මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ. - Ruwan Hettiarachchi

ජනප්‍රිය දක්ෂ  ගායන ශිල්පියෙකු වගේම සංගීත අධ්‍යක්ෂකයෙකුද වන රුවන් හෙට්ටිආරච්චි සහ  ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පිනියක  වන  ශෙරිල්  ඩෙකර් යුවළගේ නිවහනට  අපි ගොඩ වැදුණේ  ඔවුන්ගේ නව තොරතුරු කෙසේදැයි  දැන ගැනීමට සුහද පිළිසඳරක යෙදෙන්නයි. 

  • මේ දවස්වල මොකද  කරන්නෙ?

මේ දවස්වල  රියැලටි  සංගීත වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට වැඩ කරනවා. ඒ අතරේ සංගීත කටයුතුත් කරගෙන යනවා. 

  • කොහොමද ජීවිතේ?

ජීවිතය හරියට වතුර පහරක් වගේ. ඒකාකාරීව නැතිව හැලහැප්පීම් මැද  ජීවිතය සුන්දරව ගලාගෙන යනවා.

  •  මෙදා  නත්තල කොහොමද?

මෙදා සැරේ නත්තල  මට  පමණක් නොවෙයි  අනෙකුත් සෑම කෙනෙකුටම  හොඳ නත්තලක් වෙයි කියා සිතනවා. ඒ වගේම  ශෙරිල් ගෙන්  දැනටමත්  මට නත්තල් තෑගි ලැබිලා තියෙන්නෙ. මමත් ඇයට  ඒ ආකාරයෙන්ම  තෑගි දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

  • කාර්ය බහුලත්වයත්  සමග ඇය වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ කොහොමද?

මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ. දවසේ වැඩි වෙලාවක් ඇයත් සමගයි ගත කරන්නෙ.

  • ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇයගෙන් මට ලොකු  සහයෝගයක් ලැබෙනවා. පෞද්ගලික පැත්තෙන්  වෘත්තිය  පැත්තෙන් ⁣මෙි හැම තැනකදීම ඇය මාත් සමගම ඉන්නවා. ඒ වගේම සමහර තැන්වලදි එයාගෙ දැනුම මාත් සමග බෙදා ගන්නවා. ඒ වගේම මගේ වැඩකටයුතු ගැන ලොකු අවබෝධයක් ඇයට  තිබෙනවා.

  • ඇය ගැන ඔබට හිතෙන දේ

ඇය කෙළින් කතා කරන කෙනෙක්. ඒ ගුණාංගයට මම කැමතියි. ඇය හරිම විවෘත  කෙනෙක්.

  • ඇයගෙන්  බලාපොරොත්තු වෙන දේවල් මොනවද?

ඇයගෙන් මම ආදරය  බලාපොරොත්තු වෙනවා. එය ඒ ආකාරයෙන්ම මට ලැබෙනවා. සමහර අපහසු තැන්වලදි  ඇයගෙන් මට සහයෝගය ලැබෙනවා. සමහර තැන්වලදී  ඇයගේ කාර්යබහුලත්වයත් සමග  දේවල් මගහැරෙනවා. නමුත් අපි හොඳ අවබෝධයකින් කටයුතු කරන  නිසා ප්‍රශ්නයක් නැහැ.

  • ඔබ ඇයට සහයෝගය දක්වනවද?  

ඔව්. ඇය කලා ශිල්පින්යක් වුනත් දැන් කලා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නෙ. ඇය දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇය මගෙන්  බලාපොරොත්තු වෙන සහයෝගය මම ඇයට ලබාදෙනවා. ඒ වගේම නිවසේ වැඩකටයුතුවලටත්  සහයෝගය දක්වනවා.

  • ක්ෂේත්‍රයේ  වැඩිය පේන්න නැහැ නේද?

ක්ෂේත්‍රයේ  කාලයෙන් කාලයට වෙනස්කම් සිදුවෙනවා. අලුත් පරම්පරා එනවා. නමුත් මට තිබෙන  රසික  රසිකාවියන්ගේ  ආදරයෙන්  අඩුවක් නැහැ. හැම කාලෙකටම රසවිඳින්න පුළුවන් විදිහේ ගීත කීපයක්  මම කරලා තිබෙනවා.  රසික රසිකාවියන්ගෙන්  ලැබෙන ඒ ආදරය ගෞරවය  ඒ විදිහටම  තවම මට ලැබෙනවා.

