මගේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වුණා... Sabeetha Perera

දශක හතරකට වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින ඇය මේ වන විට රියැලිටි වැඩසටහන්වල  විනිශ්චයවරියක් ලෙසද  කටයුතු කරයි. එදා වගේම අදත්  ඇගේ  රූ සපුව  සුරූපීව සුන්දරව  එලෙසම තබා ගැනීමට තරම්  ඇය වාසනාවන්තියකි. මේ සුරූපී රංගන ශිල්පිනිය  සබීතා පෙරේරා.  

හුගක් අය අහනවා මම කොහොමද අදටත් ලස්සනට ඉන්නවානේ කියලා. පාසල් කාලයේ  ගොඩක් ක්‍රීඩාවට සම්බන්ධ වුණා.  ඒ වගේම  මගේ වෘත්තීය ආරම්භ කිරීමත් සමඟ  යෝගා  ව්‍යායාම  කරන්න  පුරුදු වුණා.  අද වෙනකනුත්  මම ව්‍යායාම කරනවා. මම නිතරම  මගේ ශරීරය සෞඛ්‍ය ගැන  සිතනවා. නමුත් කෘතීම  රූපලාවන්‍ය සත්කාර මම කරන්නේ නැහැ. මට ස්වාභාවිකව ලැබිලා තිබෙන දෙය පවත්වාගෙන යෑම සඳහා සභාවික සත්කාර එහෙම කරනවා. ඒ වගේම  මගේ කොණ්ඩේ සඳහා තෙල් සත්කාරය අනිවාර්යෙන්ම කරනවා. ඒ නිසා තවමත් මගේ කොණ්ඩය දිගට ලස්සනට තිබෙනවා.  සමහර කාන්තාවෝ  විවාහයෙන් පසුව  වයස අනුව  තමන්ගේ ශරීරය  ගැන අවධානය දෙන්නේ නැහැ. එහෙම කරන්න එපා. තමන් ගැන හිතන්න. ලස්සනට ඉන්න. තමන්ව අත්හරින්න එපා කියලා තමයි මම හැමෝටම කියන්නේ.
මම කලාවට සම්බන්ධ උනේ පාසල් යන කාලයේ සිටයි. එතැන් සිට  සෑහෙන කාලයක් කලාවත් සමඟ සම්බන්ධව වැඩ කටයුතු කළා. මගේ ජීවිතයේ  ලොකු කාලපරිච්ඡේදයක්  කලා වෙනුවෙන් කැප කර තිබෙනවා. ඉතින්  මේ ගෙවෙන කාලය  මම ජීවිතයේ විවේකීව ඉන්නවා ඕන කාලයක් ලෙස සිතුවා. හුගක් අය හිතනවා මම කලාව අත්හැරලා කියලා. නමුත් මම  කලාව අත්හැරියේ නැහැ.  නමුත්  මගේ පෞද්ගලික ජීවිතය සඳහා  කාලය යොමු කරන්න ඕනේ කියලා මට සිතුනා. මම ගොඩක් කැමතියි පොත් කියවන්න. දැන් මට ඒ දේ කරන්න කාලය තිබෙනවා. ඒ වගේම  චිත්‍රපටි බලන්න මම ගොඩක් කැමතියි.  මේ අතරතුර  ආගමික කටයුතු සඳහාද  සම්බන්ධ වී  සිටිනවා.  මේ දේවල් සහ නිවසේ වැඩ කටයුතුත් සමඟ  ජීවිතය ගලාගෙන යනවා.  මම ගොඩක් සතුටින් ජීවිතය ගතකරනවා.
කාලෙත් එක්ක විවාහයෙන් පසුව  මගේ කලා කටයුතු ගොඩක් සීමා කළා. පුතා ලැබුණයින් පසුව  අවුරුදු කිහිපයක්ම  රංගනයෙන් ඈත් වෙලා සිටියා. බිරිඳක්  මවක් විදිහට මගේ යුතුකම් ඉෂ්ට කළා, ඉදිරියටත් ඉෂ්ට කරනවා. මගේ පුතාගේ ඉගෙනීම් කටයුතු වලට ගොඩක් සහයෝගය දැක්වුවා.  බිරිඳක් මවක් විදිහට  අද මම සතුටින් කාලය ගත කරනවා. ඒ අතරතුර  කලා කටයුතු වලටද සම්බන්ධ වෙනවා.
රංගනය අතහැරලා නැහැ. මම චිත්‍රපටයකට දායකත්වය ලබා දුන්නා. නමුත් කාර්යබහුලත්වය සමඟ රංගන කටයුතු සඳහා සහභාගී වෙන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඉදිරියේදී  හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදීමටට බලාපොරොත්තු වෙනවා. රංගනය  මගේ ජීවිතයට බද්ධ වෙච්ච දෙයක්. මම ජීවත් වන තුරාවටම කලාවත් මා සමගම ජීවත්වෙයි. 
මේ කටයුතු අතර තුර මගේ සැමියත් මට ලොකු සහයෝගයක් දක්වනවා. ඔහු කලා කටයුතුවලට ගොඩක් කැමතියි. පුතා කුඩා කාලයේ මම රංගනයට දායක නොවී ඉන්නකොට  ඔහු අහනවා ඇයි ඒ දේවල් වලට සහභාගි වෙන්නැත්තෙ කියලා. පුතාගේ වැඩත් සමග මට ඒ දේවල් වලට කාලය නැතුව ගියා.  ඒ වගේම මගේ අනෙකුත් වැඩ කටයුතු වලටද ඔහු ලොකු සහයෝගයක් ලබා දෙනවා.
මගේ ජීවිතය ගොඩක්  සුන්දරයි.  සැමිය නම් ටිකක් කාර්යබහුලයි. ඔහුගේ ව්‍යාපාරත් සමඟ. පුතත්  කාලයක්  අධ්‍යාපන  කටයුතු සඳහා විදේශගත වී සිටියා.  දැන් නම් අපත් සමගයි සිටින්නේ.  ඉතින් ඔවුන් සමඟ  විනෝදයෙන් කාලය ගත කරනවා. ඒ වගේම ඔවුන් චිත්‍රපට නැරඹීම  සඳහා යන විට  මමත් යනවා.  එයාලා වැඩිපුරම කැමති  හාස්‍ය මුසුවුණ චිත්‍රපඨවලට .  මම ඒ චිත්‍රපටවලට කැමති නැහැ.  එහෙත්  ඔවුන් සමඟ  කාලය ගතකිරීම සඳහා චිත්‍රපට ශාලාවට ගිහින්  චිත්‍රපටිය නරඹන්න පුරුදු වෙලා  සිටිනවා.
අද කාලේ කාන්තා පිරිමි දෙපාර්ශවයම හොඳ අධ්‍යාපනයක් ලබමින් සිටිනවා. ඒ වගේම  තාක්ෂණය අතින්ද දියුණුවට පත්වී තිබෙනවා. කාන්තාවක් ස්වාධීනව රැකියාවක් කරමින් මුදල් ඉපයීම ඇයට ලොකු ශක්තියක්. ඒ ගැන මටත් අත්දැකීම් තිබෙනවා. ඒ වගේම  කාන්තාවකට නිදහසද බොහොම වටිනවා. 
මුලින්ම කැමරාව ඉදිරියේ  මම නොයෙකුත් චරිත නිරූපණය කළා. නමුත් සැබෑ ජීවිතයේදී  බිරිඳ අම්මා ගෘහණිය  යන චරිත වලට   උපරිම සාධාරණත්වය සහ  ගරුත්වය ලබා දුන්නා.  කාන්තාවක් ලෙස  ඒ වගේ ජීවත්වීම  ගොඩක් වටිනවා. තමන්ගේ සැමියා මොනවද බලාපොරොත්තු වන්නේ  තමන්ගේ දරුවන් මොනවද බලාපොරොත්තු වන්නේ  ඒ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.    අපිට නැති දේවල් ගැන දුක්නොවියය යුතුයි. සෑම විටම ලැබිච්ච දේවල් ගැන සතුටු වන්න. වේගයෙන් ගමන් කරන සමාජයේ  ඉවසීමෙන් කටයුතු කරමින් තීරණ ගන්න. විවාහ ජීවිතයේදී  තීරණ ගැනීමේදී  තමන්ගේ දරුවන් ගැන සිතන්න. ඒ වගේම තමන්ට අනන්‍යතාවයක් ගොඩනගා ගන්න.
නව වසරේ ආරම්භයත් සමඟ ජීවිතය සුබයි. පසුගිය වසරේ මගේ පුතාගේ අධ්‍යාපන කටයුතුත් සමඟ කාර්යබහුල වී විදේශගත වී සිටියා.
මගේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව  මේ වන විට ඉෂ්ට වෙලා තිබෙනවා. ඒ  මගේ පුතාගේ  උපාධිය.  ඒ දේ තමයි මගේ ජීවිතේ  වටිනාම බලාපොරොත්තුව වෙලා තිබුණේ.  ඉදිරියේදී  රටට යහපතක්   උදාවෙලා  අපේ ජීවිතත්  යහපත් වෙයි කියා බලාපොරොත්තුවක් තිබෙනවා.  කලා කටයුතුවලින්  හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
දැන් ඉන්න පරම්පරාව වගේ නෙවෙයි,  අපේ පරම්පරාවේ අය සෑම විටම ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා. මගේ විවාහ ජීවිතයේදී  සෑම විටම  මගේ පැත්තේ ඉවසීම තිබෙනවා. දැන් ඉන්න ළමයින් හැම දෙයක්ම වේගවත්. තීරණ ගැනීමේදී පවා වේගවත්.  මගේ ජීවිතය තුළ  කල්පනාව ඉවසීම ගොඩාක් තිබෙනවා. ඒ වගේම ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්න මම පුරුදු පුහුණු කරගෙන සිටිනවා. 

  • ඡායාරූප - රුෂිරි කොළඹතන්ත්‍රිගේ

 

මේ සතිය ඔබට -  ජනවාරි 20 සඳුදා සිට ජනවාරි 26 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - ජනවාරි 20 සඳුදා සිට ජනවාරි 26 ඉරිදා දක්වා

sirikatha Bridail Read Next

sirikatha Bridail

Realted Post

Leave a comment