කලාව හිතුවක්කාර තීරණයක් - Dishney Rajapaksha

ඇය ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටින ඇය සුරූපී ඩිස්නි රාජපක්ෂ.  මේ ඩිස්නිගේ ආගිය තොරතුරු කතාවේ සටහනයි.

  • මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල ලංකාවේ ඉන්නේ. ඒ සීරුවෙන් චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා සහභාගි වෙන්න. ඒ වගේම තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ වුණා. එයට  සහභාගිවීම සඳහායි .

  • ඔබ ලංකාවේ නොවෙයිද  පදිංචිය ?

මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා. මගේ පවුලේ අයත් පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. අපි ඉතින් ලංකාවට යනවා එනවා. මම කොතැන සිටියත් කලා කටයුතුවලින් ඈත්වෙන්නෙ නැහැ.

  • කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න හිතුවේ  ඇයි? 

මම කුඩා කාලයේ සිටම රංගනයට ගොඩක් කැමතියි. අනෙකුත් දරුවන් ළමා වැඩසටහන් නරඹද්දී, මම ඒ කාලයේදී හින්දි චිත්‍රපට හින්දි ගීත නැරඹුවා. මම මෙවැනි වැඩසටහන් නැරඹීම ගැන තාත්තා කැමැත්තක් දැක්වුවේ නැහැ. කුඩා කාලයේ සිටම තිබුණු හීනයක් රංගනය.

  • රංගනයට එකතුවුණු හැටි මතකද? 

රංගනය පිළිබඳ හීනයක් තිබුණත් අධ්‍යාපනය හදාරන වයස වන විට එය මගෙන් ඈත් වී තිබුණා. ඉන්පසු මම සම්පූර්ණ අවධානය යොමු කළේ අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට.නමුත් මම උසස් පෙළ කරන දවස්වල විෂය බාහිරව නර්තන තරගවලට සහභාගි වුණා. උපාධියත් ලැබුණයින් පසුව මට හිතුණා. මගේ ජීවිතයේ යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා කියලා. ඉන්පසු මම චන්න විජේවර්ධන මහතාගෙන් නර්තනය හැදෑරුවා. ඒ දවස්වලම මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වී ජයග්‍රහණය කළා. මේ කාලයේදීමයි සරත් ධර්මසිරි මහත්මයා ඔහුගේ ටෙලි නාට්‍යයකට මට ආරාධනා කළේ. එහි ප්‍රධාන චරිතයට මම දායකත්වය ලබා දුන්නා. එය අහඹු සිදුවීමක්. නමුත් තවමත් එම ටෙලි නාට්‍ය විකාශනය වුණේ නැහැ. ඉන්පසුව හිතුවක්කාරයා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. 

  • පවුලෙන් ලැබෙන සහාය කොහොමද? 

මුලින්ම මට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ කාලය  ගොඩක් අසීරු කාලයක් වුණා මට. කලා වැඩ කටයුතු නිසා මං හිතුවක්කාර  ලෙස නිවසත් හැර ගියා. අම්මගේ තාත්තගෙ හිත් රිදෙව්වා. පවුලේ අයගෙන් ඈත් වෙලා කොළඹ පදිංචියට ආවා. ඒ දවස්වල මම මටම පොරොන්දුවක් දී ගත්තා මේ ක්ෂේත්‍රය තුළින්ම මගේ පවුලේ අයව සතුටු කරවනවා කියලා. අද වන විට ඒ අය ගොඩක් සතුටින්. ඒ වගේම දැන්  මගේ පවුලේ අය මට ගොඩක් සහයෝගය දෙනවා.

  • ඔබ රංගනයෙන් දායක වූ සීරුවෙන් චිත්‍රපටය ගැන මොකද හිතෙන්නෙ? 

මෙම චිත්‍රපටය ජාත්‍යන්තර මට්ටමක තිබෙන නිර්මාණයක්. මෙම චිත්‍රපටිය රූගත කිරීම අතරතුරදී අධ්‍යක්ෂකවරයා වන සුදේශ් වසන්ත පීරිස් මහතා බරපතළ ලෙස කටයුතු කළේ නැහැ. අපි හරිම සැහැල්ලුවෙන් සතුටින් රූගත කිරීම් කළා. ඒ ඔහුගේ පරිණතභාවය, දැනුම සහ අත්දැකීම් මත සිදුවූවා යැයි මට සිතෙනවා.  මෙම චිත්‍රපටයේ කතාව එක රැයක සිදුවීමක් නිසා රූගත කිරීම්වලදී අපහසුතා ඇතිවෙනවා. නමුත් මෙහිදී අපට ලබා දුන් නිදහස සහ සැහැල්ලුව නිසා රංගන කටයුතු සාර්ථකව නිමා කරන්න හැකිවුණා.

  • මේ චිත්‍රපටයේ ඔබේ චරිතය මොකක්ද? 

මෙම චරිතය මට අභියෝගාත්මකයි. එය  අහිංසකත්වයේ සිට දැඩි ගතිගුණ  ඇති  කාන්තාවක් බවට පරිවර්තනය වන චරිතයක්. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන කාන්තාවකගේ චරිතයක්. කාන්තාවකට  කොපමණ   දැඩිවෙන්න පුළුවන්ද කියා මේ චරිතයෙන් පෙන්වා දෙනවා.

  • මෙම චිත්‍රපටයට ජැක්සන් ඇන්තනී මහතාත්  රංගනයෙන් එකතුවෙනවා නේද? 

එතුමා වගකීම් සහිතව වැඩ කටයුතු කරන පුද්ගලයෙක්. ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වුවත් හරිම නිහතමානී සුන්දර අහිංසක පුද්ගලයෙක්. ඔහු කතා කරන සෑම වචනයකම අපට ඉගෙන ගැනීමට යමක් තිබුණා. ඔහුත් සමග රංගන කටයුතුවල අප නිරත වූයේ ගොඩක් සැහැල්ලුවෙන්. ඔහු අප අතරින් සමු ගැනීම දරාගත නොහැකි වේදනාවක්. 

  •  තවමත් රඟපාන්න නොලැබුණු නමුත් ලැබෙනවා නම් හොඳයි කියල හිතෙන චරිතයක් තියෙනවද?

ඔව්. මම කැමතියි සටන් කලාව, නර්තනය හා මෝටර් බයිසිකල් පැදීම  වැනි මගේ දක්ෂතා පෙන්නුම් කළ හැකි ක්‍රියාකාරකම් ඇතුළත් චරිතවලට දායකත්වය  දෙන්න. රංගනය සඳහාම මම බොක්සිං ක්‍රීඩාවත් හැදෑරුවා.

  • ඒ කියන්නේ ඔබ දක්ෂ බොක්සිං ක්‍රිඩිකාවක්?

බොක්සිං ක්‍රීඩාවට දක්ෂ වුණත් තරගවලට නම් ගියෙ නෑ. තරගවලට සහභාගි වුණාම රංගන කටයුතුවලට දායකවෙන්න අපහසුයි. බොක්සිං ක්‍රීඩාවේදී   අතුරු ආබාධ ඇතිවීමට ඉඩකඩ වැඩියි. ඉතින් මම රංගන ශිල්පිනියක් විදිහට  මගේ රූපය ගැන සැලකිලිමත් විය යුතුයි.

  • අනාගත බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී  චරිතාංග රංගන ශිල්පිනියක් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලා කටයුතු තව තවත් වැඩිදියුණු කරගනිමින් ඉදිරියේදී හොඳ නිර්මාණ වලට දායකත්වය දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

Pic By : Rushiru Colambathanthrige 

 

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Previous

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment