ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක බැදුණු Nita Fernando

සිය ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යය තුළින් දශක ගණනක් තිස්‍සේ රසිකයන් තුළ නොමැකෙන රංගන මුද්‍රාවක් තැබූ රංගන ශිල්පිනියක් ලෙස නීටා ප්‍රනාන්දු නම් සම්මානනීය, ජ්‍යෙෂ්ඨ රංගනවේදිනිය හැඳින්විය හැක.  ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන චරිත තුළින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන රංගනවේදිනියක වන නීටා ප්‍රනාන්දු නව නිර්මාණ පිළිබඳව සේම, ජීවිතය මැනවින් වටහාගෙන ජීවත් වන කාන්තාවක් ලෙස ඇය සමාජය දෙස දකින ආකාරය ගැන කතාබහ කරන්නට අපි ඇය හා සංවාදයේ යෙදුනෙමු.

  • මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?

චමින්ද ඉලුක්වලගේ ‘මාගම් සෝලි’ චිත්‍රපටිය තමයි මම මෑතකම කළ ප්‍රධාන චරිතය සහිත චිත්‍රපටය. මෙතනදි කිවයුතුම කාරණයක් තමයි   ‘මාගම් සෝලි’ සිනමා නිර්මාණය ‘මාගම් සෝලිය’ නමින් පළ කෙරුණු කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බව. 
උදාර පල්ලියගුරුගේ නිර්මාණය කළ Gigallo (ජිගලෝ) කියන චිත්‍රපටියත් ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. නිලන්ත හපන්වීරගේ පළමු සිනමා නිර්මාණය වූ ‘තේජා’  ප්‍රදර්ශනය වීමට ඇති මම රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපටියක්. ප්‍රසාද් කළුපහනගේ ‘කම්බිලි’ චිත්‍රපටියේත් සුවිශේෂී චරිතයක් මම නිරූපණය කළා. 

  • ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසි කාලය සමග බලන විට අද සිනමාව සම්බන්ධව ඔබගේ දැක්ම කෙබඳුද? 

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්න ඕන. මේ වෙනස අපේ සිනමාවෙත් සිදුවෙලා තිබෙනවා. රංගන ශිල්පී, ශිල්පිනියන් සම්බන්ධව ගත්තොත් බලාපොරොත්තු තබාගත හැකි ටික දෙනෙක් ඉන්නවා. විවිධ විවිධ අදහස් දරන අධ්‍යෂකවරුන් නම් ගොඩක් ඉන්නවා. එහි විශාල දියුණුවකුත් තිබෙනවා. ප්‍රදර්ශනය සම්බන්ධව තමයි ගැටලුව තිබෙන්නේ.

  • ඔබ ජීවිතේ යම් කඩයිමක සිටින තැනැත්තියක් ලෙස ජීවිතය ගැන දකින්නේ කොහොමද?

අපි මනසින්, වයසින් මුහුකුරා යද්දි අපිට තේරෙන්නෙ ජීවිතේ බරපතළ විදිහට ගත්තෙ නැති සමහර දේවල් අපිට එහෙම ගන්න තිබුණා නේද කියලා. සමාජය ගැන වුණත් අපට තේරෙන්නෙ හුඟක් කල් ගියාට පස්සෙයි. තරුණ කාලේ අම්මලා, තාත්තලා , වැඩිහිටියෝ, ගුරුවරු කිව්වට අපි ඒ දේවල් ඒ කනෙන් අහලා මේ කනෙන් එළියට දැම්මත්, දැන් තේරෙනවා ඒ කාලේ එහෙම නොකළා නම් හොඳයි කියලා.
ගැහැනියක් ලෙස මගේ වාසනාවට මට හොඳ මහත්තයෙක් හම්බ වුණා. අන්‍යෝන්‍ය සාකච්ඡා මාර්ගයෙන් මගේ ළඟ තිබුණු වැරදි හදාගන්න ඔහු මට ලොකු පිටිවහලක් ලබාදුන්නා. විශේෂයෙන් ඒ කාලේ මට ගොඩක් තරහ යනවා. මට ඉවසීම පුහුණු කළේ මගේ මහත්තයා. 
ඔබත් තරුණියක් ලෙස ඔබේ ස්වාමිපුරුෂයාව තෝර ගන්නකොට එකිනෙකා අතර සිදුකරන කතාබහෙන් දෙදෙනා අතර දුර්වලතා මොනවාද කියලා හඳුනා ගන්න. මගේ මහත්තයා මගේ තරහ නිවනවා කියල මම කිව්වත්, ඔහුට තරහ ගිය වෙලාවට මම නිශ්ශබ්ද වුණා. දෙන්නම එක වගේ ඇවිළුණොත් ජීවිතය විනාශ වෙනවා.  
අද බැඳලා හෙට ඩිවෝස් වෙන්නෙ නැතුව ඇත්තටම ආදරය කරනවා නම් එකිනෙකාගේ වැරදි, කතාබහ කරමින් නිවැරදි කර ගනිමින් මේ ගමන යන්න ඕන. විශේෂයෙන් පවුල ඇතුළෙ හොඳ සන්නිවේදනයක් තිබිය යුතුයි. ඒ වගේම ඉවසීම හා සමාව දීම ගැහැනියක් සතු විය යුතු සුවිශේෂී ගුණාංගයක් කියලයි මම නම් දකින්නේ. 

අපි මනසින්, වයසින් මුහුකුරා යද්දි අපිට තේරෙන්නෙ ජීවිතේ බරපතළ විදිහට ගත්තෙ නැති සමහර දේවල් අපිට එහෙම ගන්න තිබුණා නේද කියලා. සමාජය ගැන වුණත් අපට තේරෙන්නෙ හුඟක් කල් ගියාට පස්සෙයි. 
තරුණ කාලේ අම්මලා, තාත්තලා , වැඩිහිටියෝ, ගුරුවරු කිව්වට අපි ඒ දේවල් ඒ කනෙන් අහලා මේ කනෙන් එළියට දැම්මත්, දැන් තේරෙනවා ඒ කාලේ එහෙම නොකළා නම් හොඳයි කියලා.

 

  • බොහෝ අයගේ ජීවිත ඔය තරම්ම සුන්දර වෙන්නෙ නෑ නේද? 

මම ශක්තිමත් වෙන්න ඕන කියන කාරණය මූලිකවම හිතට ගන්න ඕන. කොතන හරි තැනක අපිට උදව්වක් තියෙනවා. විශේෂයෙන් තමා අදහන ධර්මයේ පිහිටන්න ඕන. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ඉහළින් ඉන්න බලවේගයක් තිබෙනවා කියන කාරණය. අපේ ජීවිතය ආරක්ෂා කරන, පාලනය කරන ඒ බලවේගය විසින් තමයි. 
කොයි වෙලේවත් බැහැයි කියලා අධෛර්ය වෙන්න එපා. මට පුළුවන්, මම මේ ගමන යනවා, මම නැගිටිනවා  කියන ශක්තිමත් අදහස ඇතිකර ගත යුතුයි. 
ඒ වගේම අවංක විය යුතුයි.  මගෙන් වැරැද්දක් වුණා නම් ඒ වැරැද්ද පිළිඅරගෙන, වැරැද්ද හදාගත්තා නම් දිරිමත්ව ඉදිරියට යන්න පුළුවන්. 
විශේෂයෙන් අද සමාජයේ කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යාමට ධෛර්ය අවශ්‍යයි. පවුලක් වශයෙන් ඉස්සරහට යනකොට තම වගකීම් ගැන හිතන්න ඕන. තමන් අදහන ධර්මය ගැන විශ්වාසයක් තිබෙන්න ඕන. 

  • ඔබ අධ්‍යාත්මික ජීවිතයත් එක්ක බැඳුණු කෙනෙක්ද?

ඔව්. මම පොඩි කාලේ ඉඳන්ම මම ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක  බැඳුණු කෙනෙක්. මම විශ්වාස කරනවා මට ඉහළින් මගේ දෛවය හෝ ඉරණම විසඳන කෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා. මම කතෝලිකයෙක් විදිහට මට ඉහළින් ඉන්න බලවේගයක් මාව පාලනය කරනවා කියලා මම දන්නවා. මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය අනුව වරදක් වුණොත් සමාවෙන්න කියන වචනයයි, ස්තූතියි කියන වචනයයි අපේ ජීවිතය පුරාවටම තියාගන්න ඕන. දෛවය හෝ විශ්වය හෝ ස්වභාවදහම පාලනය කරන පාලනය කරන තැනැත්තාට තමයි අපි දෙවියන් වහන්සේ කියන්නෙ. 

  • ඔබ ඔබේ ජීවිතය තුළ හුදකලාව අත්විඳින කෙනෙක් ලෙස එ්වා විඳගෙන ජීවිතය ඉදිරියට රැගෙන යන්නේ කොහොමද?

ජීවිතයේ හුදකලාව කියන දේ නැතිවෙන්නෙ නෑ. මම සිනමාවේ වැඩ කරන්න ගියත්, පල්ලියට ගියත්  සමාජයට මුහුණ දෙනවා. මම සමාජයට නිතර මුහුණ දෙන නිසා හුදකලා වෙන වෙලාවල් අඩුයි . නමුත් තනි වෙන වෙලාවල් තියෙනවා. ආදරයෙන් හිටපු මහත්තයගෙ අඩුව කවදාවත් පුරවන්න බෑ. හුදකලාවට මුහුණදෙන්න තමයි අපි අදහන ධර්මය ඕන වෙන්නෙ. අපි දෙවියන්, බුදුන්, ස්වභාවදහම ගැන විශ්වාස කරනවා නම් හුදකලාව නැති කරගන්න පුළුවන්. 

  • ඔබ රංගන ශිල්පිනියක් නොවී වෘත්තිකයෙක් වුණා නම් ඔබේ ගමන මොන වගේ වෙයිද?

මම අවුරුදු 18ක් කැනඩාවේ මොන්ට්‍රියාල්  ජෙනරල් හොස්පිටල් එකේ එක්ස්රේ අංශයේ ප්‍රධාන පිළිගැනීමේ නිලධාරිනිය විදිහට වැඩ කළා. මම මහත්තයා එක්ක ලංකාවට ආවෙ නැත්තම් දිගටම ඒ රැකියාව කරගෙන යයි. මම හිතන විදිහට යම් දේක නිරත වෙන්න ඕන.

  • ඔබ අන් අය ගැන සෑහෙන හිතන කෙනෙක්. නමුත් සමාජයෙ  අය ඔබ ගැන ඔය විදිහට හිතනවද?

මනුෂ්‍යයෙක් විදිහට අපි හැමෝටම යුතුකම් තියෙනවා. මම තනිවම ජීවත් වෙලා, තනිවම මැරිලා යන්න ඕන නැහැ. තව කෙනෙක් ප්‍රශ්නයක ඉන්නවා නම් මම මට පුළුවන් විදිහට උදව් වෙනවා. හැබැයි ඒක සාධාරණ හා ඇත්ත කාරණයක් වෙන්න ඕන. දකුණත කරන දේ වම් අතට නොදැනේවා කියනවා වගේ මම කරල තියෙන දේ කියන්න මම කැමති නෑ.  

  • ඔබේ ජීවිතේ අමතක නොවන මතක මොනවද?

පාසල් යන කාලෙදි මගේ අදහස වුණේ නැටුම් ගුරුවරියක් වෙන එක. මම නැටුම්වලට වඩා ඉදිරියට ගිහින් රංගන ශිල්පිනියක් වුණා. ඒ ගැන හිතනකොට මට අද හරි සතුටුයි. 
ඒ වගේම මගේ මහත්තයා හම්බ වුණ විදිහ ගැන හිතනකොටත් මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. ඔහු තව යාළුවෙක් එක්ක අපේ ගෙදර ආපු වෙලාවක මගෙන් ඇහැව්වා කැමතිද ඔහුව ආශ්‍රය කරන්න කියල. මම එතකොට කිව්වා අම්මගෙන් අහල කියන්නම් කියලා. (ඒ වගේ මෝඩ කතා මම කියලා තියෙනවනේ කියල හිතෙනකොටත් දැන් නම් හිනා යනවා.) ඊට පස්සෙ සති දෙකකින් විතර ඇවිත් කිව්වා මම එනවට කැමති නම් කෝල් එකක් දෙන්න කියලා. මම පස්සෙ කෝල් එකක් දීල කිව්වා අම්මා එන්න කිව්වා කියලා. ඔය වගේ බොළඳ වැඩ තමයි මම කළේ. අන්තිටම අම්ම එන්න කියල ආවට ස්ථිර විදිහටම පදිංචි වුණා. 

 

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment