ජීවිතේ සතුටු වෙන එකම දේ තමයි මගේ විවාහය

 

වර්තමානයේ රංගන ක්ෂේත්‍රයේ බිහි වූ නවකයින් අතර නඳුනි කරුණාතිලක සහ දිනුෂ දිසානායක කියන්නේ ටෙලි ප්‍රේක්‍ෂකාගාරයේ ආදරය දිනාගත් කලා යුවළක්. මෙවර සිරිකත හැඩ කරන්න අපිත් එක්ක ඔවුන් එකතු වුණා. මේ ඔවුන් සමග අපි කළ කතාබහයි.

 

ආලෝකා ටීචර් හරිම ජනප්‍රියයි නේද?
ඇත්තටම මට දැන් හුඟක් දෙනා කතා කරන්නේ ආලෝකා ටීචර් කියලා. කලාකරුවන් තෘප්තිමත් වෙන්නේ රසිකයන්ගෙන් ලැබෙන ආදරය නිසානේ. රංගන ශිල්පිනියක් විදිහට ඒක සතුටක් වගේම ලොකු වාසනාවක්. මම මේ වෙනකොට ටෙලි නාට්‍ය කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ අතරින් ඉස්කෝලේ ටෙලි නාට්‍යය මට ලැබුණු විශේෂ නිර්මාණයක්. මට ලොකු ආදරයක්, ඇගයීමක් ලැබුණේ ආලෝකා ටීචර්ගේ චරිතයෙන්. ආලෝකා ටීචර්ට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ චුටි බබාලගෙන්.

 

රංගනයට එන්න ලැබුණු අවස්ථාව නඳුනි සතුටෙන් භාරගත් දෙයක්ද?
මම උසස් පෙළ කරපු කාලේ ඉඳලා නිරූපිකාවක් විදිහට වැඩ කළා. ගොඩක්ම කළේ මනාලියන් නිරූපණය. ඊට පස්සේ මුහුණ පොත හරහා තමයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවෙන්න අවස්ථාව ලැබෙන්නේ. රංගනය කියන්නේ මම කවදාවත් එන්න හීනෙන්වත් හිතපු ක්ෂේත්‍රයක් නෙවෙයි. පුංචි කාලේ ඉඳලා මට දක්ෂතාව තිබුණේ ගීත ගායනයට. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් මම උපාධිය ගත්තෙ සංගීතයට. මුල් කාලේ මම නිරූපණ වැඩ කරනවටවත් අපේ අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ. රඟපාන්න එනවටත් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයට අවාට පස්සේ නිරූපණ වැඩවලට යන්න ගෙදරින් අවසර ලැබුණා. දැන් නම් කලා කටයුතුවලට ගෙදරින් ලොකු සහයෝග යක් ලැබෙනවා.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ. මීට පෙර රංගනය හදාරලා නැති නිසා පුංචි තිගැස්මකුත් තිබුණා. දෙවෙනි ඉනිමෙන් පස්සේ දිලුක ප්‍රසාද් මහතාගේ ටෙලි චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ තමයි ලක්සිරි වික්‍රමගේ මහතා ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයට කතා කරන්නේ. ඊට පස්සේ තමයි ‘ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතයට මට අවස්ථාව ලැබෙන්නේ.

 

ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ආලෝකා වෙන්න බලපෑ විශේෂ හේතුවක් තිබුණද?
ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ආලෝකා චරිතයට මට කතා කළාම මම මුලින්ම පිටපත කියෙව්වා. ගමක වැහෙන්න යන ඉස්කෝලයක් වැහෙන්න නොදී බේරාගන්න කැපවෙන, ගමේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න උදව් කරන ගුරුවරියකගේ චරිතයක් නිසා ආලෝකා කියන චරිතයට මට ගොඩක් ආස හිතුනා. ඒ වගේම විශේෂම දේ තමයි මගේ මිතුරිය විදිහට විහාරා ටීචර්ට දමිනි ඉන්නේ කියලා දැනගත්තම චරිතය බාරගන්න දෙපාරක් හිතුවෙම නෑ. ඇය එක්ක මට වැඩ කරන්න ලේසියි. අපි දෙන්නා හොඳම යාළුවෝ. ඇය ඉන්න තැන මට නිදහසේ වැඩ කරන්න පුළුවන්.

 

පාසල් කාලේ වැඩිපුරම දක්ෂ වුණේ කලාවටද? අධ්‍යාපනයටද?
අධ්‍යාපනයට වඩා කලාවට තමයි ගොඩක් අසාව තිබුණේ. හැබැයි අධ්‍යාපනයත් මම කරගත්තා. ගායන හැකියාව මට පෙර පිනකට පිහිටපු කලාවක්. මම හීන මැව්වෙ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ පිළිබඳ ඉගෙන ගත්තේ ඒ ක්ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුවෙන්. ඒත් විශ්වවිද්‍යාලයට ආවම මට ඒ පැත්ත මගහැරුණා.

 

 

මේ වෙනකොට වෘත්තිය රංගනයද? ගායනයද?
ගායනය පැත්තෙනුත් ලැබෙන ආරාධනා මත දායකත්වය දෙනවා. වෘත්තිය විදිහට රඟපාන්න බලාපොරොත්තුවක් නැහැ. පුළුවන් කාලයක් රඟපානවා කියලා එහෙම ආසාවකුත් නෑ. දැන් රඟපාලා ඇති කියලා හිතුනොත් නවත්තනවා. මමයි දිනූෂයි විදේශ රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහර විට මේ අවුරුද්දෙම වෙන්නත් පුළුවන්. බාර ගත් වැඩ අවසන් කරලා ඒ සඳහා සුදානම් වෙනවා.

 

කොහොමද දිනුෂ - නඳුනි ආදර කතාව ඇරඹෙන්නේ?
මම මහනුවර කුණ්ඩසාලේ. දිනුෂ පේරාදෙණියේ. මුලින්ම අපි දෙන්නා අඳුන ගත්තේ මුහුණු පොතෙන්. ඔය අතරේ අපි මම ගිය සංගීත පන්තියට දිනුෂත් ආවා. ඒ ඇවිල්ලා තමයි මුණ ගැහිලා කතා කළේ. ඒ කාලේ දිනුෂට මියුසික් බෑන්ඞ් එකක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. මම දිනූෂට වැඩිපුරම මැසේජ් කළේ හොඳ ස්වර අභ්‍යාස කරන්න තියෙන පන්තියක් ගැන අහගන්න. ටික දවසක් කතා කරනකොට අපි අතර බොහොම ළෙංගතුකමක් ඇති වුණා. අවුරුදු 4 ක් ආදරේ කරලා අපි 2019 විවාහ වුණා. අවුරුදු 2ක්ම අපි ආදරේ කළේ ගෙවල්වලට හොරෙන්.

 

 

දිනුෂගෙන් ඔබේ වැඩවලට ලැබෙන සහාය කොහොමද?
ලොකු සහයක් ලැබෙනවා. ආදරේ වැඩිකමට දිනුෂ මට තනියම කොහේවත් යන්න දෙන්නේ නෑ. ගෙදර වැඩවලට නම් දිනුෂ උදව් කරන්නේ හිතුනම තමයි. මම ගෙදර ඉන්නවා නම් ගොඩක්ම කැමති විවිධ කෑම ජාති හදන්න. උයන්න මම හරි ආසයි. විවේක දවසට වැඩිපුරම කැමති ගෙදර ඉන්න.

 

ජීවිතේ ගත්ත හොඳම තීරණය මොකක්ද?
ජීවිතේ සතුටු වෙන එකම දේ තමයි මගේ විවාහය. තාත්තා කෙනෙක් වගේ මාව ආරක්ෂා කරන කෙනෙක් මගේ සහකාරුවා ලෙස තෝරා ගැනීම මම ජිවිතේ ගත්තු නිවැරදිම තීරණය අද මගේ සෙවනැල්ල වගේ ජීවිතේ හැම මොහොතකම මගේ ළඟින් ඉන්නේ ඔහු. එකම ක්ෂේත්‍රයේ ඉන්න අයට පවුල ගෙනියන්න අමාරුයි නේද කියලා සමහරු අහනවා. විශ්වාසයයි අවබෝධයයි තියෙනවා නම් අපිට මේ ගමන යන්න පහසුයි.

 

දිනුෂව තිරයේ පෙම්වතා විදිහට දකිනකොට ඊර්ෂ්‍යා හිතිලම නැද්ද?
බොරු කියන්න ඕන නැහැනේ. ඉරිසියා හිතුණු තැන් තියෙනවා. හැබැයි ඒවා ප්‍රශ්න ඇතිවෙන මට්ටමට කවදාවත් ගෙනියන්නේ නෑ.


 

 

දිනූෂ දිසානායක

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
පසුගිය දවස්වල ධරණි ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකවෙලා සිටියා. මේ දවස්වල අප දෙරණ නාලිකාවේ විකාශනය වන රාජිනි සහ දියණි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. මට බොහොම නිවුණු, අහිංසක චරිත තමයි ලැබෙන්නේ.

 

වෙනස් චරිතයකට කැමතිද?

දුෂ්ට චරිතයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. තාම නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. හැමදාම ලැබෙන්නේ අහිංසක පෙම්වතා.

 

වැඩි ප්‍රතිචාර නළුවාටද ගායකයටද?
වැඩි ප්‍රතිචාර නම් නළුවට තමයි.

 

ගායකයෙක් වෙන්න දෙරණ ඩී්‍රම් ස්ටාර් ආපු දිනුෂට නළුවෙක් වෙන්න ලැබුණු එක ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම දෙරණ ඩී්‍රම් ස්ටාර් වේදිකාවෙන් තමයි නළුවෙක් වෙන්න මට පාර කැපුණේ. මුලින්ම රඟපෑවේ ටෙලි චිත්‍රපටයක. එතැනින් පස්සේ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා

ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එකේ දේවකට හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර ලැබුණා. රඟපාන්න ආවේ සාර්ථක වේවි කියලා ලොකු බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. ඒත් රඟපෑමේ වැඩේ පත්තු වෙලාම ගියා.

 

කොහොමද බිරිඳගෙන් ලැබෙන සහය?
ඇත්තටම ඇයගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. ඒ තේරුම් ගැනීමට මේ ගමන යන්න ලොකු සහයක්. මගේ ජීවිතේ හොඳම තෝරා ගැනීම තමයි ඇය.

නදිශා අතුකෝරළ
ඡායාරූප: සජීව ලක්ෂාන්


 

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Previous

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment