ලෝකෙට අපේ වටිනාකම වැඩියි - Anjana Dilshani

වසර කිහිපයකට පෙර  නිරූපිකාවක් ලෙස  කලා ක්ෂේත්‍රයට පැමිණි  ඇය මේ වන විට  වෙළඳ දැන්වීම්  සඳහාද  රංගනයෙන් දායක වී  තිබෙනවා. ඇය  අංජානා දිල්ෂානි.   අපි සූදානම  ඇයගේ  තොරතුරු බිඳක්  ඔබට ගෙන ඒමටයි.

  • කවුද මේ අංජානා?

මම නිරූපණ ශිල්පිනියක්.  වසර අටක කාලයක්  මේ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. නමුත්  කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න මග පෑදෙන්නේ නර්තනයෙන්. මේ වනවිට රංගනය සඳහාද යොමුවී තිබෙනවා.

  • පවුලේ විස්තර මොනවද?

මම විවාහකයි.  මගේ සැමියා ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම මගේ පවුලේ  අම්මයි තාත්තයි  අයියලා දෙන්නයි මල්ලියි සිටිනවා.

  • හොඳ නිරූපණ ශිල්පිනියක් වෙනවා කියන්නේ අභියෝගයක් නේද?

ඔව් අනිවායෙන්. මෙම ක්ෂේත්‍රයේ කාන්තාවන් දිහා මිනිසුන් බලන්නේ පටු විදිහට. ඒ අපේ  සමාජ සංස්කෘතිය  හැඩගැසී තිබෙන  පිළිවෙළ නිසයි. මේ අත්දැකීම  මට ගොඩක් ලැබී තිබෙනවා.  නිරූපණය  කියන්නේ  කෙනෙකුගේ දක්ෂතාවක්. ඒ දෙය හැම කෙනෙකුටම කරන්න බැහැ. එයත් එක්තරා වෘත්තියක්. අපේ රටේ  සංස්කෘතියත් එක්ක ඒ දේවල් කරන්න අමාරුයි.  සමහර අය  විලාසිතා කරන්න කැමතියි. නමුත්  ඒ දේවල් කරන්න බෑ අපේ රටේ තිබෙන සමාජ මතයන් එක්ක. මම නිරූපණ ක්ෂේත්‍රය තෝරා ගනිද්දීත්  අපේ ගෙදරින්  විරුද්ධ වුණා.  ඊට පස්සේ එයාලම තේරුම් ගත්තා මේ දේ වැරදි දෙයක් නෙමෙයි කියලා. නිරූපණ ක්ෂේත්‍රයෙන් පවා  හොඳ දේවල් කරන්න පුළුවන්. සමහර අය ගන්න වැරදි තීරණ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන් හැමෝටම  චෝදනා කරන එක වැරදි. විදේශ රටවල  නිරූපිකාවන් සඳහා විශාල වටිනාකමක් ගෞරවයක් හිමිවෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. නිරූපණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තරයේදිත්  වටිනාකමක් ලැබෙනවා.

  • මේ ක්ෂේත්‍රයේදී අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවුණාද?

නිරූපණ ක්ෂේත්‍රයේදී එවැනි අපහසුතාවලට මුහුණ දුන්නේ නැහැ.  එහිදී  රූපලාවන්‍ය ශිල්පීන් සමගයි වැඩ කළේ. නමුත් රංගනයට දායක වෙන්න ලැබුණු අවස්ථාවලදි  එවැනි තත්ත්වලට මුහුණ දෙන්න සිදු වූ  අවස්ථා තිබුණා. ප්‍රවීණයන් ලෙස සලකන සමහර අය ඔවුන්ගෙ අවශ්‍යතා සපුරාගන්න පමණක්  අපිට අවස්ථා ලබාදෙන්න සූදානම්. ඒ අවස්ථාවලදි මට සිදුවුණා ඒ ලැබෙන අවස්ථා ප්‍රතික්ෂේප කරන්න. 

  • ගැහැනු ළමයෙක් නිරූපණ ක්ෂේත්‍රයට එන්න කලින් සූදානම් වෙන්න ඕනෑ කොහොමද?

අපි නිරූපණ ක්ෂේත්‍රයට එනවිට තිබුණු වාතාවරණය නෙමෙයි දැන් තිබෙන්නෙ. ලොකු තරගකාරීත්වයක් තිබෙනවා. මුලින්ම සමාජය ගැන ලොකු දැනීමක් තිබිය යුතුයි. ඒ වගේම ක්ෂේත්‍රය පිළිබඳව පියවරෙන් පියවර ඉගෙනගත යුතුයි. නැත්නම් කරන්නම් වාලෙ කරලා මඟදි  අත්හැරගන්න වෙයි. තමන්ගෙ ගෞරවය රැකගෙන තමන්ට ගැළපෙන දෙය තෝරාගන්න හැමවෙලාවෙම සිහි තබාගන්න ඕනෑ. 

  • නිරූපණය පෞද්ගලික ජීවිතයට ප්‍රශ්නයක් වුණේ නැද්ද 

විවාහ ජීවිතයට ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ ක්ෂේත්‍රය මුලික කරගෙන ප්‍රශ්න ඇතිකරන්න බලාගෙන සිටින පිරිසක් සිටිනවා. අපි දෙදෙනා අවබෝධයෙන් වැඩකටයුතු කරන නිසා අපි අතර ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.

  • ඉදිරි බලාපොරොත්තු මොනවද ? 

ක්ෂේත්‍රයෙන් තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගනයෙන් ලස්සන නිර්මාණ සඳහා දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මට මගේම ව්‍යාපාරයක් තිබෙනවා. අලුත් වසරේ එය තවත් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.'

 

මිලින වූ ආදරයේ සැනසුම සොයා..... Read Previous

මිලින වූ ආදරයේ සැනසුම සොයා.....

19වන ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුභපතයි. Read Next

19වන ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුභපතයි.

Realted Post

Leave a comment