පසුගිය කාලය දරාගත් හැටි හිතාගන්නත් බැහැ - Chamara Weerasinghe

දශක කිහිපයක සිට තමන්ගේ ජනප්‍රියත්වය එක හා සමානව තබාගෙන සිටින දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියෙකි චාමර වීරසිංහ.  සිරිකත අපි ඔහුගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණේ ඔහුගේ නවතම තොරතුරු සොයා බැලීමටයි.

  • කොහොමද සැප සනීප? 
බොහෝ දුරට හොඳයි.  නමුත් තවම හතිය තිබෙනවා. තවම සම්පූර්ණයෙන්ම සුවවෙලා නැහැ.
  • මේ දවස්වල මොකද කරන්නේ? 
 දැන් මම සංගීත සංදර්ශන භාරගන්න ප්‍රමාණය සීමාකර තිබෙන නිසා  වැඩි කාලයක් නිවසට වී විවේකයෙන් කාලය ගත කරනවා.
  • අසනීප තත්ත්වයෙන් පසු සංගීත ක්ෂේත්‍රයට නැවත පැමිණීම විදේශ රටකින් ඇරඹුවේ ඇයි?
ජපානයේ සහ  ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ සංගීත ප්‍රසංගය මම අසනීප වීමට පෙර භාරගත් ඒවා නිසා  ඒ ප්‍රසංගවලින්ම මගේ නැවත පැමිණීම ආරම්භ කළා. ඒ වගේම අගෝස්තු මාසේ මුල ලංකාවේ ප්‍රසංගයකුත් පැවැත්වුවා.
  • ලැබෙන ප්‍රසංගවල අඩුවක් තිබෙනවාද?
ලැබෙන ප්‍රසංගවල අඩුවක් නැහැ. නමුත් මම බාරගන්න ප්‍රමාණය සීමිත කළා. ඉස්සර වගේ හැමදාම ප්‍රසංගවලට සහභාගී වෙන්න අමාරුයි. මේ අසනීප තත්ත්වය නිසා.  දැන් මම මාසයට ප්‍රසංග තුනක් වගේ භාරගන්නවා.
  • ජනප්‍රියත්වය අඩු වෙලා  කියල  හිතෙනවද? 
එහෙම අඩුවීමක් නම් වෙලා නැහැ. රසික රසිකාවියන්ගේ ආදරය  මට නොඅඩුව ලැබෙනවා. මම අසනීප වෙලා සිටිය කාලයේ ඔවුන් මං වෙනුවෙන්  බෝධි පූජා තියලා මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා.  ඒ වගේම  පන්සල්වල දන්න නොදන්න  හාමුදුරුවරු  මගේ සහෝදර සහෝදරියෝ ඥාතීන්, හිතමිතුරන්  ගොඩක් දෙනෙක් මට සෙත්  ප්‍රාර්ථනා කරලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් පින්.  ඔවුන්ගේ ආදරය පෙරටත් වඩා මට දැන් දැනෙනවා.
  • අසනීපවීමත් සමග ජීවිතේ ගැන දැනුණු හැඟීම කොහොමද? 
අපට කොපමණ මිල මුදල් තිබුණත් වැඩක් නැහැ නිරෝගීකම නැත්නම්. ඒ වගේම  අපේ  සෞඛ්‍යයට හානිවෙන   කිසිම අයහපත්දෙ යක් අපේ ජීවිතයට ළං කරන්න නරකයි. එහෙම කරන්නත් එපා. ඒ වගේම මේ අසනීප වුණු කාලය තුළ මනුෂ්‍යයන් ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. 
  • ඔබගේ වැඩ කටයුතු සමග කොහොමද විවාහ ජීවිතය සමබර කරගෙන යන්නේ
ඉස්සර නම් මාසයකට දවස් හතරක් පහක් පමණයි නිවසේ රැඳෙන්නේ.  දැන්නම් පවුලේ අයත් සමග කාලය ගත කරන්න වෙලාව තිබෙනවා.
  • බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ලොකු සහයෝගයක් ලැබෙනවා.  මම අසනීප වී රෝහලේ සිටින විට තුන් වේලටම කෑම හදාගෙන ආවා.  ඒ වගේම නිවසේ  වැඩකටයුතු දරුවාගේ වැඩකටයුතු හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතිව  ඉටුකරනවා. ඒ වගේම මගේ කලා කටයුතු ක්‍රමානුකූලව කරගැනීම  සඳහා ද ලොකු සහයෝගයක් ඇය ලබා දෙනවා.
  • දරුවා සමග ගත කරන කාලය කොහොමද?
පුතා ලබන අවුරුද්දේ පාසල් යනවා.  ඔහුත් සමග ගත කරන කාලය හරිම සුන්දරයි. ඉස්සර දවස්වල ලොකු කාලයක් තිබුණේ නෑ ඔහුට දෙන්න. නමුත් දැන් පුතා සමගම කාලය ගත කරනවා. පුතාගේ සෙල්ලම් බඩුව මම වෙලා.
  • අලුත් නිර්මාණ කරන්නෙ අඩුවෙන් නේද? 
ළඟදි මගේ අලුත් ගීත දෙකක්  එළිදැක්වුවා.  තව ගීත පහක්  පමණ නිර්මාණය කර      තිබෙනවා. ඉදිරියේදී ඒ ගීතත්  රසිකයින්ට  පිරිනමනවා.
  • මේ ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම නිහතමානී සතුටක් තිබෙනවා.  මම ගීත ගායනා කළේ  ජනප්‍රියත්වය,  සම්මාන ලබාගැනීම උදෙසා නොවෙයි. මගේ හිතවතුන්ට අහන්න.  ‘සිතින් විතරක්’ කැසට් පටයෙන්  පසුව හැම දෙයක්ම වෙනස් වුණා. ලොකු රසික ආදරයක් ජනප්‍රියත්වයක්  මට ලැබුණා.  ඒ දේවල්  අදටත්  මට ලැබෙනවා.
  • ඔබේ රසික රසිකාවියන්ට මොනවද කියන්න තිබෙන්නේ?
මට මේ ලබාදෙන ආදරය , ගෞරවයට  ගොඩක් ස්තුතියි.  ඉස්සර හිටියා වගේම  හැමදාම මගෙත් එක්කම ඉන්න .  ඉදිරියේදී  මගේ  අලුත් ගීත ඔබලාට අහන්න ලැබේවි. මේ දුන්නු ආදරය හැමදාටම මගෙත් එක්ක තියේවි කියා විශ්වාස කරනවා.  ඔයාලට ගොඩක් පින් මං වෙනුවෙන් කරපු හැමදේටම.  ඔයාලට මම ගොඩාක් ආදරෙයි.
 

පසුගිය කාලය දරාගත් හැටි හිතාගන්නත් බෑ  

චාමරගේ බිරිඳ ප්‍රසංගි

චාමර වීරසිංහගේ  ආදරණීය බිරිඳ ප්‍රසංගි වීරසිංහ  සමගත්  කෙටි කතාබහක යෙදෙන්න  අපි අමතක කළේ නැහැ. 
  • කොහොමද මේ දවස්වල ජීවිතය? 
 පුතාගේ වැඩ කටයුතුයි මහත්තයාගේ වැඩ කටයුතුයි කරගෙන සතුටින් කාලය ගත කරනවා.
  • ඔහුගේ අසනීපයත් සමග ඒ දවස් ගෙවුණේ කොහොමද? 
හැම දෙයක්ම නැතිවුණා වගේ හැඟීමක් දැනුණා. ඒ වෙලාවේ දැනුන හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරුයි. ඒ තරම් ලොකු පීඩනයක් දැනුණා. පුතත් පෙර පාසල් යනවා.  ඒ වැඩත් කරගෙන  තුන් වේලම කෑමත් හදාගෙන  රෝහලට යනවා. පසුගිය කාලය දරාගත් හැටි හිතාගන්නත් බැහැ. පවුලේ අයගේ උදව් නිසා  හැම දෙයක්ම හොඳින් කරගත්තා. 
  • චාමරගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදර වැඩවලට නම් එයාගෙන් උදව් ගන්නෙ නැහැ. පුතාගේ වැඩ කටයුතුවලට නම් උදව් කරනවා. 
  • රසික රසිකාවියන්ගෙන් චාමරට ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉස්සර නම්  ඒ දේවල් වලට හුරුවෙන්න අමාරුවුණා.  දැන් මම හැම දේකටම හුරු වෙලා ඉන්නේ. මුල් කාලයේ නම් රසිකාවියන්ගේ ආකර්ෂණය එහෙම ලැබෙද්දි පොඩි ඊර්ෂ්‍යාවක්  ඇතිවුණා. දැන් නං එහෙම හිතෙන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ කලා කටයුතු පිළිබඳ හොඳ අවබෝධයකින් සිටින්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔහුට තිබෙන  ආදරය ගෞරවය නිසා ලැබෙන දේවල්.
  • ඔහු හරිම කාර්යබහුලයි, ඔයා කොහොමද ඒකට හැඩගැහුණෙ? 
මම ඔහුගේ වැඩ කටයුතු පිළිබඳව  මනා අවබෝධයකින් සිටිනවා.  විශේෂයෙන්ම  ඉවසීම තිබිය යුතුයි. දෙදෙනාට දෙදෙනා විශ්වාස කළ යුතුයි. මේ දේවල් හරියාකාරව තිබෙනවා නම්  විවාහ ජීවිතය සාර්ථකව සතුටින් ගතකරන්න පුළුවන්. මම හිතනවා මම ඔහුගේ කාර්යබහුල ජිවිතයට හැඩගැහිලා ඉන්නේ කියලා. 
pic -  Rushiru Colambathanthrige 

Merry Christmas Read Previous

Merry Christmas

ආන්ඩුවෙන් භේදයකින් තොරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් Read Next

ආන්ඩුවෙන් භේදයකින් තොරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක්

Realted Post

Leave a comment