දිනේෂ් ගේ සොඳුරු කැදැල්​ලේ දවසක්...

 

අම්මාවරුන්ගේ දිනය යෙදිලා තිබුණෙ මේ මාසෙ එකොළොස්වැනිදාට.  අම්මාවරුන් ගැන ගුණ වයන්න දවසක් නොවෙයි සංසාරයම මදි. අපි  ගොඩවු​ෙණ් බොහොම ආදරණීය මවක්  සිටින  නිවෙසකට. ඇය ජනප්‍රියත්වය සොයාගෙන යන්නේ නැති වුණත් මේ වනවිට ඇය අපේ රටේ ජනප්‍රිය මවක් වෙලා. ඇය රැන්ඩෙලා. ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂඬ් තරංගගේ ආදරණිය බිරිඳ. අපි ඇයත් එක්ක විතරක් නෙවෙයි දිනේෂ් සහ ආදරණීය දියණියන් දෙදෙනා සමගත් කතා කළා. මේ ලියැවෙන්නේ  ඒ කතාබහ.

මම සාම්ප්‍රදායික අම්මා කෙනෙක්

රැන්ඩෙලා     

   

  • දරුවන් සමග මේ ආපු ගමන?

මේ තරම් දුරක් සාර්ථකව පැමිණීම ගැන මවක් විදිහට මට හරි ආඩම්බරයෙන් සතුටු වෙන්න පුළුවන්.

  • සැමියා සමග පැමිණි ගමන? 

මමත් දරුවෙක්ව දරාගන්නවා වගේම මහත්තයව දරාගන්නවා. කවදාවත් එයාව මට මගහැරෙන්නේ නැහැ . අත්හැරෙන්නෙ නැහැ. මේ ජීවන ගමනේ ඉස්සරහට යද්දී මවක් වගේ එයාට මම අත දෙනවා.

  • මවක් ආදරණීය වෙන්නෙ තොහොමද? 

අපි දරුවගෙ තැන ඉඳලා කටයුතු කරන්න ඕනෑ. ඒ කාලයේ විදිහට දරුවන් දැන් හදන්න බැහැ. දැන් ඉන්න දරුවෝ හරිම වෙනස්. අද කාලේ දරුවන්ව හොඳට හදන්න නම් දරුවාගේ තැනට අම්මා පැමිණෙන්නම ඕනෑ. ඒ තැනට යන්න අපහසුයි. නමුත් කොහොම හරි උත්සාහ කරනවා එයාලගේ තැන ඉඳලා හැම දෙයක්ම කරලා දෙන්න.

  • දරුවන්ගේ ප්‍රශ්න වලදී තීරණ ගන්නේ කොහොමද?

සමහර ප්‍රශ්න තිබෙනවා දරුවන්ගේ තැන ඉඳල තමයි අපි බලන්න ඕනෑ. සමහර තැන්වලදී එහෙම කරන්න අපහසුයි. මොකද අපි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඔවුන්ගේ හැසිරීම් රටාවේ පවා අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ හැම දෙයක්ම අපේ ඔළුවේ වැඩ කරනවා. ඉතින් දරුවන්ට යම්කිසි ප්‍රශ්නයක් එනකොට තීරණ ගැනීමේදී ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. අවසානයේදී වෙන්නේ කොහොමහරි එයාලගේ පැත්තෙන් හිතලා තීරණ ගන්නවා.

  • ඔබට දරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

බිරිඳක් විදියට මම අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් මවක් විදියට මම සාර්ථකයි. මගේ දුවලා දෙන්නටම නිවසේ වැඩ කටයුතු සෑම දෙයක්ම පුළුවන්. ඒ වගේම හොඳ ගුණයහපත් දරුවො දෙන්නෙක්  හැදුවයි කියලා මම සතුටු වෙනවා. මම සාම්ප්‍රදායික අම්මා කෙනෙක්. මගේ ජීවිතය ඇතුළෙ ලොකු පිරිසක් නැහැ. මගේ ජීවිතය ඇතුළෙ ඉන්නෙ අපි ටික දෙනා විතරයි. මට ගොඩාක් ආඩම්බරයි  මගේ දරුවෝ දෙන්න ගැන.

  • දරුවන්ගේ අනාගතය සැලසුම් කරලද තියෙන්නේ?

