වයසට ගියත් ජීවිතේ Smart - ප්‍රවීණ රංගනවේදිනී Anoja Weerasinghe

සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවෙන් දෙස් විදෙස්  සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ රංගනවේදිනියක ලෙස අනෝජා වීරසිංහ මහත්මිය හැඳින්වීම වඩාත් උචිතය. රංගනයෙන් දායක වූ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක හා විචාරක අවධානයට නතුකරලන්නට සමත් වූ අනෝජා මේ වනවිට ‘අභින‘ නම් සිය යෝගා ආශ්‍රමය හරහා ජනතාවගේ මානසික හා කායික සුවය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නියැලී සිටින්නීය. මේ ඇය සමග අප කළ සංවාද  සටහනකි.

  • වැඩිම කාලය ‘අභින’ එක්ක

මෑතක නම් මම නිර්මාණ කටයුත්තක් සඳහා දායක වුණේ නැති තරම්.. අවසන් වශයෙන් රවි අයියගේ වැඩසටහනට ගොඩක් උදව් වුණා. මම මේ දවස්වල වැඩි වශයෙන්ම කරන්නේ යෝගා වැඩ තමයි.
බෙල්ලන්විල ‘අභින‘ යෝගා ආශ්‍රමයේ සතියේ දින 7 පුරාවටම පන්ති පවත්වනවා. ඊට අමතරව ‘බ්‍රීත් විත් අනෝජා‘ යූ ටියුබ් නාළිකාවේ කටයුතු කරනවා. ඒ වගේම අංගොඩ මානසික රෝහලේ හා නාවික හමුදාව වෙනුවෙන් වැඩසටහන් රැසක් සිදු කළා.
යෝග කිව්වම යෝග ආසන (ව්‍යායාම) ගැන තමයි හුඟක් අය අවධානය යොමු කරන්නෙ. නමුත් මම යෝග මානසික පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මොකද මානසිකව කෙනෙක් වැටුනහම කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඒ නිසාම මානසිකව අභියෝග  තියෙන අයට යෝග ප්‍රාණයාම හා භාවනා හරහා ඒ තත්ත්වයෙන් එළියට එන්නෙ කොහොමද කියන කාරණය ගැන වැඩි අවධානයක් යොමු කරනවා.
ඊට අමතරව ආයතන සඳහා වැඩමුළු පැවැත්වීමත් සිදුකරනවා. ලබන ජනවාරියට මට අවුරුදු 70 ක් ලබනවා. වයස 70ක් වුණත් මම පෙරටත් වඩා ක්‍රියාශීලීව සතුටින් වැඩකරගෙන ඉන්නවා. මට පැය 24ට තවත් පැය කිහිපයක් තිබුණා නම් හොඳයි කියලා හිතෙන දවස් කොතෙකුත් තිබෙනවා.

  • අවුරුදු 70 ක් වුණත් ජිවිතය ස්මාර්ට්

අපේ කාන්තාවෝ 40 - 45වෙද්දි අපි වයසයි කියලා ඔහේ කාලා නිදා වැටිලා ඉඳලා ඇවිද ගන්නවත් බැරි තත්ත්වයට පත්වෙලා ඉන්නවා මම දකිනවා. ඇත්තටම කාන්තාවෝ එහෙම වෙන්න ඕනිද? කාන්තාවෝ  මුළු ගැන්විලා ඉන්න ඕනිද? අපි ව්‍යායාම කළ යුතුයි, අපි බලාගත යුතුයි කියන තැන කාන්තාවෝ ඉන්නෙ හරි අඩුවෙන්. ඒ නිසා බෝනොවන රෝග වැඩි වශයෙන් වැලඳිලා බෙහෙත් පෙති බිබී ඉන්නවා. අපි එතැනට යා යුතු නැහැ.
විශේෂයෙන් අපේ වයසත් එක්ක කන්න ඕනෑ මොනවද, අපිට කොච්චරද කෑම අවශ්‍ය කියන දේ අපි තේරුම් ගන්න ඕනෑ. තරුණ ළමයින්ට කන්න හදන දේ අම්මලත් කෑවොත්  ගොඩක් තරබාරුවෙලා එක්තැන් වෙලා ඉන්න තමයි වෙන්නෙ. අපි අපිව බලාගන්න දැනගන්න ඕනෑ.
පොඩි කාලේ අහලා තියෙන කතාව තමයි කාන්තාව බලාගන්න පිරිමියෙක් ඉන්න ඕනි කියන කතාව. ඇත්තටම පිරිමියා ද අපිව බලාගන්නෙ, අපිද පිරිමියාවයි ළමයින්වයි බලාගන්නෙ කියන කාරණාව අපි අපෙන්ම අහන්න ඕනෑ.  විශේෂයෙන් කාන්තාව සැමියා ගැන බලනවා, දරුවන් ගැන බලනවා, මවුපියන් ගැන බලනවා, නමුත් තමන් ගැන බලාගන්නෙ නැහැ. එතැනයි වැරද්ද.
ඔබ ඔබේ ළමයින්ට, සැමියාට කියන්න “මම හවස 4 සිට 5 වෙනතුරු ව්‍යායාම කරනවා, එහෙම නැත්නම් යෝගා කරනවා, පාර්ක් එකක අැවිදින්න යනවා, ඒ කාලය තුළ මට මොකුත් කරන්න කියන්න එපා කියලා. අම්මා එක්සයිස් කළොත් දරුවොත් ඒක කරනවා.
භාවනා කරන්න වයසට යනතුරු ඉන්න එපා
මම භාවනා මධ්‍යස්ථානවලට ගියහම දකින දෙයක් තමයි ඉතා උවමනාවෙන් කටයුතු කරන පිරිසක් සිටින බව.  වයසින් මුහුකුරායත්ම යන තැනකට පිනක් සිද්ධ කරගන්න ඕනි කියලා කටයුතු කරන පිරිසක්ද නැතුවා නොවෙයි.
කොහොම වුණත් තරුණියන්ට ලොකු උවමනාවක් තිබෙන බව මම දන්නවා අාධ්‍යාත්මක පැත්තට යොමුවෙන්න. එහෙම වෙන්න හේතුව මම දන්නෙ නහැ. අපි පිරිමින්ට වඩා භාවාතිශය ස්වරූපයක් උපතින්ම හිමිකරගෙන සිටින නිසා  එහෙම වෙනවා වෙන්න පුළුවන්.
විශේෂයෙන් තරුණ කාලේ සිට ‍අාධ්‍යත්මික පැත්තට බර වූ විශාල පිරිසක් සිටිිනවා. කොහොම වුණත් ධර්මයට කිට්ටුවෙනවා, බුදු රජාණන් වහන්සේට කිට්ටුවෙනවා, දුකින් මිදෙනවා කියලා හිතන  කටයුතු කරන පිරිසක් ඉන්නවා. හැබැයි එකම දේ තමන්ට කරගන්න පුළුවන් කාලේ බහුතරයක් දෙනා මේ සඳහා යොමුවෙන්නෙ නෑ. ගොඩක් වයසට ගිහින් භාවනාවකට වාඩිවෙන්නවත් බැරි කාලේ, හරියට සිහිකල්පනාවක් නැති කාලේ වැඩි පිරිසක් මේ සඳහා යොමුවෙලා ඉන්න බවක් මට පේනවා.  තරුණකාලෙම මේ පිරිස භාවනාව සඳහා යොමුවුණා නම් කොච්ච්ර හොඳද කියලා මට හිතෙනවා. හාවඩ් ඇතුළු විදෙස් විශ්වවිද්‍යාලවලින් සිදුකරන පයේෂණවලින් සොයාගෙන තිබෙනවා තරුණ ප්‍රජාව වැඩි වශයෙන් භාවනාවට යොමුවන බව. 

  • දරුවො හරිම ස්ට්‍රෙස්

මගේ ක්ලාස්වලට අවුරුදු 17,18 ළමයි එනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ළමයෙකුට සෙල්ලම් කරන්න වෙලාවක් හෝ නිවාඩුවේ ඉන්න වෙලාවක් නෑ. ඒවත් එක්ක ළමයි හරි ස්ට්‍රෙස් වෙනවා. දැන් ඒ ළමයි ඒකට උත්තරයක් යෝගා සහ භාවනාවෙන් හොයන්න හදනවා. අන්න එහෙම ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා.
හාවඩ් විශ්වවිද්‍යාලයෙන් කළ තවත් සමීක්ෂණයකින් හෙළිකරගෙන තිබෙනවා තව අවුරුදු 2ක් යනවිට වෙන කිසි දෙයකින්  පිහිටක් නොමැති නිසා මිනිස්සු නතරවෙන්නේ යෝගා සහ භාවනා ළඟ කියලා. මොකද මිනිස්සු යන්ත්‍ර වුණහම ඉමෝෂනල් ඉන්ටලිජන්ස් නැතිව යනවා. එතකොට පවුල ඇතුළෙ සමගියක් නෑ. නිතරම රණ්ඩු. කසාඳ බැඳලා මාසෙන් දෙකෙන් දික්කසාද වෙනවා.

  • දරුවන්ට හැමදේම කරල දෙන්නේ මොකටද?

අපේ අම්මලා දැනගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. තමන්ගේ දියණියන්ව හුරතල් කරලා, හුරතල් කරලා, කටේ බත් ටික ඔබලා, රෙදි ටික හෝදලා මැදලා දීලා ඉන්න අතරේ එකපාර මනුස්සයෙක්ට කසාඳ බන්දලා දෙන්න එපා. මොකද එතන බත් කවන්නයි, රෙදි හෝදලා දෙන්නයි කවුරුවත් නෑ. එතකොට ඒ ළමයා මානසික පීඩනයට ලක්වෙනවා. වැඩටික කරගෙන යන්න බැරුව දික්කසාදය කරා යනවා.
තවත් අවස්ථාවල ලක්ෂ ගණන් වැය කරලා විදෙස් විශ්වවිද්‍යාල කරා යවන දරුවෝ මාස දෙකක් ඇතුළත ආයෙත් මේ රටට එනවා.
මේ නිසා අම්මලා දැනගන්න ඕනි පිරිමි ළමයෙක් වුණත්, ගැහැනු දරුවෙක් වුණත් පොඩිකාලේ ඉඳන් තමන්ගේ වැඩ කරගන්න උගන්වමින් ලොකු කරන්න. හොඳින් දරුවො හදාගන්නෙ කොහොමද කියලා අපේ අම්මලා දන්නෙ නෑ. ළමයාට ළමයව බලාගන්න උගන්වන්න ඕනෑ.
ළමයින්ගේ ඔක්කොම වැඩ ටික අම්මා කරලා දෙන්න ගත්තම ළමයට කරන්න දෙයක් නැතිව යනවා. පවුනේ, පාඩම් කරන නිසා මහන්සියිනෙ, වගේ කතා කියමින් අම්මා සියලු දේ කරනවා. අපේ අම්මලා අපිට ඔය දේවල් කරලා දුන්නෙ නැති නිසා අපිට අදටත් ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් වෙලා තිබෙනවා.
ඒ වගේම දරුවන්ට මිල අධික ජංගම දුරකථන මිලදීගෙන දීමට මවුවරු අද කටයුතු කරනවා. ඒ වගේම කාමර ඇතුළෙ දොර ලොක්කරගෙන ඉන්න දෙන්නෙ නැතිව ඔවුන් යන එන ගමන් හෝ ඔබට නිරීක්ෂණය වන සාලයේ වැනි තැනක පාඩම් කිරීමට පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් පාඩම් වැඩ කිරීමට ඉඩ සැලසිය යුතුයි.
මේ තත්ත්වය මත අපි ගොඩක් වැඩසටහන් විවාහ අපේක්ෂාවෙන් සිටින ගැහැනු ළමයින්ට සහ කසාද බැඳලා දරුවන් ඉන්න  මවුවරුන් වෙනුවෙන්  කරනවා.

  • සුදුවෙනවට වඩා මනස හදාගන්න එක වැදගත්

සුදුවෙන්නෙ කොහොමද, පපුව හදාගන්නෙ කොහොමද, පස්ස හදාගන්නෙ කොහොමද කියනදේට වඩා අපි මනස හදාගන්නෙ කොහොමද කියන දේ ගැනයි අවධානය යොමු කළ යුත්තේ. මනස හදාගැනීම තුළ විශ්වීය ධර්මතාව අපි හරියට දකිනවද, ඒවට විරුද්ධව ගියහම අපිට මොකද වෙන්නෙ කියන දේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. බොහෝ වෙලාවට කසාදයක් සිද්ධ වෙන්නෙ දන්නෙ නැති මනුස්සයෙක් එක්ක. ගිහින් එකතුවෙන්නෙ දන්නෙ නැති පවුලකට. ඔවුන්ගේ ඇතුළාන්තය ගැන දන්නෙ නෑනෙ.

  • විවාහ අසාර්ථක වුණත් මම සාර්ථක ගැහැනියක්  

මගේ අම්මට භාවමය බුද්ධිය නොතිබුණු නිසා ඇය විවාහ ජීවිතයේ විඳි පීඩනය අඬ අඬා මාත් එක්ක කියන්න පුරුදු වෙලා හිටිය නිසා  පිරිමි එක්ක ගනුදෙනු කරගන්න බැරි ප්‍රශ්නයක් මට තිබුණා. මේ නිසා මගේ  විවාහ දෙකක් අසාර්ථක වුණා. මම සිය දිවි නසාගන්න තැත්කළා.  නමුත් මට මගේ දියණියත් හදාගෙන  ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාගත හැකි ගුරුවරු පිරිසක් මට හමුවුණා. ඒවත් එක්ක තමයි අද මම මෙතන ඉන්නෙ.  අද මනෝ වෛද්‍යවරු මාව ඔවුන්ගේ වැඩසටහන් සඳහා එකතු කරගන්නවා මගේ මේ අත්දැකීම බෙදාගැනීමට හා මම එතනින් ගොඩගියේ කොහොමද කියලා කියන දේ ගැන කතාකරන්න.

  • ලස්සන වෙන්න ඕනෑ සම නෙවෙයි හදවතයි

මට මෑතකදී හමුවුණු තරුණියක් කිව්වා ඇය වසර 6ක් ප්‍රේම සබඳතාවක් පවත්වන තරුණයා කියනවලු ඔයාගේ පාට කළු වැඩියි, ඔයා සුදු වෙන්න. නැත්නම් මට ඔයාව බඳින්න බැහැ කියලා. මොනතරම් නිර්දය කතාවක්ද ඒක. මේ තත්ත්ව ඇතිවෙන්න කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමිනුත් වගකියන්න ඕනෑ. පිරිමි පිට පෙනුමෙන් තමයි ලස්සන හොයන්නෙ. නමුත් පිටත පෙනුමෙන් ලස්සන හොයනවා වෙනුවට ඇයගේ ඇතුළත ලස්සනයි වැදගත් වෙන්නෙ. මොකද පිට පෙනුමෙන් විතරක් ගැහැනියක් තෝරගෙන ඇය සමග ඉදිරි ගමනක් යාහැකිද කියන දේ ගැනයි අපි හිතන්න ඕනි.  

  • දරුවන්ට කියාදෙන්න තරග කරන්න ඕනෑ විදිහ

මම වාහනයක් ගනිද්දි හිතන්නෙ මට ඒ වෙනුවෙන් යෙදවිය හැකි මුදල ගැනයි. අනික් අය ළඟ තියෙන්නෙ මේ විදිහෙ වාහන, මමත් ගන්න ඕනි ඒ විදිහේ වාහනයක් කියන තැන මම නෑ. අපි අනුන් කරන දේ කළ යුතු නෑ, අනුන් සමග තරගයකට යායුතුත් නෑ. අන්න ඒ පණිවිඩය අපි දරුවන්ට දිය යුතුයි.  දරුවන්ට ඒ පණිවිඩය දෙන්න නම් මවුපියන් ඒ පණිවිඩය ගන්න ඕනි. උඹ ඉංජිනේරුවෙක් වෙයන්, වෛද්‍යවරයෙක් වෙයන් කියලා පුළුවන් තරම් ටියුෂන් අරගෙන ගිහින් දරුවාට දරාගත නොහැකි ඉලක්ක පෙන්වන සමාජයක් තමයි දැන් තියෙන්නෙ.

  • සොබාදහම එක්ක බැඳුණු ජීවිත හරිම සුන්දරයි

මේ තත්ත්වය වෙනස් කරන්න නම් සමාජීය වශයෙන් විශාල වෙනසක් සිදුකරන්න ඕනි. මිනිස්සුන්ට අාධ්‍යාත්මික මාර්ගය වෙත පැමිණෙන්න සිදුවෙනවා. විශ්වය එක්ක එකතුවෙන්න වෙනවා. විශ්වයෙන් වෙන්වෙලා යන්ත්‍ර සූත්‍ර වෙලා අපිට මේ ගමන යන්න බෑ. විශ්වය එක්ක, ස්වභාව දහම එක්ක කරන ගනුදෙනුව හරියට කළේ නැත්නම් අපිව උස්සලා පොළොවෙ ගහනවා. මේ සත්‍ය හොයාගෙන මිනිසුන් යන නිසා තමයි බෞද්ධ දර්ශනය වෙත ලෝකය නැඹුරුවෙමින් තිබෙන්නෙ.

ඡායාරූප - රුසිරු කොළඹතන්ත්‍රිගේ                                                                                                                       

 Hair & Makeup / Salon Moshiyo By Ranjana Vithanage - Borelasgamuwa                                                                   Location / Abhina Youga Ashram - Borelasgamuwa

 

 

ඔහු ගැන සතුටු වෙන්න හේතු ඕනෑ තරම් -  Dulanjali Ananda Read Previous

ඔහු ගැන සතුටු වෙන්න හේතු ඕනෑ තරම් - Dulanjali Ananda

SIRIKATHA FASHION Read Next

SIRIKATHA FASHION

Realted Post

Leave a comment