සුන්දර රූ සපුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය....වෘත්තියෙන් වෛද්‍යවරියක් වුවත් නර්තන විෂය ධාරාවෙන් දෙස් විදෙස් නම රැන්දු ඇය Udumbara Sevwandi Kumari ....

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇයට නර්තනයටද ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි.  වෛද්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති ඇය නර්තනය ඔස්සේ ද ලැබූ ජයග්‍රහණ බොහෝය.. ඇය නමින් උදුම්බරා සෙව්වන්දි කුමාරි ය.  ඇය සමගයි මේ කතාබහ.

  • ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක්. මුලින්ම ඒ ගැන කතා කරමු.                                     

මම උසස් පෙළින් පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය  උපාධිය ලබා ගැනීමට සමත් වුණා.  ශ්‍රී ලංකා ජාතික රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක් ලෙසින් වෘත්තීය ජීවිතේ ආරම්භ කරන්න භාග්‍යය ලැබුවා. මගේ පළමු පත්වීම ලැබුණෙ ඇල්පිටිය මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයට. හුස්ම නොවැටෙන, හදවත් පණ නොගැහෙන ළපටි බිලිඳුන්ට කෘත්‍රිම ශ්වසනය දීල ජීවිතය යළි ලබාදී ඔවුන් බේරාගත් සොඳුරු අවස්ථා බොහෝමයක් මගේ ගෙවුණු වසර කිහිපය පුරා ලබන්නට මම වාසනාවන්ත වුණා කියලා විශ්වාස  කරනවා.

  •  ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්?                   

ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම නර්තනයට සහජ දක්ෂතා පෙන්වපු කෙනෙක්. භරත නාට්‍යම් නර්තනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ලක්නව්, භාත්කණ්ඩ සංගීත් විද්‍යා පීඨයෙන් නර්තන විශාරද උපාධිය ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ප්‍රවීණ නර්තනවේදිනී ආචාර්ය මිරැන්ඩා හේමලතාවන්ගේ ශිෂ්‍යාවක් විදියට අරංගේත්‍රම් කලඑළි මංගල්‍යය ටවර් රඟහලේදී එළිදැක්වීමට හැකියාව ලැබුණා. භරත නාට්‍යම් නර්තනයට අමතරව කතක්, බැලේ, උඩරට,  බෝල්රූම් හා බොලිවුඩ් නර්තන සම්ප්‍රදායන් ද හදාරලා තියෙනවා.  

  • වෛද්‍ය වෘත්තිය සහ නර්තනය කියන්නේ වෙනස් විෂයන් දෙකක්, කෙහොමද මේ ගමන සාර්ථකව යන්නේ?

මගේ ළමා ලෝකය පුරාවටම හිත ඇතුළෙ පුංචි නර්තන ශිල්පිනියක් ජීවත් වුණා. නමුත් පාසලේ හය වසරට එද්දි සෞන්දර්ය විෂයක් විදියට නර්තනය තෝරාගන්නවට අප්පච්චි කැමති වුණේ නැහැ. ඒ නිසා පාසලේදී නර්තනය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නර්තනය නිසා අධ්‍යාපනය කටයුතු මඟහැරෙයි කියන මතය නිසා ඔහු නර්තනය කරන්න ඉඩ නොදුන්නත් මගේ මව මම ඉගෙන ගන්න පාසලේම ගුරුවරියක් වූ නිසා ඇය ගෙදරට හොරෙන් මට නර්තන අවස්ථාවලට යන්න ඉඩ ලබා දුන්නා. මැණිකක් වුණත් ඔපමට්ටම් කළ විට එහි මනා දිස්නයක් දකින්න ලැබෙනවා වගේ යම්කිසි විෂයක් හොඳින් හැදෑරීමෙන් ඒ පිළිබඳ ඇති සහජ දක්ෂතාව වැඩිදියුණු වෙනවා කියලා මම විශ්වාස කළා. ඒ අනුව තමයි මම නර්තනය හැදෑරීමට යොමුවෙන්නෙ.
අවසානයේදී වෛද්‍ය උපාධියත් නර්තනය පිළිබඳ විශාරද උපාධි දෙකම එකම වසරකදී හිමිකර ගැනීමේ අවස්ථාව අත්විඳින්න හැකිවුණා.  ඒ වෛද්‍ය සිසුවියක් ලෙසින් වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන යුගයේදීත් සායනික පුහුණුවීම් අතරතුර ලද විවේකයේදීත් නර්තන පුහුණුවීම්වල යෙදෙමින්, ශාරීරික හා මානසික සමබරබව තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. මම විශ්වාස කරන්නේ.

  • නර්තන ජීවිතයේ ඔබ ලද ජයග්‍රහණ ගැනත් දැනගන්න කැමතියි.

රුහුණු සරසවි වෛද්‍ය පීඨ කලා උලෙළේ නර්තනය සඳහා ප්‍රථම  ස්ථානය ලැබීමත් සමග ජාතික මට්ටමේ ජයග්‍රහණ හතරක් ලබා ගැනීමට සමත් වුණා. 2018, 2019, 2022 වසර තුනේදීම නවදිල්ලියේ පැවැත්වුණු නවදිල්ලි අන්තර්ජාතික නර්තන උලෙළේදී ජයග්‍රහණය හිමිකර ගනිමින් නෘත්‍යාංගනා සම්මානය තුන්වතාවක්ම දිනා ගැනීමට සමත් වුණා. 2023 වසරේදී ලංකාවේ නෙළුම් පොකුණේදී පැවති IIGR අන්තර්ජාතික නර්තන  උලෙළේදී ,  අර්ධ ශාස්ත්‍රය නර්තනය වෙනුවෙන්ද සම්මානයක් හිමිකර ගැනීමට අවස්ථාව ලැබුණා.

  • නර්තනය කියන්නෙත් හිත සුව කරන බෙහෙතක් කිව්වොත්

ඇත්තෙන්ම ඔව්, නර්තනය හික්මීමත් සංයමයත් හුරු කරන චමත්කාරජනක භාවනාවක්. සෙමෙන් මනස වැඩෙන දරුවන් සහ සුවිශේෂී ආබාධ තත්ත්ව සහිත දරුවන් සඳහා නර්තන චිකිත්සාව ඉතාම ඵලදායී ලෙස යොදාගත හැකියි. නර්තන විශාරදවරියක් සහ වෛද්‍යවරියක් ලෙසින් මෙම වෘත්තීන් දෙකම එකට එක්කරමින් නර්තන චිකිත්සාව පිළිබඳ පර්​ෙය්ෂණ කිහිපයක්ම සිදුකර තිබෙනවා.

  • මොනවද ඉදිරි අලුත් බලාපොරොත්තු?

නර්තන චිකිත්සාව සම්බන්ධයෙන් සමාජයට යහපතක් සිදුකළ හැකි පර්​ෙය්ෂණයන්හී‍ නියැළීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරියක් වීමට වැඩිදුර ඉගෙනීමටත් හොඳ නර්තන නිර්මාණ හා සාහිත්‍ය නිර්මාණ සමාජයට තිළිණ කිරීමටත් බලාපොරොත්තු  වෙනවා.  

Concept  by ashanthi warnasooriya

Dress  by salon  kavinda ...
Kavinda Lesley 
Pic by   Sasitha Madushan 
Costumes  by Dilani hansika
Locesen  solis hotel pitakotte

 

 

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Previous

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment