ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි - Chamari Athapaththu

මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය සතියකි. වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වුවත්, එය පිරිමින්ට පමණක් සීමා වූ ක්‍රීඩාවක් යැයි මතයක් පැවතිණි. නමුත් ගෙවී ගිය සතිය නිමාවූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ද ක්‍රිකට් ක්‍රීඩාවට හපනියන් බව ඔප්පු කරමිනි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වූ   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එදාමෙදාතුර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ   ශ්‍රී ලංකාව තැබූ ඉහළම පියවර තැබුවේය.  ඒ පියවර සඳහා වැඩිම දායකත්වයක් දැක්වූයේ කණ්ඩායමේ නායිකාව මෙන්ම තරගාවලියේ වීරවරිය බවටද පත්වූ චමරි අතපත්තු හා අවසන් මහාතරගයේ වීරවරිය බවට පත් වූ හර්ෂිතා මාධවී සමරවික්‍රමයි. මේ ඔවුන් දෙදෙනා ජයග්‍රහණයෙන් අනතුරුව දැක්වූ අදහස් කීපයකි.

  • ඉන්දියාව සමගින් අවසන් මහා තරගයක් ඔබට කොයිතරම් බරක් වුණාද?

ඇත්තටම මම දන්නවා අවසන් මහ තරගය ලේසි වෙන්නේ නැහැ කියලා.මොකද ඉන්දියාව කියන්නේ ඔවුන්ගේ ක්‍රීඩිකාවන් ගොඩක් ලීග් ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඉන්නේ.නමුත් මම හිතන්නේ අද අපි අපට පුළුවන් හොඳම විදියෙන් ක්‍රීඩා  කළේ.

  • ආසියානු කුසලානයක් දින්න නායිකාවක් වශයෙන්  ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

මේක ඇත්තටම කණ්ඩායම ලද ජයග්‍රහණයක්. අපි මේකට පහුගිය අවුරුදු දහයක විතර කාලයක් බලා ගෙන හිටියා.ගොඩක් කැප කිරීම් කළා. අවසානයේ දී අපි ජයග්‍රහණය කළා. මේකට අපිට විතරක් නෙමෙයි අපිට උදව් කරපු හැමෝටම අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ.

  • ඔබ දැවී ගියාට පස්සේ තරගයේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණද? 

ඔව් ඇත්තටම. මම උත්සාහ කළේ තවත් ලකුණු විස්සක් හෝ 30ක් ඉක්මනින් ලබා ගන්න. නමුත් මම දැවී ගියා.නමුත් මට ලොකු විශ්වාසයක් තිබුණා. මගේ අනිත් පිතිකාරිනියන් ජයග්‍රහණයට කණ්ඩායම රැගෙන යයි කියලා. 

මම හිතනවා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි කියලා.

  • තරගයේදී ප්‍රතිවාදී පිතිකාරිනියන්ගේ උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමට අතහැරුණා. නායිකාවක් විදියට මේ වෙලාවේ කොහොම තීරණයක්ද ඔබ ගත්තෙ?

ඇත්තටම මම අපේ කණ්ඩායමේ සෘණාත්මක දේවල් ගැන අවධානය යොමු කරන්නේ නෑ. අපිට කරන්න පුළුවන් දේ ගැන කතා කරල. අපට පාලනය කරන්න පුළුවන් දේ ගැන විතරයි අපි අවධානය යොමු කළේ.

  • ඉදිරියේ දී එන කාන්තා විස්සයි 20  ලෝක කුසලානය ගැන ඔබේ සැලසුම් කොහොමද ?

අපි තරගයෙන් තරගයට තමයි සැලසුම් සකස් කරන්නේ. මේ තරගාවලියට යනවා  නම් අපි  පිතිකරණ, යැවීම හා පන්දු රැකීම අංශ 3ම තවදුරටත් දියුණු කරගත යුතුයි.

  • ඔබ තව කොච්චර කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවද?

 මට පුළුවන් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මම ක්‍රීඩා කරනවා.

  • ඔබගෙන් පස්සෙ ඔබේ වගකීම මේ යොවුන් ක්‍රීඩිකාවන් බාරගනියිද ?

 අනිවාර්යයෙන්, හර්ෂිතා ,කවීෂා ,විශ්මි ගුණරත්න කියන්නෙ ඉතාම දක්ෂ යොවුන් ක්‍රීඩිකාවො. ඔවුන් වගේම ඉන්න අනිත් යොවුන් ක්‍රීඩිකාවොත් මගෙන් පස්සේ හොඳට ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.මම හිතනවා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි කියලා.

  • සටහන - ඕෂිත වරකාපිටිය

හිත හැංගුවාම පවුලට වෙන විනාශය Read Previous

හිත හැංගුවාම පවුලට වෙන විනාශය

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment