සාමයේ කුමරු වැඩිය අසිරිමත් නත්තල
නත්තල මුළු ලොවටම සාමය හා සතුට ලබාදෙන ආශිර්වාදාත්මක හැඟීමකි. එකිනෙකාට ප්‍රේම කිරීම කරුණාව දයාව දැක්වීම කිතුනු දහමේ ද පරම අරමුණයි. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මෙලොවට එවනු ලබන්නේ පාපය පසුපස යන්නා වූ මිනිසුන්ව ඒ පවින් මුදවා ස්වර්ගයට යන දොර විවර කර දීම සඳහාය. ඒ වගේම දෙවියන් වහන්සේ තමන්ගේ ආදරණීය පුත්‍රයාව රාජසම්පත් ඇති ස්ථානයක උප්පත්ති දීමට හැකියාව තිබියදීත් ඇයි ජේසුස් වහන්සේ දුගී මඩුවක උපත ලැබුවේ? ඒ දුප්පත් දුර්වල මිනිස්සුන් අතර ඉපදී ඔවුන්ට යහපත කියාදීමට ය. වර්තමානය වන විට නත්තලේ සැබෑ අරුත වටහා ගැනීමට නොහැකි වූ මිනිස්සු බාහිරින් පෙනෙන දේවල්වලින් පමණක් නත්තල සැමරීමට පුරුදු වී සිටිති.
- නත්තලේ සැබෑ අරුත කුමක්ද ?
ජේසුස් වහන්සේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස අප අතරට පැමිණෙන්නේ මනුස්සයාට තිබෙන ආදරය නිසයි. සමහර උසස් පෙළැන්තිවල මිනිසුන් තමන් ගැන පමණක් සිතමින් කටයුතු කරනවා. ඔවුන් දුර්වල අසරණ මිනිසුන් ගැන සිතන්නෙ නැහැ. නත්තලේ සැබෑ අර්ථය ඔවුන් විඳින්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ඉපදී එම මිනිසුන් වෙනුවෙන් සමාජයේ ඇති හෙළාදැකීම් දුරුකර ගරුත්වයක් ඇති කළේය. බොහෝ අය තමන්ගේ ගරුත්වය වෙනුවෙන් මනුෂ්‍යත්වය පහළට දමනවා. දුප්පත් පොහොසත් වශයෙන් මිනිසුන් කෙතරම් උස් පහත් කරනවාද? සමහර අය දුගී දුප්පත් මනුස්සයා දෙස බලන්නේ සතා සිවුපාවා දෙස බලන ආකාරයට. එය කෙතරම් අකාරුණික ක්‍රියාවක්ද? ජේසුස් වහන්සේ දුප්පත් මනුස්සයා අතර ඉපදුණේ ඔවුන්ව ඉහළින්ම ඔසවා තැබීමට. ඉතිං අපේ යුතුකම එවැනි දුගී අසරණ මිනිසුන් අතරට ගොස් ඔවුන්වත් තමන්ගේ උසස් මට්ටමට තැබීමයි. නත්තල යනු එලෙස ලෝකයම වෙනුවෙන් සියලුම මනුස්සයන්ට කරුණාව දයාව එකසේ ලබාදීමය. මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිවුපාවාටද ආදරය කරුණාව දැක්විය යුතුයි.
ඒවගේම නත්තලේදී දීම සහ බෙදා ගැනීම යන සංකල්පයට මුල්තැන දිය යුතුය. අපි යමෙකුට ඇඳුමක් තෑගි කරනවා නම් තමන් අඳින පලඳින විදිහටම ඒ අයටත් ලබා දිය යුතුයි. ආහාරයක් ලබා දෙනවා නම් අප කන බොන ආකාරයට රසවත් ආහාර වේලක් ලබා දිය යුතුය. අප යම්කිසි දේවල්වලින් සතුටු වෙනවා වගේම ඒ අයත් මේ දේවල්වලින් සතුටු වෙන්න කැමතියි. එම නිසා සෑමවිටම අපි සතුටු වන්නේ කොයි විදිහටද, ඒ අයටත් ඒ විදිහටම සතුට ලබා දිය යුතුයි. එවිටයි නත්තලේ සැබෑ අරුත සමාජය තුළ පැතිරෙන්නේ.
- නත්තල විකුණන භාණ්ඩයක් නොවෙයි
නත්තලද බොහෝ අය වාණිජකරණය කරගෙන ඇත. අද බොහෝ දෙනෙක් වෙළඳ භාණ්ඩවලින් නත්තලේ සතුටු සමරන්න පුරුදු වී සිටිනවා. සමහර වෙළෙඳ ස්ථානවල නත්තල් සීයා වෙළෙඳ සංකේතයක් බවට පත්වී තිබෙනවා. නත්තල් සියා ලෙස අමතන්නේ ශුද්ධ වූ නිකුලස් පියතුමාටය. එතුමා ඉතා ධනවත් පුද්ගලයෙකි. තමන්ගෙ පියාගෙන් උරුම වූ ධනය රහසිගතව දුප්පතුන් වෙත බෙදා දී ඇත. නමුත් අද සිටින නත්තල් සීයලා වෙළෙඳ සංකේත වෙමින් සමහර වෙළඳුන්ගේ බාල වෙළෙඳ භාණ්ඩ විකිණීමට උදව් දෙනවා ඇත. තවත් සමහරු තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා නත්තල් සියා චරිතය අවභාවිත කරයි. ඇයි අපි මෙවැනි ක්‍රියාවලට සහාය දක්වන්නේ. අපිට හැකියාව තිබිය යුතුයි අන් අයව යහපත් මාර්ගයට ගැනීමට. එයයි නත්තලේ සැබෑ අරුත.
ඒ වගේම මොහොතක සතුට උදෙසා මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දෑ භාවිත කර මනුෂ්‍යත්වය පාවා දෙන්න එපා. අන් අයගේ ජීවිතවලට හානි නොවන පරිදි තමන්ගේ සතුට භුක්ති විඳිමින් නත්තල නිසි ආකාරව සමරන්න.
අපගේ සිත් තුළ පාපී සිතුවිලි ඉවත් වී හොඳ සිතුවිලි හටගෙන තිබෙනවා නම්, අපේ හදවත් තුළ ක්‍රිස්තුස්වහන්සේ සදාකල් රැඳී සිටිනවා.
Leave a comment