හයවැනි වරටත් ජයගත් ආසියානු දැල්පන්දු ශූරතාව

 

මෙවර ජයග්‍රහණයත් සමග හයවතාවක් ආසියානු කුසලානය දිනාගැනීමේ සුවිශේෂීබව වන්නේ කණ්ඩායමක් ලෙස එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යෑම බව තරගය පුරාවටම ඔවුන්ගෙන් පෙනෙන්නට තිබූ සුවිශේෂී ලක්ෂණයකි.

ආසියාව පුරා නැවත නැවතත් ලංකා නාමය පතුරුවමින් ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියන් හයවැනි වරටත් මාතෘ භූමියට ආසියානු දැල්පන්දු කුසලානය රැගෙනවිත් තිබේ. ඒ සිංගප්පූරුවේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු තරගාවලියේ සිංගප්පූරු කණ්ඩායම 63 ට 53ක් ලෙස පරාජයට පත්කරමිනි. රටක් ලෙස විශාල ආර්ථික ආර්බුදයකට මුහුණ දී තිබෙන මොහොතක ජනතාව සෑම අතින්ම පීඩාවිඳිමින් සිටින අවස්ථාවක, රන් කුසලානයක් රැගෙන ඒම සැබැවින්ම අපේ රටට සතුට දනවන සුවිශේෂී අවස්ථාවකි. මෙම තරගාවලියේදී ලබාගත් ජයග්‍රහණයට වැඩි වටිනාකමක් හිමිවන්නේ ඔවුන් මෙම තරගාවලිය පුරාවට අපරාජිත කණ්ඩායමක් ලෙසින් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීම නිසාය.

ප්‍රබල රටවල් එකොළහක් නියෝජනය කරමින් දොළොස්වැනි වරටත් පැවති මෙම ආසියානු දැල්පන්දු තරගාවලිය පුරා අපරාජිත කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. කෙසේ වුවත් පළමු කාර්තු දෙකේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටියත්, තුන්වැනි කාර්තුව තුළදී නැවතත් තරගය තමන්ගේ පැත්තට හරවා ගනිමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. වර්ෂ 1989, 1997, 2001, 2009 සහ 2018 වර්ෂවලදී මෙන්ම 2022 වත්මන් ශූරතාව දිනා ගැනීමටත් අපේ සිංහ කෙල්ලෝ වරම් ලැබුවේ එලෙසය. අපේ රට ලෝකයේ හුදකලා වී තිබෙන අවස්ථාවක ලංකා නාමය ලෝකයට රැගෙන යමින් ඉමහත් කීර්තියක් අත්කරදීමේ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුමය.

මෙවර ජයග්‍රහණයත් සමග හයවතාවක් ආසියානු කුසලානය දිනාගැනීමේ සුවිශේෂීබව වන්නේ කණ්ඩායමක් ලෙස එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යෑම බව තරගය පුරාවටම ඔවුන්ගෙ න් පෙනෙන්නට තිබූ සුවිශේෂී ලක්ෂණයකි. කණ්ඩායම් හැඟීම පමණක් නොව ඕනෑම අවස්ථාවකදී තම කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමේ සහ අවස්ථානුකූලව මෙහෙයවීමේ නායකත්වය, කණ්ඩායම් නායිකා ගයාන්ජලී අමරවංශගෙන් මනාව කැපී පෙනුණි. තරගයේදී මෙම කණ්ඩායම් සාමූහිකත්වය හොඳින්ම කැපී පෙනෙන අවස්ථාවක් ලෙස මලයාසියාව සමග පැවති තරගය හැඳින්විය හැකිය. තරගය ආරම්භයේදීම පසුබෑමක් සිදුවුවත් තරග වට දෙකක් පමණක් ජය ගනිමින් මුළු තරගයේම ජය ලබාගැනීමට ඔවුන් සමත් විය.

ඒ විතරක් නොව මෙවර ආසියානු දැල්පන්දු කුසලානය හිමිකර ගත්තේ උණුසුම් මුහුණුවරක් මැද වීමත් විශේෂ කාරණයකි. නායකත්වය, සහ අනෙක් සාමාජිකාවන්ගේ හැකියාව, සහයෝගය මෙන්ම තරග ජයග්‍රහණය ගැන කතා කිරීමේදී එහි කැපීපෙනෙන තරගකාරියක් වූ තර්ජනී ෂිවලිංගම් කතා නොකරම බැරි චරිතයකි. වයස අවුරුදු හතළිස් දෙකක් වුවත් ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩාකාවක් බව මෙවර තරගයේදී ද මොනවට පැහැදිලි විය. තවමත් ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන්නේද ඇය වන අතර ඇයගේ උස අඩි හයයි අඟල් එකොළහකි. ඒ නිසාම ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ තේරීම් තරගවලට සහභාගී නොවුනත් ඇය කණ්ඩායමට එකතු කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වා තිබේ. කණ්ඩායමේ දක්ෂතාවට මෙන්ම ජයග්‍රහණයේ ප්‍රණාමය ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහට හිමිවිය යුතුය. මෙවරත් ජාතික දැල්පන්දු පුහුණුකාරිය ලෙස පත්වෙන ඇය සත්කාරක සිංගප්පූරුවේද වරක් ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර දැරීය. ඇය කටුනායක ගුවන්තොටුපළේදී අදහස් දක්වමින් පවසා තිබුණේද තර්ජනී ශිවලිංගම් ඉදිරි කාලයේදී අපෙන් සමුගතහොත් අපේ කණ්ඩායමට වන දේ සිතා ගැනීමටත් අපහසු බවයි. දෙවන පෙළ කණ්ඩායමක් සෑදී නොමැතිවීම එයට හේතුව බව ඇය පැවසූ අතර 2005 වර්ෂයෙන් පසුව ඇයට හමු වූ හොඳම සහ කීකරු කණ්ඩායම මෙම කණ්ඩායම බවද ඇය කියා සිටියා ය.

 

 

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයාන්ජලී අමරවංශ කියා සිටියේ, ඔවුන් මෙම තරගයට සහභාගී වුණේ 2018 වසරේ ආසියානු කුසලානය දිනාගත් කණ්ඩායම ලෙස බවත්, එය ඔවුන්ට විශාල පීඩනයක් සහ අභියෝගයක් වූ බවත්ය. ඒ වගේම මීළඟ බලාපොරොත්තුව 2023 වර්ෂයේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හී පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී එම තරගය ජයගැනීම බවත් ය. කෙසේ වුවත් ආසියාව ජයගත් මේ සිංහ කෙල්ලන් ශූරතාව දිනාගෙන තම මාතෘ භූමියට පැමිණෙන විට ඔවුන් පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩිකාවන්ගේ මවුපියන්ද, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ජාතික දැල් පන්දු ෆෙඩරේෂණයේ සභාපති ලක්මී වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසත් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන් පැමිණීමේ මැදිරිය වෙත පැමිණ තිබූ අතර සියලුම දෙනාගේ සුභාශිංසන ඔවුන්ට පිරිනැමිණි.

 

 

 


සටහන නයනා උදයංගනී 
ඡායාරූප ක්‍රීඩා අමාත්‍යාංශයෙනි


 

THE MALL AT PORT CITY COLOMBO LAUNCH Read Previous

THE MALL AT PORT CITY COLOMBO LAUNCH

ARTRA’s Art Experiential Festival Read Next

ARTRA’s Art Experiential Festival

Realted Post

Leave a comment