මගේ දරුවො දෙන්නාගේ ස්වහාවය එක සමාන නැහැ . මගේ ලොකු දුව හරිම නිහඬ චරිතයක්. මගේ ලොකු දුව ඉගෙනීමට දක්ෂයි. එයා උපාධියක් හදාරමින් සිටින්නේ මනෝවිද්‍යාව පිළිබඳව. ඉතින් මට හිතෙනවා එයා එයාගෙ මාර්ගය තෝරාගෙන තියෙන්නේ කියලා. මට හිතෙනවා පොඩි දුව සංගීතය පැත්තෙන් එයාගේ තාත්තගෙ මාර්ගයේ යයි කියලා. එයා කැමති ඒ විදිහට. මම ඉතින් එයාට ලොකුවට තල්ලු කරන්නේ නෑ ඒ දේ කරන්න මේ දේ කරන්න කියලා. දැනට නම් එයාව එළියට දාන්න අදහසක් නැහැ . එයාට හැම දෙයක්ම තනියම කරගන්න, ආරක්ෂාව සලසා ගන්න පුළුවන් කාලය වෙන විට එයා ඒ දේවල් සඳහා  යොමු කරනවා.

  • අද සිටින දරුවන් ගැන මොකද හිතෙන්නේ?

අද සමාජයේ දරුවන් කුමන කාර්ය කළත් ඒ දේවල්වල වගකීම දරන්න ඕනේ මව්පියන්, වැඩිහිටියන්. අපි දරුවෙක් හැදුවොත් ඒ දරුවන්ගේ වගකීම අපි අනිවාර්යයෙන් ගන්න ඕනෑ. මේ කාලේ වෙන විට මවුපියන්ට නිවසේ රැඳෙන්න කාලය අඩුයි. ඉතින් දරුවන්වත් මගහැරෙනවා. කොපමණ කාර්යබහුල වුණත් දරුවන් ගැන අනිවාර්යයෙන් සොයා බලා කටයුතු කළ යුතුයි.⁣

  • අපි දරුවට යුතුකම් කරනවා වගේ දරුවන්ගෙනුත් ඒ විදියට බලාපොරොත්තු වෙන  එක සාධාරණද?

මේ කාලයේ හැටියට නම් දරුවන්​ෙගන් දේවල් බලාපොරොත්තු වෙන එක අපි අත්හැරිය යුතුයි. මවුපියන්ගේ මානුෂිය පැත්තකුත් තිබෙනවා. ඔවුන් ඉතින් දරුවන්ගෙන් ආදරේ කරුණාව බලාපොරොත්තු වෙනවා. දැන් තිබෙන රටාව අනුව අපේ දරුවන්ගෙන් ඒ දේවල් බලාපොරෝත්තු වෙන්න බැහැ. මම කැමතියි ඒ දේවල් ලැබෙනවා නම්.  නොලැබුණත් ඉතින් හිත හදාගන්න පුළුවන්කමක් තිබෙනවා. අපිට මේ තියෙන තත්ත්වයම ඉදිරියේදී  එයාලට ඊට වඩා බැරෑරුම් වේවි.  මට හිතෙන්නෙ නෑ ඉදිරියේදී  මවුපියන්ට දරුවන්ට එකට කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙයි කියලා.

  • මවක් විදියට ඔබ ලෝකය දකින්නේ කොහොමද?

අම්මා තමයි මේ ලෝකයේ හැම දෙයක්ම. පවුලක බොන්ඩ් එක අම්මා තමයි. අම්මා නැත්නම් මුළු පවුලම ඉවර වෙනවා. සමාජයේ මොනතරාතිරම් ගැන කතා කළත් කාන්තාවකට අම්මගේ චරිතය හරියටම කරන්න හැකි නම් සුන්දර තැන් බිහිවෙයි. සැනසීමක් ලැබෙයි.

ඇය මවක් වගේ හැමවිටම මා එක්ක ඉන්නවා

දිනේෂ් තරංග   

  • බිරිඳගෙන් ඔබට ලැබෙන සෙනෙහස ගැන කතා කළොත් 

මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම හැමදේකටම මගෙත් එක්ක හිටියා. නමුත් විවාහ ජීවිතයත් සමගම අම්මා මගෙන් ඈතට ගියා. නමුත් දැන් මගේ බිරිඳ ඒ අඩුව සියයට සියයක්ම සම්පූර්ණ කරනවා. සංගීත ජීවිතය පැත්තෙන් උදව් කරනවා .ඒ වගේම දැන් මම  රංගන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහාද බිරිඳගෙන්  ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා වගේම ළඟින් ඉඳගෙන මගේ  හැම අඩුපාඩුවක්ම සොයා බලමින් මට සහයෝගය දෙනවා.

  • ඔබට අම්මව දැනෙන්නේ කෙසේද?  

ආදරය, කරුණාව,  සෙනෙහස, ආරක්ෂාව මේ සෑම දෙයකින්ම පරිපූර්ණ වූ කාන්තාව අම්ම යැයි හඳුන්වා දෙන්න පුළුවන්. 

