උපන් බිමේ එඩිතර දියණියෝ

 

අට වැනිදාට කාන්තා දිනය උදාවේ. අපේ රටේ එදිනට සැමරිය යුතු කාන්තාවෝ බොහෝය ඒ විවිධ ක්‍ෂේත්‍රවලින් අපේ කාන්තාවෝ දස්කම් පාන බැවිනි මෙවර කාන්තා දිනය නිමිත්තෙන් සිරිකත කවරය සැරසෙන්නේ දැයේ එඩිතර දියණියන් දෙදෙනෙකුගෙනි

 


කැම්පස් නොයා ගුවන් ගතවුණා 

පියාසර නිලධාරිනී අයෝමි උපේක්ෂා

 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙරට පළමු ගුවන් නියමුවරියන් (Women Air Pilot) අටදෙනා අතරට එක් වූ පියාසර නිලධාරිනී අයෝමි උපේක්ෂා පවසන්නේ ලොව අනෙකුත් රටවල කාන්තාවන්ට මෙන් ජීවිතයේ ඕනෑම අභියෝගයක් භාර ගනිමින් ඕනෑම රැකියාවක් කිරීමේ ධෛර්යය, ශක්තිය, ආත්ම විශ්වාසය ලාංකික කාන්තාවද සතුව ඇති බවයි.
“මගේ වයස අවුරුදු 27 යි. උපන්ගම මාතලේ. මම අධ්‍යාපනය හැදෑරුවේ මාතලේ සංඝමිත්තා බාලිකා ජාතික පාසලෙන්.
පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි මමයි ඉන්නේ. අම්මා ගෘහිණියක්. තාත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ඉංජිනේරුවරයෙක්. 

 


විශ්ව විද්‍යාල ප්‍රවේශය පෙනි පෙනී උපේක්ෂා ගුවන් හමුදාව තෝරගන්න හිතුවේ ඇයි?
මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. පුංචි කාලේ ඉඳලා මගේ තිබුණ එකම හීනය තමයි පයිලට් කෙනෙක් වෙන එක. පාසල් කාලේ ඉඳලා ඒක මට තිබුණු පිස්සුවක්. පාසල් කාලේ ඉඳලා මම හැමදාම ජීවත් වුණේ මගේ ඒ හීනේ ඇතුළෙ. අහසේ අහස් යානාවක් ගියත් මම ඒක දිහා බලාගෙන හරියට හීන දැක්කා.


මම කවදාහරි පයිලට් කෙනෙක් වෙනවා කිව්වාම හිනාවුණු අයත් හිටියා. උසස් පෙළ ලියලා ඒ ප්‍රතිඵල එක්ක විශ්ව විද්‍යාල ප්‍රවේශයට මම සුදුසුකම් ලැබුවා. කැම්පස් අයදුම් කරන්න ඉද්දි අහම්බෙන් මම දවසක් දැක්කා ගුවන් හමුදාවට කාන්තා ගුවන් නියමුවරියන් බඳවා ගන්නවා කියලා තිබුණු දැන්වීමක්.


ඊට පස්සේ කැම්පස් අයදුම් කරන එක පැත්තක තියලා මම ඒකට ඉල්ලුම්පත් යොමු කළා. ඒ ඉල්ලුම් පත්‍රය අනුව සම්මුඛ පරීක්ෂණවලින් පසුව මාව පුහුණුව සඳහා තෝරා ගත්තා. ඒ ලැබුණු විරල අවස්ථාව ගැන මම සතුටු වෙනවා. 


මගේ මවුපියන් මට මේ ගමන එන්න අවසර දීපු එක ගැන මම ඔවුන්ට හදවතින්ම ස්තූති කරනවා. ඒ වෙලාවේ මගේ මවුපියෝ මගේ අරමුණ තේරුම් අරගෙන, මගේ ගමනට ශක්තියක් වුණු නිසයි මේ අභියෝගය ජයගන්න මට පහසු වුණේ.


ශ්‍රී ලංකාවේ පළමුවන කාන්තා ගුවන් නියමුවරියන්ගේ ඒකකයක් ආරම්භ කිරීමට මූලික වූ වත්මන් ගුවන් හමුදාපතිවරයාට වගේම ඊට කැපවීමෙන් වැඩ කරපු අපිව පුහුණු කරපු සියලුමදෙනාටම මම හිස නමා ප්‍රණාමය පුද කරනවා. මෙය ඇත්තටම ඉතාම විරල අවස්ථාවක්. 

 


ඔබ ගුවන් නියමුවරියකවීමේ පුහුණු කාලසීමාව ගෙවෙන්නේ කොයි විදියටද?
මුලින්ම දියතලාව ගුවන් හමුදා යුද පුහුණු පාසලේ අවි ආයුධ සටන් කම්බැට් COMBAT පුහුණුව ලබා පසුව චීන වරාය (ත්‍රිකුණාමලය) ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයේ ගෲප් කැප්ටන් පූජිත ගුණතිලක මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ තමයි අපි පුහුණු වුණේ. මූලික ගුවන් පුහුණුව ලැබුවේ එතුමන් යටතේ. ඉන්පසුව Advanced Flying පුහුණුව ලැබුණේ එයාර් කමාන්ඩර් අමල් පෙරේරා මහතා ඒවාගේම එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සහ මට පුහුණුව දැනුම නිසි ආකාරව ලබා දීලා පරිපූර්ණ ගුවන් නියමුවරියක්වෙන්න මට මඟ පෙන්වපු මේ සියලුම නිලධාරීන් ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඒවාගේම Per solo අවදියේ මා හට පළමුව ගුවන් යානයක් පැදවීමට පුහුණු කළ වින්ග් කමාන්ඩර් ප්‍රසන්න ද සිල්වා නිලධාරිතුමා සහ මූලික පියාසර පුහුණුවීම් කළ අනෙකුත් නිලධාරීතුමන්ලාටත් මගේ ගෞරවය පිරිනමනවා.

 


 පළමු ගුවන් ගමනේ අත්දැකීම් මොනවගේද?
පළමු වතාවට ගුවන් යානය අතට ගත් වෙලාවේ හිතට පොඩි බයක් දැනුනත් ඒ සීට් එකේ වාඩි වුණාම හිත ඇතුළෙන් කියාගන්න බැරි තරම් සතුටක් දැණුනා. මොකද දවසක මේ විදියට ඉගිලෙන්න මම දැකපු හීනේ සැබෑ වුණු නිසා.


එදා ගුවන් යානයේ ගිහින් ඇවිත් මුලින්ම කතා කළේ අම්මටයි, තාත්තාටයි. පොළොවට වඩා ගුවනේ සැරිසරන එක හරිම අභියෝගාත්මකයි. මේ ගමන එද්දිම මම ආවේ අභියෝග බලාපොරොත්තුවෙන්. ඒ අභියෝග ජය ගන්නවා කියන එක සරල පහසු නැහැ. හැබැයි ආත්ම ශක්තිය ඒ හැම අභියෝගයකටම වඩා බලවත්. පළමු ගුවන් ගමන මට ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. 


ලෝකයේ කාන්තා ගුවන් නියමුවරියන් සිටින ජපානය, ඉන්දියාව, පකිස්තානය, චීනය වැනි රටවල් අතරට එක්වූ ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසගත ම පිළිබඳ විශාල සතුටක් තියෙනවා. ඒවාගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් අටදෙනා අතරට එක්වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා.


දැන් මගේ පුහුණු කාලය අවසන්. මේ වෙනකොට මම රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව වෘත්තීය මට්ටමේ ගුවන් නියමුවරියක් ලෙස සේවය කරනවා. රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. 


එදා මම විශ්ව විද්‍යාලයට ගියා නම් මගේ ගුවන් නියමුවරියක් වීමේ හීනය හීනයක් පමණක්ම වෙන්න තිබුණා. එතැනදී මම ගුවන් හමුදාවට බැඳීමට තෝරා ගැනීම ගැන අද ගොඩක් සතුටු වෙනවා. මට ජීවිතේ ගොඩක් දේවල් වගේම අඩු වයසකින් මගේ අරමුණට යන්න හැකියාව ලැබුණේ ගුවන් හමුදාව නිසයි.


මම දකින්නේ කාන්තාවන් අද ලොව සෑම ක්ෂේත්‍රයකම රැකියා කරනවා. සෑම කාන්තාවකටම තමන්ගේ දක්ෂතා අනුව නිසි ස්ථානය හිමි වෙනවා නම් ඔවුන් මේ රටට උපරිම සේවයක් කරාවි.


 

 

 

 

අභියෝග අත්දැකීම් කරගත්තම ජයගන්න ලේසියි 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් (ස්වේච්ඡා) ඉරේෂා මධුෂානි

 

 

මීළඟට අප කතා කළේ නාවික හමුදා ඉතිහාසයේ මුල්වරට නෞකා සහ යාත්‍රා පදවන කාන්තා නාවිකයින් අතරට එක් වූ ලුතිනන් (ස්වේච්ඡා) ඉරේෂා මධුෂානි  සමගය.


මෙතෙක් සාගරයේ දස්කම්පාමින් සිය අණසක පතුරවමින් තම රාජකාරිය ඉටු කළ පිරිමි නාවිකයින් සමග උරෙන් උර ගැටී පෙරට යන්නට ශ්‍රී ලංකා නාවික හමුදාවට අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමේ කාන්තා නාවිකයින් කණ්ඩායමක් ද එකතු වී ඇත. නාවික හමුදා ඉතිහාසයේ කාන්තා නාවිකයින් අතරට එකතු වූ මේ ඉරේෂාගේ කතාවයි.


‘මගේ නම රණසිංහ ආරච්චිගේ ඉරේෂා මදුෂානි. මම දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්වරියක් (ස්වේච්ඡා) වගේම නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේ සහකාර ලේකම්වරියක ලෙස සේවය කරනවා.
මගේ ගම කඩවත. මම අධ්‍යාපනය හැදෑරුවේ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්. මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. එතැනින් පස්සේ මානව සම්පත් කළමනාකරණ උපාධිය හදාරන්න මම ඇතුළත් වෙනවා කැලණිය විශ්ව විද්‍යාලයට. 


පවුලේ බඩපිස්සී වන ඇය උපාධිය සමත්වුවත් සිය මවගේ බැංකු හීනය පසෙකලා ඉරේෂාගේ සිහිනය වූයේ නාවික හමුදාවේ සෙබළියක් ලෙස සේවයට බැඳීමටය.


‘මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි. මම පවුලේ බාලයා සහ එකම ගැහැනු දරුවා. පාසල් කාලේ ඉඳලාම මට හමුදාවට බැඳෙන්න ලොකු ආසාවක් තිබුණා. හේතුව මගේ අම්මාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ හුඟක්දෙනා සේවය කළේ ආරක්ෂක අංශ රැකියාවල. එයාලව නිල ඇඳුම්වලින් දකිද්දි මට ආරක්ෂක අංශ රැකියාවක නිරත වෙන්න ලොකු ආසාවක් ආවා. මගේ අයියාත් සේවය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. මගේ ආසාවට ගෙදරින් අවසර ගන්න නම් ලේසි වුණේ නැහැ. 


මගේ අම්මා කැමැති වුණේ මම  බැංකුවක රැකියාවක් කරනවාට. ගැහැනු ළමයෙන් නිසා වගේම දුෂ්කරතා වැඩි නිසා මම ආරක්ෂක අංශ රැකියාවකට යනවාට අම්මා කැමති වුණේම නැහැ. ඒත් මට ඒ නිල ඇඳුමක් අඳින්න පුංචි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා. මම පාසල් කාලේ ඉඳලාම ක්‍රීඩා කළෙත් යුද හමුදාවට බැඳෙන්න. 


උපාධිය අවසන් කරලා ගෙදර ඉන්නකොට අයියා කිව්වා ශ්‍රී ලංකා නාවික හමුදා උප ලුතිනන් තනතුරට අයදුම්පත් කැඳවලා තියෙනවා කැමැති නම් ඉල්ලුම් කරන්න කියලා.
 මම නාවික හමුදාවට එන්නේ ඒ නිල ඇඳුමට තියෙන ආසාවටමයි.


ඒත් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පුහුණුව ආරම්භ වුණාට පස්සේ හිතන තරම් ලේසි වුණේ නැහැ. ඒක ලොකු අභියෝගයක්. හැම විටම අභියෝග මම භාරගත්තේ අලුත් අත්දැකීමක් විදියටයි. මගේ පුහුණුව අවසන් වෙලා වැඩබලන උප ලුතනින්වරියක් ලෙස 2015 ජනවාරි 16 වැනිදා මට ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳෙන්නෙ ඉඳුරාම බඳවා ගැනීමේ යටතේ.

 


ඔබ අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසරවීමේ කණ්ඩායමට එකතු වෙන්නේ
ඇත්තටම මීට පෙර නාවික හමුදාවේ කාන්තා නාවිකයින් විදිහට අපි රාජකාරී කළේ ගොඩබිම විතරයි. ඒ අතරතුර තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නාවිකයන් අතරට අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව හඳුන්වා දෙන්නේ. නාවික හමුදාවේ කාන්තා නිලධාරිනියන්ට යාත්‍රා හැසිරවීම සම්බන්ධයෙන් පාඨමාලාවක් ලබා දෙන්නේ නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට.


එම පළමු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස සාර්ථකව පාඨමාලාව නිම කරන්න මට අවස්ථාව ලැබීම සතුටක්. 2022 නොවැම්බර් 08 වැනිදා තමයි අභ්‍යන්තර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව ආරම්භ වෙන්නේ.
විෂයයන් කිහිපයක් ආශ්‍රිතව විභාගයක් තියලා තමයි පාඨමාලාවට අපිව තෝරගත්තේ. එහිදී මූලිකව ප්‍රායෝගිකව වගේ ලිඛිත දැනුම අපිට ලබා දුන්නා.


මම අභියෝගවලට මුහුණ දෙන්න පුංචි කාලේ ඉඳලාම හරිම කැමැතියි. මට හිතුනා මේ අභියෝගය භාර අරගෙන බලන්න. අභ්‍යන්තර යාත්‍රා හැසිරවීමේ කණ්ඩායමේ 13 ක් ඉන්නවා.


අපි ත්‍රිකුණාමලයේ තිබෙන ශ්‍රී ලංකා නාවික හා සාගරික විද්‍යා පීඨයේ අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමේ පළමු කණ්ඩායම විදියට මාසයකට වඩා වැඩි කාලයක් පුහුණුව ලැබුවා. ඊට පස්සේ නැවත රැකියාව මත පුහුණුව කියලා යාත්‍රාවලින් ප්‍රායෝගික රාජකාරී කටයුතු සිදු කරන්නත් මාසයකට අධික කාලයක් අපිට හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඇත්තටම කාන්තා නාවිකයින් වශයෙන් විවිධ දෙපාර්තමේන්තුවල සේවය කළ අපි දහතුන් දෙනාටම මේක වෙනස්ම අත්දැකීමක් වුණා. නෞකාවක් හෝ යාත්‍රාවක් පදිනකොට අපට අවශ්‍ය වන නාවික දැනුම, සංඥා දැනුම සන්නිවේදන ආපදා තත්ත්වයන්ට මුහුණදීම, ප්‍රථමාධාර, නෞකාවන උපාංග සහ අවි ආයුධ වැනි සියලු දේවල් ඒ පුහුණුවට ඇතුළත් වුණා. 


ඒවාගේම පිටත වරාය තුළ රාජකාරී කිරීමට ලබා දුන් පුහුණුව ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක ලොකු අභියෝගයක් සහ දුෂ්කරතා රැසක් විඳගෙන කරපු පුහුණුවක්.


එහිදී අපට රාජකාරී ලෙස කරන්න තියෙන්නේ ධීවර කටයුතුවලට මුහුදු යන ධීවර යාත්‍රාවල බලපත/දැල් වර්ග නීති විරෝධී ද්‍රව්‍ය සහ එවැනි කටයුතු සිදු කරනවාද කියලා පරීක්ෂා කිරීමයි.


ඒවාගේම මේ පුහුණුවේදී ජල තරණයේදී තිබෙන නීති මුහුදේ දී බාධා ඇති කරවන වැලිපර, ගල් මුහුදු රළේ ස්වභාවය, දියවැලි මේ පිළිබඳ හොඳ ප්‍රායෝගික දැනුමක් අපි ලබා ගත්තා.


කුඩා යාත්‍රා හැසිරවීමේදී මුහුද මැදට ගියහම මුලදී ටිකක් අමාරු වුණා. ටික දවසක් යද්දි අපි අව්වට වැස්සට ඉබේම හුරුවුණා. හොඳටම කළුවෙලා තමයි පුහුණුව අවසන් කරලා ආවේ.


දැන් මගේ එකම බලාපොරොත්තුව නෞකාවක සහ යාත්‍රාවල පරිපාලන කටයුතුවල නිරත වෙන්න. දැන් සම්පූර්ණයෙන් අපි පුහුණු කාලය අවසන් කරලා ඉන්නේ. නෞකාවල රාජකාරී සඳහා යොමු කරන්න දැනට නාවික හමුදාපතිතුමා විසින් කටයුතු සම්පාදනය කරගෙන යනවා.


ලෝකයේ බොහෝ රටවල නෞකා, යාත්‍රාවල කාන්තා නාවිකයින් රාජකාරී කරනවා. අපේ රටේ කාන්තා නාවිකයින්ටත් ඒ අවස්ථා ලබාදීම සහ එහි පළමු කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. 
බැංකු රැකියාවට වඩා නාවික හමුදාවට බැඳීම ගැන වගේම අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. ජීවිතේ ආපු මේ ගමන අතිශය දුෂ්කරයි. හැබැයි ආපු සෑම අභියෝගයක්ම අත්දැකීමක් විදිහට භාරගත් නිසා සාර්ථකව මම මගේ ගමන ඇවිත් තියෙනවා.


විශේෂ ස්තූතිය
ගුවන් හමුදා ගෲප් කැප්ටන් දුෂාන්ත විජේසිංහ මහතාට සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතාට 


නදීෂා අතුකෝරාල
ඡායාරූප - සජීව ලක්ෂාන්


 

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Previous

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Next

පොලිසියත් එක්ක බත්කන ගිරවා

Realted Post

Leave a comment