හිරු නොබසින අධිරාජ්‍යයේ බැසගිය හිරුකිරණ

 

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් අගනුවර, බැල්මෝරල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජකු හෝ රැජිනක හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැත. ඒ අනුව ඇය වසර 70 කුත් දින 214 ක කාලයක් රාජ්‍යත්වය හෙබැ වූ පළමු බි්‍රතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වන්නීය. ඇය ඇගේ මිත්තණිය වූ වික්ටෝරියා මහරැජිනට වඩා වසර 6ක් වැඩියෙන් රජකම් කර තිබේ. ඇයට මේ වාසනාව හිමි වුණේ බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් කීපයක් නිසාය. 


වත්මන් ලෝකයේ ඉතා දිගු කලක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජුය. දෙවන එළිසැබත් රැජින ලොව දිගු කලක් සිහසුන දැරූ රාජ්‍ය නායිකාව බවට පත් වූයේ එතුමාගේ අභාවයෙන් අනතුරුවය. පසුගිය සැප්තැම්බර් 8 වැනි දා ස්කොට්ලන්තයේ දී අභාවප්‍රාප්තවීමෙන් පසු ඇගේ ඒ දිගු රාජ්‍ය කාලය අවසන් විය. ඒ වන විටත් දිවියේ 96 වසර ගෙවමින් සිටි ඇය සක්‍රීයව රාජ්‍ය කටයුතුවලට දායක වී සිටියාය.

 

 


සැප්තැම්බර් 5 වැනි දා තෝරා ගනු ලැබූ නව බි්‍රතාන්‍ය අගමැතිවරිය ලෙස එළිසබෙත් ට්‍රස් පත් කිරීම මහරැජිනගේ අවසන් වැදගත්ම රාජකාරිය විය. එළිසබෙත් මහ රැජින යටතේ වින්ස්ටන් චර්චිල්, ඇන්තනි ඊඩ්න්, මාග්‍රට් තැචර්, හැරල්ඩ් මැක්මිලන්, ඇලෙක් ඩග්ලස්-හෝම්, ජෝන් මේජර්, ටෝනි බ්ලෙයාර්, ඩේවිඩ් කැමරන්, ගෝඩ්න් බ්‍රවුන්, ස්කොට් මොරිසන්, බොරිස් ජොන්සන් ඇතුළු බි්‍රතාන්‍ය අගමැතිවරු 15 දෙනකු සේවය කර ඇත. එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහ රැජින ලෙස පිළිගනු ලැබිණි.


දෙවන එළිසබෙත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවේ. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත් වේ යැයි සිතුවේ නැත. එහෙත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇය සිහසුනට කැන්දාගෙන ආවා යැයි කීවොත් එය නිවැරදිය. දෙවන එළිසබෙත් රැජින උපත ලැබුවේ 1926 වසරේ අප්‍රේල් 21 වැනිදා ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේදී ය. එය මාලිගාවක් හෝ විශාල වතුයායක මන්දිරයක් හෝ රෝහලක් හෝ නොව ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයකි.

 


මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමවුපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරය. 

මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රත්මෝර් හි ආදිපාදවරයා හා එම දේවියට ය. එදා කුමරියගේ මවුපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට ඔවුන්ට සිදු විය. ඇය එකල බි්‍රතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ බැවින්, බි්‍රතාන්‍ය කිරුළ ඇයට හිමිවෙතැයි ලොව කිසිවකු එදා සිතුවේ නැත. එහෙයින් දෙවන එළිසබෙත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවක් ඒ කාලයේ කිසිවකුටත් තිබුණේ ද නැත.


කුඩා කල එළිසබෙත් කුමරුගේ පවුලේ අය ඇය හැඳින්වූයේ ‘ලිලිබට්‘ යන සුරතල් නමිනි. 1936 වසරේ දෙසැම්බරයේ එළිසබෙත් කුමරියගේ දෛවය වෙනස් විය. ඒ, ඇගේ මාමා අටවැනි එඩ්වඩ් රජු ආදරයේ නාමයෙන් රජ කිරුළ අත්හැරීමත් සමගය. අටවැනි එඩ්වඩ් රජු ආලය කළෙත් පසුව විවාහ වූයේත් දෙවරක් දික්කසාද වුණු ඇමෙරිකන් කාන්තාවක වන වොලිස් සිම්ප්සන් සමගය. අටවැනි එඩ්වඩ් රජු රජකම අත්හැරීමත් සමග එළිසැබත් කුමරියගේ පියා හය වැනි ජෝර්ජ් රජු ලෙස කිරුළු පැලඳීය. ඒ වනවිට එළිසබෙත්ගේ වයස අවුරුදු 10 කි. ඒ අනුව, රජ කිරුළේ මීළඟ උරුමකරු බවට එලිසැබත් කුමරිය පත්වූවාය. 


එයින් වසර 3 ක් ගතවෙද්දී, මහා බි්‍රතාන්‍ය නාසි ජර්මනිය සමග යුද්ධයකට පැටැලී සිටියේය. එළිසබෙත් කුමරිය සහ ඇගේ නැගණිය මාග්‍රට් කුමරිය වැඩි කාලයක් ගත කළේ වින්ඩ්සර් මාලිගයේ ය. 18 හැවිරිදි එළිසැබත් කුමරිය මෝටර් රථ කාර්මික ශිල්පය ඉගෙන ගත්තාය. එළිසබෙත් කුමරිය දෙවන ලෝක යුද සමයේ දී හමුදාවේ ස්වේච්ඡා සේවයේ යෙදී ඇත. ඒ ට්‍රක් රථ රියැදුරකු හා මිකැනික් (මෝටර් කාර්මික ශිල්පියකු) කෙනකු හැටියටය. ඒ අනුව, හමුදා සේවයේ යෙදුණු රජ පවුලේ එකම සාමාජිකාව ද ඇයයි.


දෙවැනි ලෝක යුද සමයේ එළිසැබත් කුමරිය, රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වන ඥාති සොහොයුරා ද වූ ග්‍රීසියේ පිලිප් කුමරු සමග පෙම් හසුන් හුවමාරු කර ගත්තාය. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනිදා වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේදී විවාහ වූ අතර, කුමරුන්ට එඩින්බරෝ ආදිපාද පදවිය ලැබුණි. අවුරුදු 99ක් ආයු වලඳා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2021 වසරේය. ඒ, විවාහ වී වසර 74 ක් සපිරෙද්දීය. පිලිප් කුමරු ඇගේ ශක්තිය සහ ජීවනය විය. ඔහුගේ අභාවය එළිසබෙත් රැජිනට තදින්ම දැනුණා විය හැකිය. පසුගිය මාස කීපයේ ඇගේ සෞඛ්‍යය පිරිහී යෑමට එක් හේතුවක් වන්නට ඇත්තේ ද එයයි. 


එළිසබෙත් රැජින සහ පිලිප් කුමරුන්ගේ පළමු පුතු චාල්ස් කුමරු 1948 දීත්, පළමු දියණිය ඈන් කුමරිය 1950දීත්, දෙවැනි පුතු ඇන්ඩෘ කුමරු 1960දීත්, තෙවැනි පුතු එඩ්වඩ් කුමරු 1964 දීත් උපත ලැබූහ. ඔවුන් තම මවුපියන්ට මුනුපුරන් අට දෙනෙකු සහ මී මුනුපුරන් 12 දෙනකු ද ලබා දුන්හ. එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුන්ට රජකම හිමිවිය. ඒ අනුව, චාල්ස් කුමරු බි්‍රතාන්‍ය කිරුළ දරන්නේ තෙවැනි චාල්ස් රජු නමිනි.

 

 


වසර 1952 දී එළිසබෙත් කුමරිය සිටියේ කෙන්යාවේ සංචාරයක නිරතව ය. ඇයට ඇගේ රෝගී පියා ගැන දුක්මුසු පුවත අසන්න ලැබුණේ එවිටය. පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි හය වැනි ජෝර්ජ් රජු අභාවප්‍රාප්ත විය. ඇය සැමියා පිලිප් කුමරුන් ද සමග ලහිලහියේ යළි ලන්ඩනයට පැමිණියාය. ඒ, බි්‍රතාන්‍ය රැජින ලෙස රජකම බාර ගැනීම සඳහාය. ඇය රජ පදවියට පත්වූයේ 1952 පෙබරවාරි 6 වැනිදාය. වසරකට පසු 1953 වසරේ ජූනි 2 වැනිදා ඇගේ කිරුළු පැලඳීමේ මෞලි මංගල්‍යය පැවැත්විණි. ඒ, වෙස්ට්මිනිස්ටර් දෙව් මැඳුරේදී ය.


පසුගිය 8 වැනිදා ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ දී අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට දස දහස් ගණනකගේ සෝ සුසුම් මැද එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ඒම ආරම්භ වූයේ පසුගිය 10 වැනිදා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය මෙම 19 වැනිදා උදෑසන 11 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවත්, එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බවත් බි්‍රතාන්‍ය රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 


රැජින අභාවයත් සමග පෙරැළි රැසක් සිදුවිය. රැජින අභාවප්‍රාප්ත වුවහොත්, සිදු විය යුතු දේ කල් තියා සූදානමින් තැබුණි. මෙම ක්‍රියාදාමය ‘ඔපරේෂන් ලන්ඩන් බි්‍රජ් නමින් හැඳින්විය. ‘ඔපරේෂන් ලන්ඩන් බි්‍රජ්’ ක්‍රියාවලිය සකසා ඇත්තේ රැජින ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වූ විට ක්‍රියාවට නැංවීමටය. කෙසේ නමුත් රැජින අවසන් ගමන් ගියේ ලන්ඩනයේ දී නොව, ස්කොට්ලන්තයේ ය. ඒ අනුව ඔපරේෂන් ලන්ඩන් බි්‍රජ් ‘ඔපරේෂන් යුනිකෝන්’ ලෙස වෙනස් විය. 


දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමග පළමුවෙන් සිදුවූයේ බකිංහැම් මාලිගයේ තිබෙන රැජින විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරනු ලැබූ රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීමයි. රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බි්‍රතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සේනාවට අමතර ව, රැජිනයගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිගය, ශාන්ත ජේම්ස් මාලිගය අවට ආරක්ෂාව සඳහා යෙදවිණි. 


රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන (ටවර් ඔෆ් ලන්ඩන්) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබුණි. මෙය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයකි. රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබීම සිදුවෙයි. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 කි.


රැජිනගේ අභාවයෙන් පසු බි්‍රතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර  හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වීම ඇරැඹිණි. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජ කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වූවාය. මෙතෙක් කාලයක්, බි්‍රතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න වෙනස් වූයේ ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇති බව පැවැසෙයි. ඒ වෙනුවට නව රජු වන තෙවැනි චාල්ස් කුමරුන්ගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීම ඉදිරියේදී සිදුවෙයි.


දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය හේතුවෙන්, විනෝදාස්වාදය උදෙසා පැවැත්වෙන සියල්ල අවලංගු කෙරේ. සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි ඇරැඹුවේය. බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට හැරුණි. විකාශයවීමට නියමිව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්වෝත්පාදක වැඩසටහන් නවතා දැමුණි.


බකින්හැම් මාලිගයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය ඇරඹුණි. සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කෙරුණි. සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වෙද්දී, මීළඟ වේල්සයේ කුමරු බවට ඔහුගේ වැඩිමල් පුතු විලියම් කුමරු පත් වෙයි. ඒ සමගම විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය වේල්සයේ කුමරිය බවට පත් වූවාය. චාල්ස් කුමරුන්ගෙන් පසු බි්‍රතාන්‍ය රජ කිරුළේ උරුමකරු විලියම් කුමරුන්ය.

 


ලුසිත ජයමාන්න බීබීසී ඇසුරිනි


 

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Previous

පොලිසියත් එක්ක බත්කන ගිරවා

THE MALL AT PORT CITY COLOMBO LAUNCH Read Next

THE MALL AT PORT CITY COLOMBO LAUNCH

Realted Post

Leave a comment