නොබැඳ ඉන්න තීරණය කළා - Dr. Nuwandika

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය  දක්ෂ නිරූපණ ශිල්පිනියක්. 2018 Miss British Empire ජයග්‍රහණය  ලබාගෙන ඇති ඇය  මේ වන විට රංගනය සඳහාද මූලික අඩිතාලම දමා අවසන්. ඒ වගේම ඇය ගායන අංශයෙන්ද ඉදිරියට යන්න අමතක කළේ නැහැ.  මේ වන විට  කලා ක්ෂේත්‍රයේ  දස්කම් දක්වන ඇය  වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන. මේ ඇය සමග කළ කතාබහක සටහනක්.

  •  ඇයි කලා ක්ෂේත්‍රයටත් එන්න හිතුවේ? 

මොන ක්ෂේත්‍රයක සිටියත්   අපි හැමෝම කරන්නේ  රැකියාවක් වගේම සමාජ සේවාවක්. ඒ සඳහා මිනිසුන් අතරට යා යුතුයි. මිනිසුන්ගේ දේවල් වෙනුවෙන් කතා කරන්න  මිනිසුන් සමග ජීවත්වීමට  හොඳම මාධ්‍ය කලාවයි.  ඒ වගේම තමන්  මොන ක්ෂේත්‍රයක  නියැළුණත්  තමන්ට හා  තමන් නිසා අනිත් අයට ලැබෙන ප්‍රතිඵලය  හිතකර නම්  ඒ දේවල් අත්හරින්න හිතෙන්නෙ නැහැ.    මම ලබාදීපු  සහයෝගයෙන් ඉදිරියට ගිය ළමයි  ටිකක් ඉන්නවා.  එයාල  අද හොඳ තැන්වල. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මමත් මේ ක්ෂේත්‍ර දෙකම අත්හරින්නෙ නැහැ.

  • ජාත්‍යන්තර  තරග ජයග්‍රහණ දක්වා ගිය ගමන පහසු වුණාද?

හැම ක්ෂේත්‍රයකම  විවිධාකාරයේ පුද්ගලයින් සිටිනවා.  මම සෘජු තීරණ ගන්න,  කතා කරන  ඒ වගේම  ටිකක්  තද ගති තියෙන කෙනෙක්.  මගේ පෞරුෂත්වය නිසා  මට එන ප්‍රශ්න කරදරවලට  හොඳින් මුහුණ දීලා  මේ ගමන එන්න පුළුවන් වුණා. ඒ වගේම මම ස්වාධීන කාන්තාවක්.  මට වෙනමම වෘත්තියක් තිබෙනවා.  ඒ නිසා  මගේ  සියලුම කටයුතු කරගන්න  මට පුළුවන්කමක් තිබෙනවා. 

  • කලා කටයුතු වෛද්‍ය වෘත්තියට බාධාවක් නොවෙයිද?  

ඕනෑම ක්ෂේත්‍රයක   පිරිමියෙකුට වඩා  කාන්තාවකට ඉදිරියට යනවිට  එන ප්‍රශ්න කරදර වැඩියි. ඒ වගේම  මේ වෘත්තීන්වල සිටින විට  අපිට නොයෙකුත් ආකාරයේ  පුද්ගලයින් ඇසුරු කරන්න ලැබෙනවා. මම ඕනෑම තරාතිරමක පුද්ගලයින් ඇසුරු කරනවා. මනුස්සයන් වෙනුවෙන් කරන්න පුළුවන්  හැම උදව්වක්ම කරනවා.  අපි සමාජයට යමක් කරගෙන  ඉදිරියට යනකොට  කොහොමත් මඩ ප්‍රහාර  ගල් මුල්වලින් ප්‍රහාර  නින්දා අපහාස  ලැබෙනවා. කවදාවත් ඒ දේවල් වලින්  මම වැටුණෙ නැහැ. මාව වට්ටන්නත් බැහැ.  

  • ඔයාට හමුවෙලා තියෙන ශක්තිමත්ම ගැහැනිය කවුද? 

මගේ ආච්චි අම්මා.  ඇය තමයි මගේ ජීවිතයේ  දැක්ක  ශක්තිමත්ම  ප්‍රතාපවත්ම  කාන්තාව. ඇයගේ ජීවිතය  ආදර්ශයට ගනිමින් මම  මගේ ජීවිතය  අද වන විට  සාර්ථක තැනකට ගෙනැවිත් තිබෙනවා. ඇයගෙන් ලැබුණු ගුරුහරුකම් උපදෙස්  අද මගේ ජීවිතය  සුන්දර කර තිබෙනවා.

  • ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

මිනිසුන් වෙනුවෙන්  තව තවත් සේවය කරන්න  බලාපොරොත්තු වෙනවා.  තව තවත් දේවල් ඉගෙන ගනිමින් සිටිනවා .  මට විවාහ වීමටත්  අදහසක් නැති නිසා  මගේ ජීවිතය  සමාජ සේවය වෙනුවෙන්ම කැප කරනවා.

  • ඇයි විවාහවෙන්න අකමැති?

මට විවාහ වෙන්න ඕනෙ කියා සිතුණු අවස්ථාවල  ඒ වෙනුවෙන් දැනුණු  පුද්ගලයින්  ලබාගන්න පුළුවන්  තැනක නෙමෙයි මම හිටියෙ.   ඒ සෑම කෙනෙක්ම  මට අයිති අය  නොවෙයි. එ් නිසා  විවාහ වෙන   අදහස  මම සිතින් අත්හැරියා.

  • මහන්නත් දක්ෂයි නේද? 

මම   අධ්‍යාපනය,  රැකියාව   අතින් කොපමණ  ඉහළට   ගියත්  කාන්තාවක් වශයෙන්   කළ යුතු මැහුම්   ගෙතුම්  ඉවුම් පිහුම්  වැනි දේවල්  ගැනත් ඉගෙනගෙන තිබෙනවා.  කුඩා කාලයේ සිටම  මගේ අම්මා  ඒ දේවල් මට පුරුදු පුහුණු කර තිබෙනවා.   කාන්තාවක් විදියට  අපිට ගැළපෙන දේවල් දැන හිඳීමෙන්  අපේ  වටිනාකම ආරක්ෂා කරගන්න පුළුවන්.  

  • මොන දේ කළත් ගැහැනියකට අධ්‍යාපනයත් වටිනවා නේද?

කිසිම දවසක අධ්‍යාපනය නතර කරන්න එපා.  කුඩා කාලයේ සිටම  පුදුම තරම්  කට්ටක් කාලා මම ඉගෙන ගත්තා. මට කොච්චර ප්‍රශ්න   ආවත්  මගේ අධ්‍යාපනය වැටෙන්න දුන්නෙ නැහැ. කාන්තාවකට  අධ්‍යාපනය ලබා දෙනවා කියන්නෙ  පරම්පරාවක  පැවැත්මක්.  එම නිසා අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න.  ඒ තැන තමයි  අපේ ආරක්ෂකයා.

PIC - Rushiru

ප්‍රේමණීය සතියක් Read Previous

ප්‍රේමණීය සතියක්

වැලන්ටයින් දවසේ ලංකාවෙන් යනවා - චිත්‍රාල් සෝමපාල Read Next

වැලන්ටයින් දවසේ ලංකාවෙන් යනවා - චිත්‍රාල් සෝමපාල

Realted Post

Leave a comment