  • ඉදිරි බලාපොරොත්තු මොනවාද?

 සංගීත කටයුතු  දියුණු කරගෙන මගේ විවාහ ජීවිතය සාර්ථකව ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගෙ ආදරය දිනාගෙන පුළුවන් විදිහට උදව්කරගෙන ඉන්න ඕනෑ. ඒ වගේම හැමදාමත් නිහතමානී මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා.

  • 2025 අවුරුද්දේ ප්‍රාර්ථනාව මොකක්ද?

ජීවිතය  හොඳින් ගතකරන්න ලැබෙන්න ඕනෑ. ඒ වගේම රටට මගේ රසික රසිකාවියන්ට සුවදායී ජීවිතයක්  ප්‍රාර්ථනා කරනවා.

රුවන්ගෙ ආදරණීය බිරිඳ ෂෙරිල් ඩෙකර් සමගත් අපි කතාබහක යෙදුණා.

  • කොහොමද ඉතිං ජීවිතේ?

ව්‍යාපාර කටයුතුත් මගේ  ඉගෙනීම් කටයුතුත් කරගෙන කාලය ගතකරනවා. මට හරි සතුටුයි. මේ වනවිට  මම වෙනමම පැත්තක ඉගෙනීම් කටයුතු කරමින් සිටිනවා. මේ දවස්වල ආයුර්වේද නිෂ්පාදන ගැන අධ්‍යයනය කරමින් සතුටින් කාලය ගතකරනවා.
කලා  කටයුතුවලින් ඈත්වෙලාද?
නැහැ. මම කොහොමත්  ක්ෂේත්‍රයට ආපු දවසේ සිට තෝරාබේරාගෙන වැඩබාර ගත් කෙනෙක්.  මම වැඩ කළත් නැතත් මගේ ජනප්‍රියත්වය  තවම තිබෙනවා. මගේ රසික රසිකාවියන්  තවමත් මට ආදරෙයි. ඒ තමයි මගේ ජීවිතයේ හොඳම සම්මානය සහ ආශිර්වාදය.

  • ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න හිතුණෙ ඇයි?

මම පොඩි කාලෙ ඉඳලම කැමති කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න. මටම කියලා දෙයක් තියෙනවාට මම කැමතියි. ඒ වගේම  මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි. තව තවත් ඉස්සරහට යමින් දියුණු වෙලා ජීවිතය සතුටින් ගතකරන්න කැමතියි. ඒ නිසා මම ව්‍යාපාර ක්ෂේත්‍රයට ආවා.

  • මේ ක්ෂේත්‍රයේ  ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි.  ඒ වගේම මට ලොකු ආශිර්වාදයක්. මෙය මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තෑග්ගක් .  මම මේ තැනට එන්න ගොඩාක් කැපකිරීම් කළා. මට මං ගැන ගොඩක් සතුටුයි ආඩම්බරයි.මගේ වෘත්තියට මම ගොඩාක් ආදරෙයි.

  • කාන්තාවක් ස්වාධීන වීම ගැන මොකද හිතෙන්නේ?

කාන්තාවකට  ස්වාධීනත්වය තිබිය යුතුයි.  එය කාන්තාවකට ශක්තියක්. 

  • රුවන් ඉන්න තැන ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මට ගොඩක් ආඩම්බරයි.   සතුටුයි.

  • ඔහුගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි දෙදෙනාම  එකම ක්ෂේත්‍රයේ නිසා  හොඳ අවබෝධයකින් කටයුතු කරනවා.

  • රුවන් ගැන මොකද හිතෙන්නේ ?

අපිට ලැබෙන දේවල් ගැන අපි සතුටු වෙන්න ඕනෑ. ජීවිතයේ  අපිට සීයට සීයක්ම ගැළපෙන දේවල් ලැබෙන්නෙ නැහැ. නමුත් අපි ඒ දේවල් ගළපගෙන ජීවත්වෙන්න ඕනෑ. 

  • බාධක ආවත් සියල්ල විඳගෙන ජිවිතේ විඳින දෙන්නෙක් කිව්වොත් හරිද? 

අපි දෙන්නම ඉස්සර ඉඳලම  කට්ටක් කාලා ආවෙ. අපි හැමෝම එහෙමයි. ඒ දේවල් එක්ක  ජීවිතයට එන  හැමදේකටම  මුහුණ දෙන්න ඕනෑ. අපිට තරගය තියෙන්නෙ අපිත්  එක්කමයි. ඉතිං අපි දෙන්නා ඒ දේවල් ශක්තිමත් කරගෙන.  අපි දෙන්නගේ විශ්වාසය තියාගෙන  දේවල් ගළපගෙන  සතුටින් ජීවිතය ගත කරනවා.

  • ඔබේ කටයුතුයි  විවාහ ජීවිතයයි  කොහොමද සමබර කරගන්නෙ?

මගේ හැමදේකටම  සැලැස්මක් තිබෙනවා. කරන්නම් වාලෙ කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඒ දේවල් පිළිවෙළට කරගන්න පුළුවන් නම්  විවාහ ජීවිතයත් ඒ හා සමානව  ගත කරන්න පුළුවන්. ඒ  වගේම  අපි දෙන්නා සෑම දෙයක් ගැනම  කතාබහ කරගෙනයි වැඩ කරන්නෙ.

  • ඔබේ ප්‍රශ්න විසඳගන්න රුවන් කො‌ෙහාමද උදව් වෙන්නෙ?

බැදීමක්  තුළ තිබිය යුත්තේ  එකමුතුකම. විවාහ ජීවිතයේදී පමණක් නොවෙයි  අනෙක් සෑම  බැඳීමකදීම  එකමුතුකම තිබිය යුතුයි.  ඔහු මගේ ඕනෑම ප්‍රශ්නෙකට ඉදිරිපත් වෙනවා. ඔහු තමයි මගේ එකම ශක්තිය.

  • කොහොමද මෙදා සැරේ නත්තල? 

සාමාන්‍ය විදියට හැමදෙයක්ම කරගෙන යනවා.  ඒ වගේම නැති බැරි අයට පුළුවන් විදියට අපි උදව් කරනවා. අපි වගේම ලස්සනට අඳින්න  කැමති අයට  ඇඳුම් පැලඳුම් අරන් දෙනවා.  කෑම බීම අරන් දෙනවා.  අපි සතුටු වෙනවා වගේම  ඒ අයවත් සතුටු කරවනවා. අර්ථවත් විදිහට නත්තල අපි සමරනවා.

  • නව වසරට සූදානම කොහොමද?

පසුගිය වසර වගේම  අභියෝග මැද  ඉදිරියට යනවා.  නව වසරට  නව අදහස්  අලුත් වැඩ කටයුතු  සමග  හොඳින් මුහුණ දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.. 

  • කාන්තාවන්ට මොනවද කියන්න තියෙන්නේ?

වැටෙන්න එපා .  මට ගොඩක් ප්‍රශ්න, අභියෝග ආවා. කවදාවත් මම වැටුණෙ නැහැ. මම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් වැටෙන්න එපා ශක්තිමත් වෙන්න. අභියෝගවලට මුහුණ දෙන්න. ඉදිරියටම යන්න.

  • බලාපොරොත්තු මොනවද?

මම දේවල් ගැන ඉගෙන ගනිමින් සිටිනවා. මගේ ව්‍යාපාරය දියුණු කරගෙන. හොඳ ව්‍යාපාරික කාන්තාවක් ලෙස සමාජයට හොඳ දෙයක් දෙමින්  දියුණුවෙන් දියුණුවට පත්වෙන්න බලාපොරොත්තුවෙනවා. ඉදිරියේදී  මගේ කාල වේලාව අනුව  හැමදෙයක්ම  සමබර කරගෙන  කලා කටයුත්තකට  සහභාගී වෙන්නත් කැමැත්තෙන් ඉන්නවා. 

 

 

ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්.... Read Previous

ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්....

ලංකා  ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම කාන්තා හඬට සවන්දීමක් Read Next

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම කාන්තා හඬට සවන්දීමක්

Realted Post

Leave a comment