  • අම්මා කෙනෙක් ළඟ හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්ද? 

බැහැ. සමහර අවස්ථාවලදී අම්මට දැනෙන හැඟීම් අනුව තමයි එයා තීරණ ගන්නේ. එහිදී අපිට අම්මට වැරදියැයි  කියන්න බැහැ. මාව බිහිකරපු අම්මගෙන් මට ආදරේ කරුණාව සහයෝගය අද ලැබුණේ නැතත් මම අම්මට වැරැද්දක් කියන්නේ නැහැ . අදටත් ඇය මගේ අම්මා. මගේ තාත්තා දැනටත් මා සමග සිටිනවා.

  • මේ සමාජයට වැඩිහිටි නිවාස ඕන නෑ කියලද ඔබ හිතන්නේ? 

වැඩිහිටි නිවාස ඇතිවීම මම අනුමත කරන්නේ නැහැ. හැබැයි දෙමවුපියන්ගේ ආදරය ලබන්න දරුවනුත් දරුවන්ගේ ආදරේ ලබන්න දෙමවුපියනුත් පින් කරලත් තියෙන්න ඕනෑ. 

අම්මා දෙන විසඳුම් හරිම විශ්වසනීයයි - ඇන්ඩ්‍රියා

  • ඔයාට අම්මව දැනෙන්නේ කොහොමද?

අම්මගේ මගේ වයස පරතරයත් මහා ලොකු ප්‍රමාණයක් නැහැ . ඇත්තටම අම්මා මට යාළුවෙක් වගේ. මගේ හැම දේකදීම අම්මත් එක්ක කතාබහ කරලා උපදෙස් අරගෙන තමයි වැඩ කරන්නේ. අම්මයි මමයි ලොකු බැඳීමකින් ඉන්නේ. ඇය ගොඩාක් අවබෝධයකින් අපි ගැන කටයුතු කරන්නේ.  

  • ඔයාගේ ප්‍රශ්නවලදි අම්මා කටයුතු කරන්නේ කොහොමද?

අම්මගෙන් මට ලොකු  සහයෝගයක් ලැබෙනවා. හැමදෙයක්ම විවෘතව කතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයකදී අම්මා කතාබහ කරලා ගන්න විසඳුම් හරිම විශ්වසනීයයි.

  • ඔයාගෙන් අම්මට සහයෝගය ලැබෙනවාද?

මම අම්මට  සහයෝගය ලබා දෙනවා. අම්මගෙ ප්‍රශ්නවලදිත් මම අම්මත් සමග සිටිනවා. මම ඇයට ගොඩක් ආදරෙයි.

  • අම්මලා  ගැන අනෙක් දරුවන්ට  මොනවද කියන්න තියෙන්නේ?

ජීවිතයේ කවුරු ආවත් ගියත් අම්මා තාත්තා කියන්නේ අපිට වටිනාම දෙන්නෙක්. ඒ වගේම කවුරු හිටියත් නැතත් අම්මා කියන කෙනා අප සමග හැමදාම ඉන්නව. එනිසා එයාලගේ හිත රිද්දවන්නෙ නැතිව එයාලා එක්ක සතුටින් ඉන්න

අම්මට දුක හිතුණම සනසන්නෙ මම - ෆේත්  

  • ඔයාට අම්මව දැනෙන්නේ කොහොමද?

අම්මා ගොඩක් හොඳින් තේරුම් අරගෙන ඉන්නේ අපි ගැන. ඒ වගේම ගොඩක් ආදරණීයයි.  අපි ගොඩාක් ආදරේ අම්මට. සමහර වෙලාවලදී අම්මා ගොඩක් වසයි. ඒ වගේ වෙලාවල්වලදී පොඩ්ඩක් දුක හිතෙනවා. පස්සේ ඉතින් තේරුම් ගන්නවා අම්මා ඒ හැම දෙයක්ම  කරන්නේ ආදරේට කියලා.

  • ඔයා අම්මට  උදව් කරනවද?

අම්මට දුක හිතෙන වෙලාවල්වලදි අම්මා ළඟ ඉඳලා අම්මව  සනසන්නෙ මම තමයි. ඒක තාත්තිටයි අක්කිටයි දෙන්නටම කරන්න බැරි වැඩක්.

  • ඔයාට අම්මට මොනවද කියන්න තියෙන්නේ?

අම්මට මම ගොඩාක් ආදරෙයි. අම්මා ළඟ අපි හැමදාම ඉන්නවා. 

  • ඡායාරූප – ඉන්දික මල්ලවාරච්චි 

 

 

 

 

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment