ඒ ආදරයට මම හරි ආසයි


 
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය මේ දිනවල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයකි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ චරිත අතරට මේ දිනවල අලුතින්ම එකතු වන රුව සමන්දිනී. සමන්දිනීගේ රුවට වශී වුණු ප්‍රේක්‍ෂකයින් වෙනුවෙන් අද සිරිකත කතාබහට අපි කැඳවාගත්තේ ඉසංකා අබේසේකර ය. මෙවර සිරිකත කවරය හැඩවන්නේ ඇගේ රුවෙනි. 
 

කවුද මේ හැමෝම හොයන සමන්දිනී?
මගේ ගම මාතලේ. මම ඉගෙන ගත්තේ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ. දැන් මට හුඟක් අය කතා කරන්නේ සමන්දිනී කියලා.


ඉසංකාට කොහොමද සමන්දිනී වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
‘කියාදෙන්න් ආදරේ තරම්’ කියන්නේ මම රංගනයෙන් දායක වෙන තුන්වැනි නිර්මාණය. මුලින්ම සම්බන්ධ වුණේ ‘ඉන්ටර්නැෂනල් 2’ කියන නාට්‍යයට. ඊට පස්සේ ‘බන්ධනා’  ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.
සමන්දිනී චරිතයට අවස්ථාව ලැබෙන්නේ ‘චන්ද්‍රපාණි’ කියන ගීත නිර්මාණය නිසයි. මහේෂ් අයියයි, ධනුෂ්ක අයියයි මාව හඳුනා ගත්තේ ඒ හරහායි. චන්ද්‍රපාණි කියන්නේ වාසවබදුගේ මහත්මයාගේ ගීත රූප රචනයක්. එය යසස් මැදගෙදර මහතාගේ ගීතයක්. 

ටෙලි නාට්‍යයවල අතුරු චරිත ජනප්‍රිය වෙනවා හරිම අඩුයි. සමන්දිනීට ඇයි මේ තරම් ආදරයක්......
ඇත්තටම ඒ ආදරේ ගැන මටත් තියෙන්නේ පුදුමයක්. සමන්දිනීගේ චරිත දැන් ප්‍රේක්ෂකයෝ ප්‍රධාන චරිතයක් කරලා තියෙන්නේ. මේ තරම් ආදරයක් සමන්දිනීට ලැබේවි කියලා හිතුවෙම නැහැ.
චරිතය එක දිගට එන්න කලින් ඉඳලාම සමන්දිනීට ප්‍රේක්ෂකයෝ ආදරය කළා. එදා ගොඩක් දෙනා සෙව්වේ සමන්දිනීව නෙමෙයි. මීනාගේ අම්මා කෝ කියලා. මේ ආදරයට මම හරිම ආසයි. මේ ප්‍රේක්ෂක ආකර්ෂණය මම පෙර කරපු පිනකට ලැබෙන දෙයක් කියලා විශ්වාස කරනවා.


ඉසංකා මේ වෙනකොට වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද?
වෘත්තියෙන් මම රංගනය වගේම මගේම කියලා ව්‍යාපාර කිහිපයක් කරගෙන යනවා. මේ වෙනකොට තවත් ප්‍රධාන නාළිකා දෙකක ටෙලි නාට්‍යවලට කතා කරලා තියෙනවා. නමුත් මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ ලොකු කැමැත්තක් නැහැ. මගේ ලොකුම ආසාව තියෙන්නේ සිනමා නිර්මාණයකට දායක වෙන්න. 


ජීවිතය වෙනස් කරපු තැන කලාවද? ව්‍යාපාරයද?
කලාවට එන්න මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම ජීවත් වුණේ සාම්ප්‍රදායික පවුලක. රඟපාන්න ආසාව තිබුණත් යන්න අවසර ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා. මගේ තාත්තා හරිම සැරයි. ඒ නිසා මම බොරු හීන මවාගෙන හිටියේ නැහැ. උසස් අධ්‍යාපනයෙන් පසුවත් මම රැකියාවක් කරනවාට තාත්තා කැමැති වුණේ නැහැ. ඒත් මම නිරූපනය වගේ දේවල් ඉගෙන ගත්තා. 2017 වසරේදී තාත්තා හදිිසියේ නැතිවිමත් එක්ක මගේ මුළු ජීවිතේම කඩා වැටුණා. මගේ ගෙදර වගකීම මගේ පිට වැටුණා. මේ දේවල් එක්ක තමයි මම ව්‍යාපාර පැත්තට යොමු වුණේ. මේ වෙනකොට ඇඳුම් නිර්මාණය කිරීමේ ව්‍යාපාරයකුත් මා සතුව තියෙනවා. ඒ විදිහට යම් යම් තැන් වෙනස් වෙනකොට මම මුහුණු පොතට එකතු කරපු පිංතූරයක් දැකලා වාසවබදුගේ මහතා ‘චන්ද්‍රපාණි’ කියන මියුසික් විඩියෝ එකට කතා කළා. මගේ ජීවිතේ වෙනස් කළේ චන්ද්‍රපාණි රූප රචනය. හැබැයි මට වාසනාව ගෙනාවේ කියාදෙන්න ආදරේ තරම්  නිර්මාණයේ මසන්දිනීගේ චරිතය.


මේ හැමදේම රූපය නිසා ලැබුණු දේවල් නේද?
මේ හැමදේම මට ලැබුණේ මගේ රූපය නිසා. රූපය නිසා පාසල් කාලේ ඉඳලාම මට එක එක නිර්මාණවලට ආරාධනා ආවා. සමහර ආරාධනා මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමන්දිනිට ආරාධනාා ලැබුණමත් මට කලින් ඒ චරිතයට ආස වුණේ මගේ ආත්තම්මා. ඇයට ඕනැ වුණා මාව ටීවී එකේ දකින්න. ආත්තම්මාගේ උවමනාවට තමයි මුලින්ම මම සමන්දිනීගේ චරිතයට කැමැති වුණේ. ‘චන්ද්‍රපාණි’ කියන රූප රචනාව බලපු ගොඩක් දෙනා හිතුවේ මම ලංකාවේ කෙනෙක් නෙමෙයි ඉන්දියානු මලයාලම් නිළියක් කියලා. මම කොහොමත් ඉන්දියානු මලයාලම් විලාසිතාවලට හරිම ආසයි. 


ආදර යෝජනා නම් අඩුවක් නැතිව ඇති නේද?
අපොයි ඔව්. මේ කාලසීමාවේ මම ආදර යෝජනා පිළිගන්න කැමැති නැහැ. මගේ ප්‍රථම ආදරය තාත්තාගේ වියෝවත එක්කම නිමා වුණා. දැන් එන ආදර යෝජනා හැමදේම මගේ රූපෙට එන ඒවා මිසක් ඉසංකාට ඇත්තටම ආදරයට එන යෝජනා නෙවෙයි. ඉසංකාට ආදරය කරන කෙනෙක් මුණගැසුණු දවසට ආදරය ගැන හිතනවා. ඒ අල්ල ගන්න අත මගේ අවසාන ආදරය විය යුතුයි.


පවුලේ තොරතුරු කොහොමද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලයි, මමයි, අත්තම්මයි ඉන්නේ. 2017 තාත්තා හදිසියේම නැතිවුණා. අම්මා විදේශගත වූදා පටන් අපි දෙන්නව පණ වගේ රැකගත්තේ මගේ අත්තම්මා. අම්මා ජීවත් වෙන්නේ ග්‍රීසියේ. අපිත් නිවාඩුවට අම්මා ළඟට යනවා. අම්මත් නිවාඩුවට ලංකාවට එනවා. 


 


නදීශා අතුකෝරාළ
ඡායාරූප- සජීව ලක්ෂාන්


 

St Peter’s College Old Boys Dinner Dance Read Previous

St Peter’s College Old Boys Dinner Dance

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Next

පොලිසියත් එක්ක බත්කන ගිරවා

Realted Post

Leave a comment