රැජිනට ඇන්ද ගිරාගේ දූ අමන්ද්‍යා උත්පලී

 

ගායනය, රංගනය උපතින්ම උරුම කරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වන්නේ නව පරපුරේ නැගී එන දක්ෂ ගායිකාවක් ලෙසිනි. රූපවාහිනීි තිරයේ සිහිනයකි රෑ, මාත්‍රා යන වැඩසටහන් තුළින් ගීතයෙන් රසිකයින් පිනවන ඇය සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකායේ ද යාවජීව සාමාජිකාවකි. ගායිකාවක ලෙස රසික හදවත් දිනාගත් ඇය මේ වන විිට නවක නිළියක් ලෙස ණැහ සහ නොනිමි ටෙලි නිර්මාණ තුළින්ද මුණගැසෙයි.

 


ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවෙකු වන ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ බාල දියණිය වන අමන්ද්‍යා මේ දිනවල අලුත්ම පිම්මකට ලකලෑස්ති වෙනවා. ඉතින් ගිරා ගේ දූ රැජිනට ඇන්ද කතාව කියන්නයි මේ සූදානම.

 


 අලුත් පිම්මකට ලෑස්ති වෙනවා කියලා ආරංචියි...... 
මගේ තුන්වැනි ගීතය මේ මාසේ 22 වැනිදා එළිදැක්වෙනවා. එය නම් කරලා තියෙන්නේ ‘රැජිනට ඇන්දා’ කියලා. මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි මේක ලියන්නේ මගේ තාත්තා. තාත්තා අවුරුදු ගණනකට කලින් ලියපු වචන ටිකක්. සහන් රන්වල ගුරුතුමා කාලෙකට ඉස්සර තාත්තාට ආරාධනා කරනවා ගීතයක් ලියන්න කියලා. ඒ වෙලාවේ තාත්තා ලියපු ගීතයක් තමයි මේ. මෙය ගීතයක් විදියට එළිදක්වන්න මූලික වුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතායි.


ඔහු දිරිමත් කළේ නැතිනම් මේ ගීතය වෙන්නේ නැහැ. ශිවා අංකල්ට ඒ වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. මෙහි තනු නිර්මාණය කළේ සහන් රන්වල ගුරුතුමායි. සංගීත සංයෝජන කටයුතු සංගීත් වික්‍රමසිංහ මහතායි. ඔවුන් සියලුදෙනාම මගේ ඇරයුම බාරගෙන මුදල් අයකිරීමකින් තොරව හරිම ලස්සනට ගීතය නිර්මාණය කරලා දුන්නා. 

 


 මෙහි රූප රචනය යම් සුවිශේෂත්වයක් ගන්නවා. ඒ ගැනත් කියමු. 
ශිවා අංකල්ගේ දායකත්වයෙන් තමයි ලස්සන රූප රචනයක් කරගන්න පුළුවන් වුණේ. ගීතය පුරාවටම තියෙන්නේ නාට්‍යානුසාරී ස්වරූපයක්. වෙනස් වැඩක් වේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 


 රංගනය පැත්තෙන් කොහොමද වැඩකටයුතු? 
මේ දිනවල ශිවා අංකල්ගේ ණැහ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට දායක වෙලා ඉන්නවා. එහි රූගත කිරීම් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව සුරාජ් මාපා අයියාගේ නොහිමි ටෙලි නාට්‍යයේ සංගීත ගුරුවරියකගේ චරිතයක් කරනවා.

 


 ගායනයට අලුත් නොවුනාට අමන්ද්‍යා රංගනයට අලුත් මුහුණක්. රංගන ගමන ආරම්භ වෙන්නේ තාත්තා නිසාද? 
ඇත්තටම තාත්තා රංගන ශිල්පියෙක් වුණා කියලා අක්කාවවත්, මාවවත් රංගන ශිල්පිනියන් කරන්න කිසිම වෙලාවක උත්සාහ කළේ නැහැ. මම රඟපානවාට තාත්තා කැමැති වුණේම නැහැ.  පුංචි කාලෙත් මම රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. මගේ ලොකුම ආසාව තිබුණේ ගායනයට. මට වැඩි දක්ෂතාවක් තිබුණේ ඒ පැත්තට. හැබැයි මම පාසල් වේදිකා නාට්‍යවල මගේ රංගන දක්ෂතා පෙන්නලා තියෙනවා. ටවර් හෝල් වේදිකා නාට්‍යවලට යොමු වෙලා හොඳම නිළිය ලෙස පවා මම ජයග්‍රහණය ලබලා තියෙනවා. වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණත් තාත්තා මාව රඟපාන්න යැව්වේ වැහැ. තාත්තාගේ ලොකුම හීනය වුණේ මම ගායිකාවක් වෙනවා දකින්න.

 


 දැන් තාත්තාගෙන් අමන්ද්‍යාගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කාහොමද? 
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට කතා කළාම තාත්තාත් මට ලැබුණු අවස්ථාව ගැන පුදුම විදියට සතුටු වුණා. දැන් තාත්තා මම ඉන්න ටෙලි නාට්‍ය නරඹන්නේ හරිම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට තාත්තා කියනවා අපරාදේ ඔයා රඟපාන්න තිබුණේ  මීට කලින් කියලා. මාව හුඟක්දෙනා හොයන්න ගත්තේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයත් එක්ක. හුඟක් ප්‍රේක්ෂක ආදරය මට ලැබෙන්නෙ තාත්තා නිසා.

 


 අමන්ද්‍යා දැන් පූර්ණකාලීනව කලාවට යොමු වෙලාද? 
මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. දැන් රැකියාවෙන් ඉවත් වෙලා කලාව පැත්තට පූර්ණකාලීනව යොමු වෙලා ඉන්නේ. දැනට සංගීත ගුරුවරියක් විදිහට මගේම කලායතනයක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර රංගන කටයුතුවලටත් දායක වෙනවා. විශේෂයෙන් පවුලේ අය, සැමියා සාරංග කළුගල මගේ පිටුපස ඉඳන් මගේ ගමනට ලොකු ශක්තියක් දෙනවා. සැමියාගේ සහයෝගය නොතිබුණා නම් මට මේ ගමන එන්න අමාරුයි.

 


 කොහොමද රන්වල බලකායේ වැඩකටයුතු? 
වසර 2011 සිට මම සහන් රන්වල සර් ඇතුළු රන්වල බලකාය එක්ක වැඩ කරනවා. ජන සංගීතය අරගෙන ලෝකය පුරා යන්න මට වාසනාව ලැබුණේ රන්වල බලකාය නිසා. රන්වල බලකාය කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ.

 


 මොනවද මේ අවුරුද්දේ අලුත් බලාපොරොත්තු? 
ලොකුම බලාපොරොත්තුව තාත්තාගේ චිත්‍රපටිය තිරගත වෙන එක. එහි තේමා ගීතය ඇතුළු ගීත දෙකක් ගායනා කරන්නේ මම.

 


 තාත්තාවත් නැවත සුපුරුදු පරිදි අපිට කලා කටයුතුවලින් දකින්න ලැබේවිද? 
තාත්තා ප්‍රතිකාර කරන්න පටන් අරන් මේ වසර වෙනකොට අවුරුද්දක් වෙනවා. අසනීප වුණාට පස්සේ තාත්තා ටෙලි නාට්‍යවලට නම් දායක වුණේ නැහැ. තාත්තාගේ අසනීප තත්ත්වය දැන් හුඟක්ම සුවයි. 


නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්
හැඩගැන්වීම- දර්ශන පෙරේරා



 

 

ගුරුවරියක් වෙන්න ගිහින්..... Read Previous

ගුරුවරියක් වෙන්න ගිහින්.....

දුරුතු පෙරහර Read Next

දුරුතු පෙරහර

Realted Post