සජිත දේශපාලනයට?

රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ක්ෂේත්‍ර රැසක නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් නිමා නොවන හීන පසුපස යමින් ජීවිතය සාර්ථකත්වයට රැගෙන යන දක්ෂ සොඳුරු තරුණයෙක් වන සජිත අනුත්තර ඇන්තනි සමගයි මේ කතාබහ.

  • මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මගේ චිත්‍රපට දෙකක් තිරගත වෙමින් පවතිනවා. සිහින සමීකරණ සහ සිංහබාහු. ඒ වගේම පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයද විකාශනය වෙමින් පවතිනවා. එකම කාල පරාසයක වැඩිම නිර්මාණ ප්‍රමාණයක් විකාශනය වූ කාලවකවානුවක් තමයි මේ.

  •  සිහින සමීකරණ චිත්‍රපටිය සහ එහි චරිතය  ඔබට දැනෙන්නේ කොහොමද?

සිහින සමීකරණ සජිත  හේරත් අධ්‍යක්ෂකවරයාගේ කුලුඳුල් නිර්මාණයක්. මෙහි රූගත කිරීම් සිදු කළේ වසර හතරකට පෙර. මගේ චරිතය එදිනෙදා ජීවිතයේ පැනනැගෙන ගැටලු සමග වෙනස් වන චරිතයක්. රිද්මි, විසල් ආදර කතාව සිහින සමීකරණ තුළින් දැක ගන්න පුළුවන් ලස්සන ආදර කතාවක්.  ජීවිතය නැමැති සංකීර්ණ සමීකරණය විසඳගන්න ආදරේ නැමැති ඒකකය එකතු වුණොත් කොතරම් දේවල් වෙනස් කළ හැකිද? සිහින සමීකරණ චිත්‍රපටයේ එන ආදර කතාව තුළින් ඒ පිළිබඳව මනාව පිළිබිඹු වෙනවා.

  • පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ චරිතය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වීමට මූලිකම හේතුව වුණේ එහි අධ්‍යක්ෂකතුමා. එතුමා තමයි මගේ පළමු වන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා. ඒ වගේම එතුමා මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙනගියා. ඒ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍ය තුළින්. මෙම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ශිව ගුරුනාදන් මහතා. තරුණ රචකයෙක්ගේ තරුණ අදහස් තුළින් ලියවුණු නාට්‍යයක්. වෙනස්ම චරිතයක්. මෙම ටෙලි නාට්‍යයේ හොඳම අවස්ථාවන් ඉදිරියේදී බලාගන්න පුළුවන්.

  • නිරූපණය කළ චරිත අතරින් ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම කතාබහට ලක් වූ චරිතය කුමක්ද?

සිනමාව තුළින් වැඩිම කතාබහට ලක් වූයේ සූරිය අරණ චිත්‍රපටයේ ටිකිරා. චිත්‍රපටය ඒ කාලයේ වැඩිපුරම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු චිත්‍රපටියක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය නම් නාඩගංකාරයෝ ටෙලිනාට්‍යයේ සරාගෙ චරිතය ප්‍රේක්ෂකයන් අතර වැඩිපුර කතාබහට ලක් වූණා. අදටත් මට සරා යන නමින් ආමන්ත්‍රණය කරන පිරිස් බොහෝ සිටිනවා.

  • කලා ක්ෂේත්‍රයට ඔබගේ පියා දුන්නු මෙහෙවර ඔබට දිය හැකිද?

කොහෙත්ම බැහැ. ජැක්සන් ඇන්තනී කියන කලාකරුවා කරපු ඒ වැඩ කොටස මට නම් කරන්න බැහැ. අනුකරණයකින් තොරව ප්‍රතික්ෂේප කිරීමකිනුත් තොරව මම ඔහුව අතික්‍රමණය කරාවි යැයි අප්පච්චි බලාපොරොත්තු වුණා. කුමන අංශයකින් හෝ වේවා අප්පච්චි ගිය දුරට වඩා දිගු දුරක් මම ගමන් කරාවි යැයි අප්පච්චි බලාපොරොත්තු වුණා. මම ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. එහෙම මිසක කවදාවත් මට අප්පච්චි වගේ වෙන්න බැහැ.

  • කාර්යබහුල ජීවිතයත් සමග පුංචි පුතාව මගහැරෙන්නේ එහෙම නැද්ද?

මට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. අපි කුඩා කාලයේත් අම්මයි අප්පච්චි දෙන්නම කලා කටයුතු සමග කාර්යබහුල වුණා. ඒ දේවලුත් සමග අප ගත කරන කාලය අඩු වුණත් ඒ ලැබෙන සුළු කාලයේ දි ඔවුන් දෙපළගේ ආදරය පිරී ඉතිරී ලැබෙනවා. එම නිසා ඔවුන්ගේ එම ආදරය රැකවරණයේ අඩුපාඩුවක් අපට දැනුණේ නැහැ.
ඔබගේ කලා කටයුතුවලට බිරිඳගෙන් සහයෝගය ලැබෙනවද?
අපි එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා. දෙන්නගෙම වැඩකටයුතු වලට සහයෝගය ලබා දෙනවා. මේ දවස්වල මගේ බිරිඳ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා සිටිනවා. මගේ කලා කටයුතු නිසා මට මෙහෙ ඉන්න වෙලා තිබෙනවා. අපි රටවල් දෙකක ජීවත් වුණත් අපිට මුණගැහෙන්න කුමක් හෝ හේතුවක් සොයාගන්නවා. එවැනි මුණගැසීම් සුන්දරයි. ඉඳහිට හමුවන විටත් සුන්දරත්වයක් තිබෙනවා. ඒ වගේම ආදරයත් අලුත් වෙනවා. අපි දෙදෙනාගෙම අරමුණ එකක් වුණාම ජයග්‍රාහී සතුටක් ඇති වෙනවා.

  • අයියයි අක්කයි සමග තිබෙන සහයෝගය සහ බැඳීම ගැනත් කතා කරමු?

අප්පච්චි හා සමානව ඔවුන් හැමෝම මාව විශ්වාස කරනවා. පවුලේ බාලයා ලෙස නොව වැඩිමහල් කෙනා විදියටයි මට සලකන්නේ. පවුලේ සෑම වැඩ කටයුත්තකදීම මුල් තැන දෙන්නේ මට. ඔවුන්ගේ ආදරය සෙනෙහස මට හැමදාම ලැබෙනවා. ඒ ඔවුන් වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටිනවා.

  • මේ ආපු ගමන්මග ගැන තෘප්තිමත්ද?

ඔව්. ඒ වගේම මම හීන දකින්න ආසයි. රෑට රෑට මට හීන පෙනෙනවා නෙමෙයි මම හීන බලනවා. මම බලන ඒ හීන මගේ නිර්මාණ තුළින් සැබෑවීම ඔබත් දකිනවා. මගේ ජීවිතයේ සෑම සිද්ධියක්ම මම බලන හීන. මම හීන බලන එකේ සීමාවක් නැහැ. දැනට සැලසුම් කරලා බලපු හීන සැබෑ වෙලා තිබෙනවා. නමුත් තව ගොඩාක් හීන ඉතුරුයි. දැනට තෘප්තිමත්. නමුත් කවදාවත් තෘප්තිමත් වන ගමනක් නොවෙයි අපි මේ ගමන් කරන්නේ. මේ ජීවිතයේ අවසානය දක්වාම හීන බලන්නයි මගේ බලාපොරොත්තුව.

  • අනාගත බලාපොරොත්තු?

මහ පොළොවේ අපි වෙනුවෙන් වෙන්වුණු තැන වෙනුවෙන් ණය ගෙවන්න ඕනේ. අපේ රට ජාතිය වෙනුවෙන් යමක් කරමින් පවුල වෙනුවෙන් යමක් කරන්න ඕනෑ. මගේ අප්පච්චි මට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව රට මගෙන් බලාපොරොත්තු වෙන දෙය මගේ බලාපොරොත්තු බවට පත් කරගෙන ඒ වෙනුවෙන් සටන් කරන්න මම සූදානම්. මම පුරුදු පුහුණු වන ක්ෂේත්‍ර තුළින් ඉහළම තලයකට යන්නයි මගේ බලාපොරොත්තුව. 

  • ඒ කියන්නේ රට හදන්න ඔබ දේශපානයටත් එන්න අදහසක් තියෙනවාද?

අනේ නැහැ. එහෙම අදහසක් නැහැ.

 Pic By - INDIKA MALLAWARACHCHI

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Previous

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Next

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

Realted Post

Leave a comment