ශ්‍රී ලංකා දුම්රිය සේවය රකින තොටිල්ල පදවන අත්

 

ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක සේවය 1946 සැප්තැම්බර් 23 දා ඇරඹුණු අතර මෙවර සමරන්නේ එහි 76 වන සංවත්සරයයි. 


දුම්රියෙන් ප්‍රවාහනය කරන බඩු බාහිරාදිය විවිධ ප්‍රදේශවලදී මංකොල්ල කෑමත් සමග එවකට පැවැති රජයේ ප්‍රවාහන හා වැඩ ඇමැති ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් බි්‍රතාන්‍ය හමුදාවේ සේවය කළ කර්නල් හැරල් වැලන්ගස්බර්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුදාවේ සේවා මුක්ත භටයින්, නිලධාරීන් ඇතුළු 125 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකින් ලංකාවේ පළමු දුම්රිය ආරක්‍ෂක සේවය ආරම්භ කළේය. 
ඉන්පසු 1952 වසරේදී එවකට දුම්රිය සාමාන්‍යධිකාරී වූ බී.ඩී රම්පාල මහතාගේ කාලයේ හමුදා නිලධාරීන් නොවන සිවිල් පුද්ගලයන් දුම්රිය ආරක්ෂක සේවයට බඳවා ගැනීම ආරම්භ විය. එම වසරේ දී 12 දෙනකු බඳවා ගත් අතර එහිදී ‘ආරක්‍ෂක’ යනුවෙන් හැඳින් වූ පහළම තනතුරකට බැඳී සිටි එස්.ඩී. පියදාස මහතා වසර 36ක් සේවා කාලයකින් පසුව ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී ලෙසින්ද කටයුතු කිරීම විශේෂත්වයකි.
මෙවර සිරිකත කවරය සැකසෙන්නේ දුම්රිය ආරක්‍ෂක සේවයේ නියුතු නිලධාරිනියන් තිදෙනකුගේ රුවෙනි. 

කාන්තා නිලධාරිනියන් බඳවාගන්නේ යුද්ධය තිබුණු කාලයේදී 
ඕ.කේ. ලලිත් කුමාර (LLB) සහකාර ආරක්‍ෂක අධිකාරි (අපරාධ නිවාරණ)

වසර 1952න් පසුව 1955 වර්ෂයේ බඳවාගත් සිවිල් පුද්ගලයන් 16 දෙනාත් ඇතුළු කණ්ඩායම් දෙකටම දියතලාව යුද හමුදා කඳවුරේදී හමුදා පුහුණුවත් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උප පොලිස් පරීක්‍ෂක කණ්ඩායමක් සමග පොලිස් පුහුණූව ලබාදීම විශේෂත්වයක්. 


දුම්රිය ආරක්‍ෂක සේවය තුළින් සාමාන්‍ය ජනතාවට ඉටුවන්නේ මිල කරන්න බැරි සේවයක්. එය ඉතා නිහඬ සේවයක්. මොකද 1968 වසරේදී දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ලෙස කටයුතු කළ බී.ඩී. රම්පාල මහතාගේ කාලයේදී නැවත මෙම ආරක්‍ෂක අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දීය ජාතිකයකුගේ සහභාගිත්වයෙන් යුතුව අග්‍රා කොමිසම පත්කර එහි නිර්දේශත් ක්‍රියාත්මක කළා. ඒ අනුව සහකාර ආරක්‍ෂක අධිකාරී, උප පරීක්‍ෂක, සැරයන්, ආරක්‍ෂක, උප ආරක්‍ෂක ලෙසින් පොලිසියේ හා හමුදාවේ සේවයේ සිටි පිරිසකගෙන් සහ සිවිල් පුද්ගලයන්ගෙන් සමන්විත නිලධාරීන් 300ක් බඳවා ගත්තා. 


ඇත්තටම දුම්රිය ආරක්‍ෂක සේවයට ත්‍රස්ත ආරක්‍ෂක නිලධාරින්ගේ අවශ්‍යතාව ඉතාම තදින් දැනුණු කාලයක් තිබුණා. ඒ තමයි රටේ යුද්ධය පැවැති කාලය ඒ අනුව තමයි 2001 වසරේ ත්‍රස්ත අරක්‍ෂක නිලධාරිනියන් 60ක් බඳවා ගන්නේ ඉන්පසු දුම්රිය අධිකාරියේ මැදිහත්වීමෙන් නැවතත් 2020 වර්ෂයේ තවත් 22ක් බඳවා ගත්තා. ඒ වගේම දුම්රිය ආරක්ෂක සේවය ප්‍රතිව්‍යුහගත වී දුම්රිය ආරක්‍ෂක හමුදාව බවට පත්වුණේ 1988 වසරේදී.

