තනි ගැහැනියක් විදිහට මම සාර් ථකයි

ඇය දශක ගණනාවක සිට රිදී තීරය පුංචි තීරය සහ වේදිකාව යන මාධ්‍යවල  දක්නට ලැබූ  ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඒ වගේම ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇය  ගුවන්විදුලි  සහ රූපවාහිනී   නාට්‍යවල   හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ද ප්‍රචලිතය. ගුවන් විදුලි සේවයේ  වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙස ද සේවය කළ ඇය ගීතා කාන්ති ජයකොඩිය. මේ වන විට ඇයගේ දියණියද  කලා ක්ෂේත්‍රයේ  රැඳී සිටි.  මේ වන විටත්  විශාල ප්‍රේක්ෂක ආදරයක් ගෞරවයක් ලබමින්  තවමත්  රංගන  ක්ෂේත්‍රයේ  බබළන ඇය  සමග කළ  සුන්දර කතාබහක සටහනකි මේ, 

  • මේ දවස්වල මොනවද කරන්නෙ?

මම රංගනයෙන් දායක වූ  ශ්‍රී සිද්ධා චිත්‍රපටය තිරගත වෙනවා. ඒ වගේම  මුවන්පැලැස්සෙ ගුවන්විදුලි නාට්‍යයටත් සම්බන්ධ වී සිටිනවා.

  • ශ්‍රී සිද්ධා චිත්‍රපටියේ  ඔබයි දුවයි දෙන්නම රංගනයෙන් දායක වෙනවා.  ඒ ගැන මොකද හිතෙන්නෙ?

යශෝරාවයෙන් පසුව  මමයි දුවයි එකට රංගනයෙන් දායක වුණු  චිත්‍රපටය.  ඒ දවස්වල තිබුණු  අත්දැකීම වෙනස්.  ඒ දවස්වල දුව  කුඩා අවදියේ සිිටියෙ. මේ වෙද්දි   ඇය ටිකක් පරිණත  කාන්තාවක්.හැමදෙයක් ගැනම දැනුම් තේරුම් තිබෙනවා. රංගනයේදී ප්‍රතිචාරය කොහොම වෙයිද කියා මට හිතාගන්න බැරුව හිටියේ.  හොඳ ආකාරයට රංගන  කටයුතු කරගෙන ගියා.  ඒ සඳහා හොඳ ප්‍රතිචාරත් ලැබුණා. දැනටත් ලැබෙමින් පවතිනවා.

  • ඇය කුඩා කල ඔබ දෙදෙනා ගත කළ ජීවිතය කොහොමද? 

දුවත් සමග  බොහෝ දුරට  ළඟ ඉන්න ලැබුණේ නැහැ. දුවට මාස අටෙන් ඇයගේ තාත්තා  අපිව දාලා විදේශගත වෙනවා. ඉතින් දුවට මාස අටේ ඉඳලා  හැම දෙයක්ම කරගත්තේ මම තනියම.  ඒ දවස්වල මගේ අම්මා  සහෝදර සහෝදරියෝ මට ගොඩක් සහයෝගය දුන්නා. ඒ දවස්වල මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කළේ.  දුවත් සමග ළංවී සිටීමට  නොහැකි වුණත් ඇයගේ සියලුම වගකීම්  මම දැරුවා. සමහර දවස්වලට දුව මම සේවය කරන ස්ථානයට  ගෙන්වා ගන්නවා. මේ අතරතුර ඇයවත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කරගත්තා. ඒ දවස්වල  මගේ අම්මා  එක්ක දුව ෂූටිං යන්නෙ. මගේ අම්මගෙන් ලොකු සහයෝගයක් තිබුණා මට . දුව කවදාවත් මාව තනි කළේ නැහැ.

  • තනි මවක් විදියට තනියම ජීවත් වෙද්දී  බාධා පැමිණියේ නැද්ද?

මට ගොඩක් බාධක  ඇවිත් තිබෙනවා. ඒ හැම දේකටම  හොඳින් මූණ දීමේ ශක්තියක් මට තිබුණා. ඕනෑම දෙයකට ඉක්මනින්ම සංවේදී වන හිතක් මට  තිබෙන්නේ. විවෘතව කතා කරන නිසා  සමහර පුද්ගලයින්  මාත් සමග අමනාප වී තිබෙනවා. ඒ අවස්ථාවලදී  සමහර වැඩ පවා මට ලැබුණෙ නැහැ. නමුත්  අංශ කීපයකින්ම  වැඩ  කළ නිසා  ඒ පිළිබඳ  මට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ඒ වගේම  අද මම මෙතන සිටින්නේ මගේ දක්ෂතාවයෙන්. දරුවෙක් සමග තනිවුණු  තරුණ  කාන්තාවකට  පැමිණෙන ප්‍රශ්න  මටත් තිබුණා.  ඒ අවස්ථාවේදී  කල්පනාවෙන්   තැනට සුදුසු නුවණින්  කටයුතු කළා. 

  • කාන්තාවක් සමාජයේ ජීවත්වෙන්න ඕනෑ කොහොම කියලද ඔබ හිතන්නේ? 

සෑම විටකම  තැනට සුදුසු නුවණ පාවිච්චි කළ යුතුයි.  ඒ වගේම  අපිට කරදරයක්  හානියක් පැමිණෙනවා නම්  ඒ දේවල් වලට  ප්‍රතිචාර දැක්විය යුතුයි. ඒ වගේම  අපේ දේවල්  අපිට ලැබෙන දේවල්  නිවැරදි ආකාරයෙන් රැකගත යුතුයි. සෑම විටම  සාධාරණව ජීවත්වන්න. බොරුවෙන් ජීවත් වෙන්න එපා.  තමන්ට  අගෞරවයක්  හානියක්  වෙන තැන්වල රැඳෙන්න එපා. ඒ දේවල් නිවැරදි කරගන්න පුළුවන් නම්  එතැන රැඳුණාට  ප්‍රශ්නයක් නැහැ.  සෑම විටම  තමන් තමන්ව  ආරක්ෂා කරගන්න ඕනෑ.

  • කාන්තාවකගේ  ස්වාධීනත්වය ගැන මොකද හිතෙන්නේ?

කාන්තාවක් අනිවායයෙන්ම ස්වාධීන විය යුතුයි.  කාගෙන්වත් යැපෙන්න බලන්නෙ නැතිව  තමන්ටම  දෙයක් කරගන්න පුළුවන් නම්  එය ගොඩක් වටිනවා. අපිට ලැබෙන  දෙයින්  අරපිරිමැස්මෙන්  වැඩ කරගත යුතුයි. අනෙක් අයටත්  උදව් උපකාරයක් කරමින්  කාන්තාවකට  ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් නම්  ගොඩාක් වටිනවා.

  • ජීවිතේ අලුත් බලාපොපොරත්තු මොනවද? 

මට ලොකු බලාපොරොත්තු නැහැ.  ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්  මම.  මගේ ලොකුම බලාපොරොත්තුව  මගේ දුවයි  මුනුපුරයි  හොඳින් ජීවත් වෙනවා දකින්න. ඒ වගේම  නිරෝගී සම්පන්නව  ජීවත්වෙන්න ඕනෑ.


            

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි Read Previous

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි Read Next

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි

Realted Post

Leave a comment