ගැටුමක් වුණත් කතාබහෙන් විසඳ ගන්නවා - Duleeka Marapana
දශක ගණනාවක සිට ලංකාවේ කලා ක්ෂේත්රය තුළ විවිධ අංශවලින් දස්කම් පෑ ඇය කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වන විට ගායන ශිල්පිනියක් ලෙසද නමක් දිනා සිටින ඇය දුලීකා මාරපන. ඇයගේ ආදරණීය කැදැල්ලටයි මෙවර අපි ගොඩ වැදුණේ. මේ ඇයගේ ආදරණිය කැදැල්ල යි.
- කොහොමද මේ දවස්වල ජීවිතය
මේ දවස්වල අපේ වේදිකා නාට්‍යවල කටයුතු සඳහා කාර්යබහුල වී සිටිනවා. ඒවගේම ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යය සමග විදෙස් සංචාරයක් සඳහා සූදානමින් සිටිනවා. තව සුජීවගේ ටෙලි නාට්‍යයක් සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා.
- ඔබ ටෙලි නාට්‍යවලින් ඉවත් වෙලාද
ටෙලි නාට්‍ය ක්ෂේත්රය අත්හැරලා නැහැ. මගේ අම්මා අසනීප තත්ත්වයෙන් සිටි නිසා ගිය අවුරුද්දේ වැඩ නතර කරන්න සිදුවුණා. ඒ වගේම අම්මගේ මරණයත් සමග මමයි සුජීවයි දෙන්නම ලොකු මානසික පීඩනයකින් සිටියෙ. එම නිසා වැඩ කිරීමට මානසික සුවයක් තිබුණෙ නැහැ. සුජීවට හිටපු හොඳම යාළුවා මගේ අම්මා. දැන් හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයටම ඇවිත් තිබෙනවා. නැවත ටෙලිනාට්‍යවල වැඩ කරන්න සූදානම්.
- අත්තම්මා ටෙලිනාට්‍යයේ ඩිංගිරි අම්මට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම රංගනයෙන් දායක වූ හැම නිර්මාණ චරිතයකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙම ටෙලි නාට්‍ය දීර්ඝකාලීන නාට්‍යයක් නිසා වැඩිපුරම ප්‍රේක්ෂකයන් අතරට යන්න අවස්ථාවක් ලැබුණා.
- එම චරිතය නිසා ඔබ අපහසුතාවට පත් වුණාද?
මෙම චරිතය නිසා වාසි සහ අවාසි දෙකම ලැබුණා. රංගන ශිල්පිනියක් ලෙස මෙවැනි චරිතයකට දායකත්වය ලබාදීමට හැකිවීම සහ එම චරිතය සාර්ථක වීම මගේ වාසනාවක්. මම අවුරුදු 60 70 කාන්තාවක් කියා සමහර ප්‍රේක්ෂකයන් සිතාගෙන ඉන්නවා. සමහර තැන්වල මම උපහාසයට ලක්වුණු අවස්ථාත් තිබුණා. මේ කිසි දෙයක් මගේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. මම ඒ දේවල් ගණන් ගන්නෙත් නැහැ. මගේ විෂය රංගනය.
- කාන්තාවක් ලෙස මෙතෙක් ආ අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද?
මගේ ජීවිතයේ අනිත් අයත් සමග මට තරගයක් නැහැ. මම තරග කරන්නේ මාත් සමගමයි. ඒ නිසා මගේ ජීවිතයේ අභියෝග නැහැ. සමාජයේ චරිත මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නෙ නැහැ. ඒකෙ කිසිම තේරුමක් නැහැ. කාන්තාවකට වැදගත්ම දෙය ඔබ ඔබව හඳුනාගන්න. ඔබ තුළ තිබෙන දක්ෂතා , පරිමාව වැනි දේවල් හඳුනාගන්න. එවිට ගොඩක් පහසුයි මේ ගමන යන්න. කාන්තා අපි පුරුදුවෙලාා ඉන්නේ කාගෙන් හරි තල්ලුවකින් උදව්වකින් ඉදිරියට යන්න. අපට කිසිම කෙනෙකුගේ උදව්වක් හෝ තල්ලුවක් අවශ්‍ය නැහැ. කාන්තාවකට හොඳ ආත්ම ශක්තියක් පෞරුෂයක් තිබෙනවා. මම විසින් ගොඩනඟාගත් පෞරුෂයක් ආත්ම ශක්තියක් මට තිබෙනවා. එම නිසා මගේ ගමන යන්න මට පහසුයි. කාන්තාවකට තමන් තුළ තමන්ව හඳුනාගෙන අභියෝග ජයගන්න පුළුවන්.
- කාන්තාවකට ස්වාධීනත්වය අවශ්‍යද?
කාන්තාවක් ස්වාධීන විය යුතුයි. තවත් කෙනෙකුගේ අතේ නැටවෙන චරිතයක් බවට පත්වුවහොත් එය ගොඩක් පීඩාකාරියි. අන් අයට ඇහුම්කන් දිය යුතුයි. ස්වාධීනත්වය කියන්නේ සමාජයට අකැප ලෙස ජීවත් වෙනවා කියන එක නෙමෙයි. අපි හරියටම ස්වාධීනත්වය පිළිබඳ අවබෝධ කරගත යුතුයි. එය නිවැරදිව අවබෝධ කරගනිමින් නිවැරදිව භුක්ති විඳිමින් කාන්තාවක් ස්වාධීන වීම පිරිමි පාර්ශ්වයට ද ශක්තියක්.
- ඔබේ සැමියාගෙන් මේ ගමනට කොපමණ දුරට සහයෝගයක් ලැබෙනවද?
ඔහුත් සමග ගත කරන ජීවිතය හරිම පහසුයි. ඒ වගේම මගේ ජීවිතයට තහංචි නැහැ. කාන්තාවක් විදිහට ලැබෙන්න ඕන නිදහස් වටපිටාව මට නිවැරදිව ලැබී තිබෙනවා. සමහර තැන් තිබෙනවා අපි දෙදෙනා අතර මතගැටුම් ඇතිවෙන. නමුත් අවසානයේදී ඔහු මට අවස්ථාව ලබා දීලා නිහඬ වෙනවා.අප දෙදෙනාම එකම ක්ෂේත්රයේ නිසා වැඩ කටයුතු කර ගැනීමට ද පහසුවක් වී තිබෙනවා. අපි දෙදෙනත් සිතුම් පැතුම් දෙවිදියක තිබෙන දෙන්නෙක්. ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණත් කතාබහ කරගෙන අන්තිමේදී ඒවා විසඳගන්නවා.
- කාන්තාවක් විදියට මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?
මට ගොඩක් සන්තෝසයි. මේක මගේ උත්සාහයෙන් මහන්සියෙන් ආපු ගමනක්. ඒ නිසා, ඒ ගැන ආඩම්බරයි. සමහර විට මේ ආවා වගේ ප්‍රමාණයක් තව දුර යන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. මගේ ජීවිතයේ තව මට කොපමණ දුර තියනවද කියලා මම දන්නෙ නැහැ. නමුත් මේ මොහොතෙ මම ඉන්නෙ සතුටින්.
- සතුෙටන් ඉන්න මොනවද කරන්නේ?
එහෙම විශේෂ දේවල් කරන්නේ නැහැ. අපි දෙදෙනා දෙදෙනාගේ කැමැත්තට ඉඩදීලා තිබෙනවා. අපි දෙන්නට දෙන්න සහයෝගය දක්වනවා. ඒ වගේම ඔහු ගෙදර වැඩවලට උදව් දෙනවා. මම කැමති හැම දෙයක්ම මට ඉටු කරලා දෙනවා. මම හරිම කම්මැළියි කෑම මගේ අතින් කන්න. ඉතින් ඔහු මට ඒ වෙලාවට කෑම කවනවා. ඒ වගේ මගේ හැම දෙයක්ම ඉටු කරදෙමින් දෙන්නට දෙන්න හොඳින් අවබෝධ කරගෙන ජීවත් වෙනවා.
- සමාජයේ දික්කසාද එන්න එන්නම වැඩිවෙනවා, ඔබ හිතන්නේ ඇයි එහෙම වෙන්නේ?
එයට මූලිකම හේතුව ඉවසීම නැතිකම. අපි සම්බන්ධකමක් පටන් ගන්නේ පුද්ගලයෙකුගෙ බාහිර දේවල් බලමින්. රැකියාව, වත් පොහොසත්කම් බාහිර ස්වරූපය වැනි දේවල් මතයි පුද්ගල සම්බන්ධකම් පටන්ගන්නේ. විවාහ වී එකම නිවසේ ජීවත් වන විට දෙන්නගෙ නොගැළපීම් ඉස්මතු වෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී අපි ඉවසීමෙන් වැඩ කරනවා නම් මානුෂීය හැඟීමෙන් කටයුතු කරනවා නම් දික්කසාද අඩු කරගන්න පුළුවන්.
- ඔබගේ බලාපොරොත්තු මොනවාද?
මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කිරීම. ඒ මගේ හීනය. ඒ වගේම ඉදිරියේදීත් ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
- රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ?
අපි ඉපදෙන්නෙ මැරෙන බව දැනගෙන. එම නිසා මේ ලෝකයෙන් ඉවත් වෙලා යන දවස දක්වා අනිත් අයත් සමග සතුටින් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න. අපේ චුති සිතට සැනසීමක් වන ආකාරයට ජීවත්වෙන්න.
Pic By : Rushiru Colambathanthrige
Leave a comment