්‍යයක්  දැක තිබුණේ නැහැ. ඒ අවස්ථාවල  අපේ වේදිකා නාට්‍ය  ඔවුන්ගේ  මුල්ම වේදිකා නාට්‍ය අත්දැකීම වුණා.  ඒ අයගෙන්  ගොඩක් ස්තුති ප්‍රශංසා ලැබුණා. ඒ ළමයින් ඒ තුළින්  නාට්‍ය හා  රංග කලාව   පිළිබඳ  අධ්‍යනයටද  යොමු වුණා. ඒ ගැන අපිට ගොඩක් සතුටුයි. වැඩමුළු සඳහාද අපට ආරාධනා ලැබුණා.

  • ඔබගේ කලා ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලේ  සාමාජිකයන්ගේ  සහයෝගය නිසයි  අද මම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙලා ඉන්නේ.

  • ආදරය හා  විවාහය ගැන ඔබේ මතය  කුමක්ද?

ආදරය  ලබන්න  හා  ආදරය  කරන්න මම ගොඩක් කැමතියි.  මම  ආදරය කරන පුද්ගලයින්  මගේ ආදරේ නිසා සතුටින්නම්  ඒ දේ මට ගොඩාක් වටිනවා.  මට අනුව  විවාහය අත්‍යවශ්‍ය දෙයක් නොවේ.සමහර විට  මම විවාහ නොවී ඉන්නත් පුළුවන්.  ආදරය  අත්‍යවශ්‍යයි.. නමුත්  විවාහ වී දෙදෙනෙක්  සතුටින් ඉන්නවා දැකීම  මට සතුටක්.

  • විලාසිතා ගැන ඔබේ අදහස

මට සුව පහසු  ඕනෑම  විලාසිතාවක් කිරීමට  මම කැමතියි.  විවිධ වර්ගයේ  ජනප්‍රිය  විලාසිතා කිරීමට කැමතියි.  නමුත්  මට එය පහසු විය යුතුයි.

  • කලා ජීවිතයේ  ඔබට ලැබුණු ආදරණීයම ප්‍රතිචාරය මොකක්ද ?

මට ඊයෙ පෙරේදා දවසක  අපේ රටේ කලා  ක්ෂේත්‍රයේ  ප්‍රවීන  පුද්ගලයෙකුගෙන්   හිතට වැදුන  ප්‍රතිචාරයක් ලැබුණා.  මගේ රංගනය සම්බන්ධව  ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.  මගේ රංගනයට ඔහු ගොඩක් කැමති බව කීවා.  ඒ වගේම  මම අවංකව වැඩ කරන කෙනෙක් කියලා  ඔහු කීවා.  මට දුන්නු ඒ  වටිනාකම  ඇත්තටම  මගේ  ජීවිතයේ  වටිනාම ප්‍රතිචාරයයි.

  •  කාන්තාවක්  රංගන ශිල්පිනියක්  ලෙස  ජීවිතය  දකින්නෙ කොහොමද? 

ජීවිතයේ සෑම දෙයකටම  අවංක වෙන්න. තමන් කරන  වෘත්තීය  පිළිබ‌ඳව හදාරන්න අධ්‍යයනය කරන්න.  තමන් කරන දෙය ගැන   අවබෝධයෙන් කරන්න.  තමන්ට අදාළ කාර්යය විතරක් කරන්න. එවිට  ප්‍රශ්න කරදර පැමිණෙන්නේ නැහැ. ඒ වගේම මනුෂ්‍ය සම්බන්ධතාවය  හොඳින් පවත්වා ගැනීම වැදගත්.

  • ඔබ වටා එකතු වූ රසික පිරිසට  කියන්න තිබෙන්නෙ මොනවද?

ජනප්‍රිය  වෙනකොට ප්‍රේක්ෂක ආදරේ අපට ලැබෙනවා.  ඔවුන් වෙනුවෙනුයි  අපේ කලා ජීවිතය  කැපවෙලා තියෙන්නේ.  ඔවුන්ගේ ආදරය  අපිට ආශිර්වාදයක්.

 

 

සැමියා හොදයි නම් ජීවිතේ සුන්දරයි Read Previous

සැමියා හොදයි නම් ජීවිතේ සුන්දරයි

සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ  සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා ! Read Next

සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා !

Realted Post

Leave a comment