අඩු වයසින් ගොඩ ගියේ මෙහෙමයි Model & Fashion Designer Nethmi Liyanage

 

මෙවර සිරිකත කවරය හැඩවෙන්නේ විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යාමට උත්සාහ කරන රුවැත්තියක් සමග. ඉගෙන ගන්න ගමන්ම අඩු වයසින් තමන්ගෙම උත්සාහයෙන් තමන්ගෙම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන ඇය නමින් නෙත්මි ලියනගේ. මේ ඇයත් සමග අපි කළ කතාබහ.

  • නෙත්මිගෙ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ.

මට වයස අවුරුදු 23යි. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම විදේශගතවෙලා ඉන්නේ. මගේ අම්මා නම් නැහැ. පිළිකා තත්ත්වයක් නිසා මීට වසර කිහිපයකට කලින් ඇය අපෙන් සමුගන්නවා.  ඇය අපිව  දාල යද්දි මට වයස 19යි. තාත්තා මගේ ළඟ ඉන්නවා. ව්‍යාපාර කටයුතුවලට තාත්තා විටින් විට මල්ලිලා ළඟට ගිහින් එනවා.

  • ඔබ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට මේ ගමන එන්නෙ කොහොමද?

 මම උසස් පෙළ විභාගය කළේ කොමස්වලින්. ඊට පස්සේ ෆැෂන් ඩිසයින්වලට අයදුම් කරගන්න බැරිවුණා අම්මගේ මළගෙදර නිසා. ඒ අවසන් කටයුතු තිබුණ දවස් ටිකේ තමයි මොරටුව විශ්වවිද්‍යාලයට ඒ සඳහා අයදුම්පත් දාන්න තිබුණේ. ඒකට තෝරගන්න විභාග තිබුණෙත් ඒ කාලේමයි. ඉතින් මට මේ අවස්ථාව මඟ හැරුණු නිසා මම  පෞද්ගලික ආයතනයකින් විෂය ඉගෙන ගත්තා. අම්මා වගේම පවුලේ වැඩි දෙනෙක් මේ විෂයත් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒ නිසාත් ඒක මගේ ඇඟේ තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

  • අඩු වයසකින්ම ඔබ ව්‍යාපාරික කාන්තාවක් වෙලා

අම්මා නැතිවුණාට පස්සේ මම ජීවිතේ ගොඩක් වැටුණා. විශේෂයෙන් මානසිකව. නමුත් මගේ ළඟම යාළුවෙක් තමයි මට ඒ තත්ත්වයෙන් මිදෙන්න උදවු කළේ. අම්මා නැතිවෙලා මාස හත අටකට පස්සේ මගේ ළඟම යාළුවෙකුගේ උදවුවත් එක්ක මම පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා. ජීවිතේ අපි හුඟක් අවස්ථාවල වැටෙනවා තමයි. හැබැයි අපි ඒවත් එකක් දුක්වෙවී ඉඳලා හරියන්නෙ නෑ නැගිටින්න ඕනෑ. මම එහෙම කෙනෙක්. මම තනියම මගේ ව්‍යාපාරය පටන් ගත්තා. මූල්‍ය වශයෙන් මගේ නැන්දා මට උදවු කළා. විලාසිතා පැත්තෙන්ම තමයි මම මගේ ව්‍යාපාරය ආරම්භ කළේ.

  • විලාසිතා ක්ෂේත්‍රය වෘත්තිය විදියට තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්, ඒකට හේතුව මම ලස්සනට ඉන්න හරිම ආස කෙනෙක්. ඒ නිසා මම හිතුවා මම ලස්සනට ඉන්න ගමන්ම අනෙක් අයවත් ලස්සන කරන්න ඕනෑ කියලා.

  • තමන්ගෙම දෙයක් කරන්න ඕනෑ කියලා හිතුණේ ඇයි?

මුලින්ම මේක ආරම්භ කළේ මම විතරයි. දැන් මට මේ ගමන යන්න මාත් එක්ක කණ්ඩායමක්ම ඉන්නවා. සියලු වැඩ කටයුතු සිදුවෙන්නෙ මගේ අනුදැනුම ඇතිව. විශේෂයෙන්ම මගේ දෙයක් කරන්න ඕනෑ කියලා මට හිතුණේ ඒක ඇතුළෙ මට මගේ නිදහස තියන නිසා. ඒ වගේම තමන්ගෙම මහන්සියෙන් දෙයක් කරලා මුදලක් උපයාගද්දි ඒක ඇතුළෙ ලොකු සතුටක් තියනවා කියලා හිතන නිසා.

  • ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් ඉන්න යුවතියකට මොකද්ද කියන්න තියෙන්නෙ?

එහෙම කෙනකුට කියන්න තියෙන්න මුලින්ම තමන් තමන්ගේ ෆැෂන් එක හඳුනාගන්න කියලා. තමන් කැමති මොනවටද සහ තමන් දක්ෂ මොනවටද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. සමහර දේවල් ආස නිසා තෝරා ගත්තට වැඩක් නැහැ තමන්ට ඒ විෂයට හැකියාවක් නැත්නම්.  තමන් දක්ෂ, පහසුවෙන් ඒ වැඩේ වෘත්තියක් විදියට කරන්න පුළුවන් ෆැෂන් එක හොයාගන්න ඕනෑ. ඒ වගේම අනුන්ට ඕනෑ විදියට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. තමන්ට ආස දේ කරන්න තමන්ට ශක්තියක් තියෙන්න ඕනෑ.

  • ඔබ නිරූපණ ක්ෂේත්‍රයෙත් තුළත් දක්ෂතා පෙන්වපු කෙනෙක් නේද?

ඔව්, මම එක දෙයක් කරන කෙනෙක් නෙවෙයි. මම දක්ෂයි කියලා  හිතෙන විෂයන් කරලා බලනවා. මොඩ්ලින් කියන්නෙත් මගේ හොබී එකක්. මට පැජන්ඩ් එකකට සහභාගී වෙන්නත් අවස්ථාවක් ලැබිලා තියනවා. මිස් සුපර් මොඩ්ල් වර්ල්ඩ් වයිඩ් 2024 මම තමයි ශ්‍රී ලංකාව නියෝජනය කළේ. රටවල් කිහිපයක්ම ඊට සහභාගී වුණා. එහිදී මම මිස් සුපර් මොඩ්ල් ඒෂියා පළමු ස්ථානය දිනාගත්තා. ඒ වගේම Miss Talent එක ජයග්‍රහණය කළා.

 Pic By - Rushiru Colambathanthrige 

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

යකඩ ගැහැනියක් වෙන්න... Read Next

යකඩ ගැහැනියක් වෙන්න...

Realted Post

Leave a comment