අදත් ගලන සුනාමියේ කඳුළු - මුහුද ගොඩ ගලා දහස් ගණන් ජීවිත අහිමි වී වසර 20 ක්
වසර 2004 දෙසැම්බර් 26 වැනිදා ලෝකයටම කඳුළක් ඉතිරි කළ දිනයකි. ආසියානු රටවල් කීපයක්ම කඳුළින් නැහැවූ දිනයකි. ඒ බිහිසුණු අමිහිරි අත්දැකීම දැනුදු සිහියට නැගෙද්දී සීතල කඳුළකින් දෙනෙත් තෙමී යයි.
සුනාමිය යන ජපන් වදනින් සිහිගැන්වෙන ඒ බිහිසුණු සිදුවීම ඉතා අමිහිරි මතකයකි. සමුදුරු ගැබින් ප්‍රසූත වූ ඒ මහ ජල කඳ එදා වෙරළ තීරයෙන් මෙපිට ගොඩබිම ගිල ගත්තේ යක්ෂයෙකු අහිංසක බිලිඳෙකු ගිලගන්නා සේය.
ඒ සා දැවැන්ත ඛේදවාචකයක් ස්වාභාවික ව්‍යසනයක් අස්වාභාවික අන්දමින් මිනිස් ජීවිත උදුරා ගන්නේ කෙලෙසද? එදා සුනාමි අත්දැකීම සියැසින් දුටු තම ප්‍රියයන් අහිමිවීමේ වේදනාවෙන් තවමත් පෙළෙන කිහිප දෙනෙකු සොයා අපි දකුණු ලකේ සැරිසැරුවෙමු.
සුනාමි ව්‍යසනයට හසු වුණු බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. සමහරු ජීවතුන් අතර සිටීද නොසිටීද කියා කිසිවකු දන්නේ නැත. ජීවිතය බේරගත්තවුන්ද ඇත. එසේ ජීවිත බේරාගත්තවුන් බොහොමයකගේ ජීවිත තුළ තවමත් විස්සෝපගත අතීතය හොල්මන් කරයි. කෙසේ වෙතත් ඒ කටුක කුරිරු අත්දැකීමට මුහුණ පෑ ඇතැමුන් මහමුහුද හා ගනුදෙනුව තවමත් අතහැර දමා නැත. මහ මුහුද සුනාමිය හරහා තම ඥාතීන් දේපළ තමන්ට අහිමි කළද ඔවුහු මුහුද හා වෛරයෙන් පසු නොවෙති. මේ ඔවුන්ගේ කඳුළුපිරි අතීත කතාවයි.
- ඉතිරි වුණේ ඇඳගෙන හිටපු සාය විතරයි
- පැරෑලියේ අගම්පොඩි රේණුකා සිය අත්දැකීම අපට කියා පෑවේ මෙසේය.
‘‘අපේ ගෙවල් ඒ දවස්වල තිබ්බේ පැරෑලිය ගාලු පාරේ. එදා දවස ඉරිදාවක්. මම පොළට යන්න සූදානමින් සිටියේ. මගේ අක්කයි මමයි කාමරයේ සිටින වෙලාවෙ ලොකු සද්දයක් ඇහුණා. එහා ගෙදර මනුස්සයා කිව්වා රේණු අක්කෙ මුහුද ගොඩ ගලනවා කියලා, ඒ වෙලාවේ තාත්තා කිව්වා එහෙම වෙන්නෙ කොහොමද එහෙම දෙයක් වෙන්නේ බැහැනෙ කියලා. ඒ වෙලාවේ අපේ ගෙදර එක පැත්තක් කඩාගෙන වැටුණා. අපි ඉක්මනට එළියට දිව්වා.’’
ඒ අවස්ථාවේ ඇයට ජීවිතය ගැන බයක් විතරයි හිතේ තිබුණේ. ඇය ඇඳ සිටියේ යට සාය පමණක් බව ඇයට පසක් වූයේ පසුවය. කාන්තාවක් විදියට එවැනි තත්ත්වයකට මුහුණදීම කෙතරම් ඛේදනීයද?
‘‘ඒ වෙලාවේ විශාල වතුර පහරක් ඇවිත් අපිව එක එක පැතිවලට ගසාගෙන ගියා. මම එතැන ළඟ තිබූ පොල් ගසක් බදාගත්තා. තාත්තයි අක්කයි වෙන පැත්තකට ගසාගෙන ගියා. තාත්තා මට පෙනි පෙනී වතුරේම නොපෙනී ගියා. ඒ මම තාත්තව දැක්ක අන්තිම මොහොත. තාත්තගේ මරණයවත් අපිට දකින්න ලැබුණේ නැහැ.’’
ඇය අදටත් ඇයගේ තාත්තව සිහියට නගන්නේ කඳුළු පිරි දෑසිනි.
‘‘එදා අපි ජීවිත බේරගත්තත් මගේ තාත්තයි, අයියයි, මගේ මහත්තයාගේ තාත්තයි තුන්දෙනාම අපිට අහිමි වුණා. අයියගේ මරණය අපිට දකින්න ලැබුණා. ඒ වගේම එදා මට ඉතිරි වුණේ මම ඇඳන් හිටපු යට සාය විතරයි. මට ඇඳුමක් ලැබුණේ වෙනත් අයෙකුගෙන්. අවුරුදු 20 ක් ගෙවුණා. නමුත් ඒ ඛේදවාචකයේ අඳුරු සෙවණැලි තවමත් අපේ ජීවිතවලට වැටී තිබෙනවා.’’
- අම්මයි තාත්තයි ඒවි කියල අදටත් හිතෙනවා
- බුද්ධික මෙත්තමුණි අපත් සමග කියා සිටියේ සුනාමි ව්‍යසනයෙන් ඔහුගේ මවුපියන්ගේ අහිමිවීම ගැනයි.
‘‘මෙවැනි ඛේදනීය දවසකට අපිට මුහුණ දෙන්න වෙයි කියා කවදාවත් සිතුවෙ නැහැ. ඒ දවසේ මම හිටියෙ පන්සලේ. මුහුද ගොඩ ගලනවා කියද්දිත් මම හිනාවෙලා ආපහු මගේ වැඩ කරගත්තා. අපි හිටිය පැත්තෙ ඉඳලා මිනිස්සු අසාමාන්‍ය විදිහට දුවනවා දැක්කා. මම අපේ ගෙදරට යන්න තියෙන කෙටි පාරකින් ගෙදරට යද්දී මගේ ඉස්සරහට වතුර ගලාගෙන එනවා දැක්කා. එදා ගෙදර හිටියෙ මගේ අම්මයි තාත්තයි විතරයි. අපි නිවසේම සිල්ලර බඩු ව්‍යාපාරයක් කළා. මම ගෙදරට යද්දි අම්මයි තාත්තයි හිටියේ නැහැ. මම හිතුවේ දෙන්නම කොහේට හරි ගිහින් ඇති කියලා. ඒ නිසා මම ආපහු පන්සලට ගියා. ඒ ගිහින් ලොකු හාමුදුරුවන්ට කියල පඬුරක් ගැට ගැහුවා.
මම ආපහු අම්මවයි තාත්තවයි හොයන්න ගෙවල් පැත්තට ගියා. ඒ සැරේ දෙවැනි රළත් ආවා. ඒ දෙන්නව හොයාගන්න බැරිවුණා. සුනාමිය ඇවිත් තුන්වැනි දවසේදී හොයාගන්න ලැබුණා. ඒ වෙනකොටත් ඒ දෙදෙනා අපේ ජීවිතවලින් ඈත් වෙලා ගිහින්. මගේ අම්මයි තාත්තයි ඇතුළු දාහත් දෙනෙකු එදා පන්සල් භූමියේ භූමදානය කළා.
එදා ඒ ස්වාභාවික ව්‍යසනයෙන් අපේ ජීවිතවල වටිනාම දේවල් අහිමි වුණා. ඒ වගේම අප සතුව තිබූ සියලුම දේවල් අහිමි වුණා. කිසිම කෙනෙකු කවදාවත් හිතන්නේ නැතුව ඇති මෙවැනි දෙයක් අපේ ජීවිතවලට සිදුවේවි කියලා.’’
මෙලෙස තවත් මවුවරු පියවරු සොයුරු සොයුරියන් දහස් ගණනක් තමන්ට සුනාමියෙන් අහිමි වූවන් කෙදිනක හෝ නැවත පැමිණෙන තෙක් තවමත් බලා සිටිනු නොඅනුමානය. සුනාමියේ වේදනාව වසර විස්සක් ගත වීත් විඳින්නේ දකුණු ලකේ මිනිසුන් පමණක් නොවේ. රට වටේම එවැන්නෝ දහස් ගණනක් සිටිති. ඔවහු හෙටත් තම අහිමි වූ ප්‍රියයන් වෙනුවෙන් කඳුළු හෙළනු ඇත. ඒ කඳුළු අපේ මව්බිම හෙටත් තෙත් කරනු ඇත. සුනාමිය සැබවින්ම නිමා නොවන කඳුළු ගංගාවකි.
Leave a comment