 


මේ වෘත්තිය රැකියා කීපයක එකතුවක් 
දුම්රිය ආරක්ෂක නිලධාරිනී චතුරිකා ප්‍රියදර්ශනි 
කළුතර පදිංචි ඇය දෙදරු මවක්. ඇයගේ සැමියා පවිත්‍රා නිරෝෂන වීරසිංහ විධායක නිලධාරියකු ලෙස රැකියාවේ නිරතවෙනවා. 
මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ යශෝදරා බාලිකාවේ. පාසල් කාලයේ සිටම ක්‍රීඩාවට ගොඩක් කැමැත්තෙන් හිටියා. මම ජාත්‍යන්තර  ක්‍රීඩා තරගවලට පවා සහභාගී වුණා. 2008 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මිටර් සියය රන් පදක්කම පවා දිනාගත්තා මේ කාලයේ තමයි මම දුම්රිය අරක්‍ෂක නිලධාරිනියක් ලෙස සේවයට එකතු වන්නේ. 


අපි කරන මේ වෘත්තිය හරියට රැකියා කීපයක් එකතුවක් වගේ. අපි දුම්රිය ආරක්‍ෂා කරනවා. මඟීන් ආරක්‍ෂා කරනවා. ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂා කරනවා. ලිපි ලේඛන සම්බන්ධව වැඩ කරනවා ඇත්තටම ඒකාකාරී නැහැ. තෘප්තිපත් රැකියාවක්. 


ප්‍රවේශපත්‍ර නොගෙන ගමන් කිරීම, තෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයකින් දෙවැනි පන්තියේ ගමන් කිරීම, කාන්තා හිංසනය සේම ගැට කැපීම වැනි සිදුවීම්වලට අපි නිරන්තරයෙන් මුහුණ දෙනවා. 
චතුරිකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වී වසර දහයක් පමණය. 

 

ප්ලැට්පෝම් එකට ගියාම අපේ ප්‍රශ්නත් අමතක වෙනවා 
ආකර්ෂක නිලධාරිනී ගයනි සංජිකා 
පානදුර අගමැති බාලිකාවේ අධ්‍යාපනය ලැබු ගයනි සංජිකා ද පානදුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අතර උතුර2 කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ලෙස කටයුතු කරන අසිත සුරවීර ඇයගේ සැමියා ය. 


“මම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට එකතුවන්නේ සහායක තාක්ක්‍ෂණ නිලධාරිනියක ලෙසයි. ඉන්පසුව තමයි දුම්රිය සේවය ඇතුළෙන්ම සම්මුඛ පරීක්‍ෂණයකට මුහුණ දීලා දුම්රිය ආරක්‍ෂක නිලධාරිනියක් ලෙස එකතුවන්නේ, ඇත්තටම මේ රැකියාව හරිම තෘප්තිමත් මහජනතාව එක්ක අපට නිරන්තරයෙන්ම කටයුතු කරන්න වෙනවා. ඒ නිසාම තමයි මම මේ රැකියාව තෝරාගන්න ප්‍රධානම හේතුව. ප්ලැට් පෝම් එකට ගියාම සමහර වෙලාවට අපිට අපේ ගෙවල්වල තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා. 


අපි අද ලබන අත්දැකීම් නෙවෙයි හෙට ලබන්නේ. ඒ තරම් විවිධයි. දවසක් මම වේදිකා රාජකාරිවල හිටියා. පුදුම තදබදයක් ස්ටේෂන් එකේ තිබුණේ. ඒ අතර එක අම්මා කෙනෙක් දරුවන් වඩාගෙන යනවා. දරුවා කෑ මොර දිදී අඬනවා. ඒ අම්මා දරුවාට කිරි දුන්නාට මට තේරුණා බබා නළවාගන්න බැහැ කියලා. මට තේරුණ අම්මට කිරි නැහැ කියලා. ඒ වෙලාවේ මටත් හිතාගන්න බැරි වුණා. මම ළඟට ගිහින් ඇයි කියලා ඇහුවාම තමයි දැනගත්තේ ඒ අම්මගේ අතේ තිබිලා තියෙන්නේ ටිකට් එක ගන්න සල්ලි විතරයි කියා දරුවට කිසිම දෙයක් කන්න අරන් දෙන්නවත් සල්ලි නැහැ. 
ඒ වෙලාවේ මගේ අතෙත් ලොකු මුදලක් තිබුණෙ නැහැ. මොකද ප්ලැට්පෝම් රාජකාරීවලට යන කොට අපිත් එහෙම මුදලක් ගෙනයන්නේ නැහැ. නමුත් මම පුළුවන් විදියට ආහාර සහ මුදලක් ඒ අම්මට දුන්නා. ඒ සිදුවීම නම් මට කවදාවත් අමතක කරන්න බැහැ.’ 

අපේ රාජකාරිය දිහා වැරදි විදයට බලන කොටසක් ඉන්නවා. ඒත් අපි හදවතට  එකඟව රාජකාරිය කරනවා නම් ගැටලුවක් නැහැ. පසුගිය කොරෝනා කාලයේ මගේ මහත්තයාට ගෙදර එන්නවත් නිදහසක් තිබුණේ නැහැ අසීරුම කාලයක්. මගේ මවුපියන්, මහත්තයාගේ පවුලේ අය තමයි හැමදේම කළේ ඒත් අපි රාජකාරිය පැහැර හැරියේ නැහැ.
අපි වැඩිපුරම වැඩ කරන්නේ පිරිමිත් එක්ක. හැබැයි අදවනතුරුම කිසිම අයුරකින් බලපෑමක් වෙලා නැහැ. මේක අපේ යුවතියන්ට අභිමානයෙන් කළ හැකි රැකියාවක්. 

 

ගැහැනු ළමයකුට සුදුසුම රැකියාවක් 
ආරක්ෂක නිලධාරිනී ඉසුරිකා සෙව්වන්දි 
බේරුවල ප්‍රදේශයේ පදිංචි ඉසුරිකා සෙව්වන්දි ද දුම්රිය ආරක්ෂක සේවයට එක් වූ කාන්තාවකි. ඇයගේ සැමියා බුද්ධික ඔෂාන් සේවය කරන්නේද දුම්රිය දෙපාර්තමේන්තුවේය. ඇයද දුම්රියට  දෙපාර්තමේන්තුවට එක්වීමෙන් පසුව සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වී ආරක්‍ෂක සේවයට එක්වූ නිලධාරිනියකි. 


“අපිට මේ රැකියාව කරන්න සිදුවෙලා තියෙන්නේ මගින් එක්කමයි. වෙලාවකට ටිකට් පරික්‍ෂා කරනවා. මගීන්ට වඩා අසාධාරණ ක්‍රම සොයා බලනවා. ඇත්තටම අපි හැමවෙලාවකම අවධානයෙන් සිටිය යුතුයි. මොකද කොයි මොහොතේ හෝ යම් සිදුවීමක් වේවිද කියා හිතාගන්න  බැහැ අපේ රාජකාරියත් පොලිසියට සමානයි.”

දුම්රිය ආරක්‍ෂක සේවයට පැය 24 පුරාම විසිරි තිබෙන රැකියාවකි. පැය අටක් පමණක් වැඩ කිරිම පුරුදුව සිටින බොහෝ දෙනකුට මෙම  රැකියාව අරුමයකි. 
මගේ මහත්තයත් දුම්රිය සේවයේ නිරත නිසා ගැටලුවක් නැහැ. මොකද මේ රැකියාවේ ස්වභාවය ඔහු අවබෝධ කරගෙන තිබෙන නිසා ඔහුගෙන් වගේම දෙදෙනාගේම මවුපියන්ගෙනුත් සහයෝගය ලැබෙනවා. ඇත්තටම මේක ගැහැනු ළමයෙකුට සුදුසු රැකියාවක්. දුම්රිය දෙපාර්තමේන්තුවට ආවේණික දුම්රිය අඥා පනතට අනුව තමයි අපි කටයුතු කරන්නේ. පොලිසිය වගේම උසාවි කටයුතුවලට පවා අපිට යොමුවන්න සුදුවන අවස්ථා තිබෙනවා. 


දුම්රිය ආරක්‍ෂක සේවයේ නිරත නිලධාරිනියකට, නිලධාරියකුට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඕනෑම ආයතනයකට අවසර නැතිව වුවත් ඇතුළුවීමට බලතල ඇත. කොහෝ හෝ වැරැද්දක් සිදුවෙනවා නම් එම ලිපි ලේඛන පවා ලබා ගැනීමට බලතල ඇති බව ඉසුරිකා පවසනවා. 


ඇත්තටම අපේ ඇඳුමත් පොලිස් නිල ඇඳුමට යම් සාමානකමක් තිබෙනවා. බන්ධනාගාර නිලධාරිනියන්ගේ ඇඳුමත් මෙයට සමානයි. 


දුම්රිය සේවය තුළ සිදුවන අනවසර වෙළෙඳාම බොහෝ මඟීන්ට හිරිහැරයක් වුවද එය  නතර කිරීම තරමක් අපහසු කාර්යයක්. ඔවුන්ගෙන් මඟීන්ට සිදුවන පීඩා පිළිබඳව ඉසුරිකා පැවසුවේ මෙවන් අදහසක්. 


“දුම්රිය ඇතුළෙ වෙළෙඳාම් කරන්න බැහැ. හුඟක් වෙළෙන්දෝඅපි ඉන්න වෙලාවට වෙළෙදාම් නොකර මගියෙක් විදියට ඉන්නවා. අපි බැහැලා ගියාම එතැන් සිට වෙළෙඳාම් කරනවා. ටිකට් එකක් අරගෙන වෙළෙදාම් කරන අයත් ඉන්නවා. එක් පැත්කතින් මඟීන්ට හිරිහැරයක්. සමහරු පැතිවල වෙළෙන්දන්ට තේරුම් කර දෙන්නත් බැහැ අපිටත් තර්ජනය කරනවා.”


සුජිත් ප්‍රසංග


 

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Previous

පොලිසියත් එක්ක බත්කන ගිරවා

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment