ගුරු හීනෙට යන අතරමග සැබෑවුණු නිළි හීනය

 

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ  විකාශනය වන නොනිමි ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට එකතු වෙන අලුත්ම රුව තමයි නෙත්මි සංජනා. නොනිමි ටෙලි නාට්‍යයේ සෙනාලි සමරසිංහ නම් චරිතයෙන් ප්‍රේක්ෂකාගාරයට ගොඩ වෙන කවුද මේ අලුත්ම රුව කියලා දැනගන්න ඇයව කතාබහට එකතු  කරගත්තා.

 


කොහොමද නෙත්මිට රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
රඟපාන්න පුංචි කාලේ ඉඳලම හිතේ පුංචි  ආසාවක්  තිබුණා. ඒත් මේ වගේ ප්‍රධාන චරිතයකින්  ඒ අවස්ථාව  උදාවේවි  කියලා  හීනෙකවත්  තිබුණෙ නැහැ. ‘නොනිමි’ කියන්නේ  ජීවිතයේ මුල්ම රංගන  දායකත්වය දෙන  ටෙලි නිර්මාණය.  පුංචි කාලේ ඉඳන්ම  රඟපාන්න ආසාවක් තිබුණත් මම ඒ ගමන  යන්න  ලොකුවට උනන්දු වුණේ නැහැ.  මම රඟපාන්න ආස බව ශවිනි කියලා මගේ හොඳ යෙහෙළියක්  දැනගෙන හිටියා. ශවිනි දවසක් මට කතා කරලා  කිවිවා  සුරාජ් මාපා  අයියා ටෙලි නාට්‍යයකට  අලුත් ගෑනු ළමයෙක්  හොයනව කතා කරලා  බලන්න කියලා. 
ගෙදරින් කැමැත්ත ගන්න හිතන තරම් ලේසි වුණේ නැහැ. රඟපාන්න ආසාව තදින්ම  තිබුණු නිසා  අම්මාට කන්කෙඳිරි ගාලා  බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා. අම්මාගේ කටින් ‘හා’ කියන වචනය  පිටවුණු ගමන්ම  මම සුරාජ් මාපා අයියට කතා කළා. පහුවෙනිදම තිර පරික්‍ෂණයට ගියා. ඒ චරිතයට මාව තෝරගත්ත කියල සුරාජ් අයියා කියපු වෙලාවෙ දැනුණු සතුට මට වචනයෙන් කියන්න  බෑ.

 


නෙත්මි කියන්නේ කවුද?
 මගේ සම්පූර්ණ නම නෙත්මි සංජානා.  මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ  ටයිනි ටොක්ස් ජාත්‍යන්තර  පාසලෙන්  සහ  මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන්. පදිංචි වෙලා  ඉන්නේ  පිළිමතලාවේ. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි. මල්ලියි තාත්තා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක්. අම්මා ගෘහිණියක්, මල්ලි සාමාන්‍ය පෙළ  පන්තියේ ඉගෙන ගන්නවා.

 


මේ වෙන කොට රැකියාවක් කරනවද නැත්නම්  අධ්‍යාපනය හදාරනවද? 
 මම  කැලණිය විශ්ව විද්‍යාලයේ  කලා අංශයේ  පළමු වසරේ  ඉගෙනුම  ලබනවා.  

 


  ‘නොනිමි’  අත්දැකීම  කොහොමද දැනුණේ ?
නොනිමි ටෙලි නාට්‍යය මගේ ජීවිතේම  වෙනස් කළා  කිව්වොත් හරි. ප්‍රවීණයින් මැද්දේ  ආධුනිකයෙක් වුණු මට ඒ අයගෙන් ලැබුණු සහාය කියලා නිම කරන්න බැහැ. මගේ අම්මාගේ චරිතය කරන්නේ  දිල්හානි ඒකනායක අක්කා කියලා දැගත්තාම  ගොඩාක් සතුටු  හිතුණා. ඒත් පොඩි බයකුත් තිබුණා මම අලුත් නිසා  මට වෙනසක් කරයිද  කියලත්. ඒත් දිල්හානි අක්කලා අනෙක් ප්‍රවීණ පිරිස මුණගැසුණු පළමු  දවසෙම මට දක්වපු ලෙන්ගතුකම උපරිමයි. දිල්හානි  අක්කා මට වැරදෙන   හැමතැනකදිම  ඒ අඩුපාඩුව හදාගන්න  උදව් කළා. ඇය මාව  පුදුම විදිහට  දිරිමත් කළා. ඒ වගේම  චන්දන ජයසිංහ මහතා,  සුරිජ් අයියා මගේ අඩුපාඩු  වහාගෙන එම චරිතය ගොඩනගාගන්න ලොකු සහයෝගයක්  දෙනවා. නොනිමි කණ්ඩායමේ සියලු දෙනාට මම ස්තුති කරනවා. 

 

 

 


සොනාලිගේ  චරිතය කොහොමද නෙත්මිට  දැනුණේ?
සොනාලි කියන්නේ ආදරයට  හරිම අවංක කෙනෙක්.  හැබැයි ටිකක් මුරණ්ඩුයි. පියාගේ සෙනෙහස අහිමි වූ දියණියක්  ඇය.  සොනාලිගේ සමහර ගති ලක්ෂණ  නෙත්මිටත්  ටිකක්  සමානයි.  හැබැයි ආදරේ පැත්තෙන් නම්  සමාන නැහැ.  හැබැයි සොනාලි වගේ නෙත්මිත් ටිකක් හිතුවක්කාරයි.  නිමිනාද ගැන සොනාලිගේ  හිත ගියාට නෙත්මිගේ  හිත ගිය කොල්ලෙක් නම් තාම නෑ. 

 


ඒ කියන්නේ තාම තනිකඩයි?
විවාහ යෝජනා නම් අඩුවක් නැතිව  එනවා. ඒත් හිත ගිය කෙනෙක් නම් නෑ. තාම පෙම්වතියක් නෙමෙයි.

 


මේ වෙද්දී ලැබෙන  ප්‍රතිචාර  ගැන සතුටුද?
හුඟක්  ප්‍රතිචාර ලැබෙනවා. මගේ යාළුවෝ ටෙලි නාට්‍යය බලලා  අදහස් කියනවා. හොඳ නරක දෙකම ලැබෙනවා. පාරේ යද්දි වුණත් ටෙලි නාට්‍යයට ප්‍රතිචාර ලැබෙන කොට  මාර සතුටුයි. 

 


නෙත්මි ජීවිතේ වැඩිපුරම සතුටු වුණු  දවස මතකද?
‘නොනිමි’ ටෙලි නාට්‍යයෙන් මම මාවම TV එකේ දැකපු පළමු  දවස. ඒක වෙනම හීනයක්, වෙනමම හැඟීමක්. 

 


නෙත්මි දිගටම රංගනයේ යෙදෙන්නද බලාපොරොන්තුව?
මට හීන කීපයක්ම තියෙනවා. ‘නොනිමි’ රංගනයෙන් පස්සෙ  ගීත රූප රචනා, වෙළෙඳ දැනවීම් වැඩ කීපයකට කතා කළා.  දිගටම රංගනයේ යෙදෙන්න  කැමතියි. 
මගේ පුංචි කාලේ ඉඳලම හීනය වුණේ ගුරුවරියක්  වෙන එක. ඒ හීනය ඇතුළේ මම තාමත් ජීවත් වෙනවා. ඒ හීනයට යන අතරමගදී  තමයි මට රංගනය මුණ ගැහෙන්නේ. කලා වැඩවලට දායක වුණත්  මගේ හීනයට යන්න තමයි එකම බලාපොරොන්තුව.

 

 


දැන් නෙත්මිව TV එකේ දකිද්දී  ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මාව TV එකෙන් දකිද්දී  වැඩිපුරම සතුටු වෙන්නේ  මගේ තාත්තා.

සටහන - නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන් 


 

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Previous

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment