“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’
සමහරෙකු පැවසුවේ ඉකුත් ජනාධිපතිවරණයත් සමග මෙරට දේශපාලනික බලය සදළුතලයෙන් මහ පොළොවට පැමිණි බවය. රජරට ඈත ගම්මැද්දක ඉපිද හැදී වැඩුණු සාමාන්‍ය පවුලක දරුවෙකු මෙරට මුල් පුටුව දක්වා ගිය ගමන එවැනි ප්‍රකාශ සඳහා ඉවහල් වී තිබිණි. මේ වෙල්දෙනි, වැව් අමුණු, ගුරු පාර හා බැඳුණු ජීවන යථාර්ථය පිළිබඳ සැබෑ අවබෝධයෙන් යුතු මිනිසෙකු කෙරෙහිවූ ගැඹුරු විශ්වාසය එතුළින් විසද කෙරිණි. ඉනික්බිතිව අනුරාධපුර, නුවර කලාවියේ, තඹුත්තේගම නගරයට යාබද නල්ලච්චිය ගමේ අනුර කුමාර දිසානායකට දැන් මුළු රටම භාරවී තිබේ. රටක අතෝරක් අපේක්ෂා ඔහු දෙවුර මත වැටී තිබේ. එහෙත් අනුරගේ වියපත් මවට තවමත් ඔහු ආදරණීය පුතු පමණක්මය. ඔහුගේ එකම අක්කාටද එදා සේම අදත් අනුර ආදරණීය මල්ලීමය. අදත් ඔවුහු සුපුරුදු මහ ගෙදරට වී පුරුදු ජීවිතය ගෙවමින් සිටිති.
තඹුත්තේගම නගරයේ සිට ගල්නෑව නගරය දක්වා දිවෙන මාර්ගය ඔස්සේ කිලෝ මීටරයකට මඳක් වැඩි දුරක් ගිය විට නල්ලච්චිය ගම මුණගැසේ. නල්ලච්චිය මහ වැවේ දියවර ගෙන ගලන ඇළ මාර්ගයට සමගාමීව දිවෙන ගුරු පාර සාම්ප්‍රදායික ගම්මැද්දක ජීව ගුණයත්, දුෂ්කරතාත් දෙපසින් සනිටුහන් කරයි. ගුරු පාර ඇරඹුමෙහි සවි කළ පුවරුවක ලියැවී තිබුණෙ “අපේ ගමේ අපේ එකෙක් ජනපති|” යනුවෙනි. මේ මග ඔස්සේ තවත් මීටර් දෙසියක් පමණ ගිය තැන්හි ජනපති අනුර කුමාර දිසානායක මහතා කුඩා කල ගත කළ මහ ගෙදර දිස් වේ.
අද එහි සිටිනුයේ අනුරගේ වැඩිමහල් සහෝදරිය ශ්‍රියාලතා දිසානායකය. අසුපස් වන වියද ඉක්මවා දිවියේ සැඳෑ සමයට පිවිස සිටින ඔවුන්ගේ මව වන ඩී.එම්. සීලවතී මහත්මිය ද ඇය සමග සිටින්නීය. තුරුණු කල අනුර හා මව එක්ව ගත් සේයාරුවක් නිවසේ ආලින්දයේ පසෙක දිස්වේ. විවිධ ජීවන දුෂ්කරතා මැද ගෙවීගිය ඔවුන්ගේ ළමා දිවිය පිළිබඳව අද ශ්‍රියාලතා මහත්මියට ඇත්තේ උපේක්ෂා සහගත හැඟීමකි. ඉතා සරළ බවින් ඔප වැටුණු ඔවුන්ගේ ජීවන පෙවෙත නිර්ව්‍යාජ බව විද්‍යාමාන වන කැඩපතක් බඳුය. මේ කටුක පරිසරයේ ජීවන දුෂ්කරතා ශ්‍රියාලතාගේ මුව මත සිත්තම් වී තිබේ. මේ වෙල් සුළඳට මුසු වූ අතීත ජීවිත මතක පිළිබදව ශ්‍රියාලතා දිසානායක මහත්මිය අද මෙසේ පවසන්නීය.
“අපි ඉස්සර හිටියේ අද මේ තියෙන ගෙට පිටිපස්සේ තිබුණ පොඩි ගේක. මට තාමත් මතක් වෙනවා අපි හතරදෙනො ඒ පොඩි ගෙදර හිටපු හැටි. ඒ පොඩි ගේ ඉස්සරහා අරලිය ගහක් තිබ්බා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඔය අරලිය ගහට නැගලා මල්ලි පොත් පාඩම් කරනවා. එයාට තිබුණු තව පුරුද්දක් තමයි කෑම කන ගමන් මේසේ උඩ තියාගෙන පොතක් හරි පත්තර කෑල්ලක් හරි කියවන එක. මල්ලී පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න හරිම දක්ෂයි.”
කලක් අනුරාධපුරයේ, කලාවැවට යාබද පළාගල ප්‍රදේශයේ ළමා දිවියේ මුල් වසර කිහිපය ගතකොට ඇති අනුර මේ නල්ලච්චිය ගම්මැද්දට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. අනුර දිසානායක දරුවා එකලෙහි මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත්ව ඇත්තේ තඹුත්තේගම ගාමිණි විද්‍යාලය හෙවත් වර්තමානයේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ය. ගාමිණි විද්‍යාලයේ දී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන අනුර කුමාර සිසුවා උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත්ව ඇත්තේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය.
එම විද්‍යාලයේ මුල්ම උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම වන්නේ ද අනුර ඇතුළු ශිෂ්‍ය පිරිවරය. එහිදී ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයට පා තබනුයේ 1992 වසරේදීය. අනුර කුමාර දිසානායක තරුණයා සිය උසස් අධ්‍යාපනය අහවරව 1995 වසරේ දී විශ්ව විද්‍යාලයෙන් නික්ම යනුයේ විද්‍යාවේදී උපාධිධරයෙකු ලෙසිනි. එකලෙහි මේ ගම්මැද්දේ ගතවී ගිය අනුර මල්ලිගේ නව යොවුන් අවදිය පිළිබදව ශ්‍රියාලතා අක්කා මෙසේ පැවසුවාය.
“එයාට හොඳට පීනන්න පුළුවන්. ඔය නල්ලච්චිය වැවට ඒ කාලේ යාළුවෝ කට්ටිය එක්ක එකතු වෙලා නාන්න යනවා. කොළඹ ගියාට පස්සෙත් මහ ගෙදරට ආපු සමහර දවස්වල වැවේ නාන්න ගිහින් තියෙනවා. ඒ කාලේ වෙලේ සරුංගල් උඩ යවන එක මේ ගම්වල ළමයින්ට තිබුණු ලොකු පුරුද්දක්. මල්ලිත් හරිම කැමතියි සරුංගල් යවන්න. ඒ කාලෙට බේරන්න බෑ සවස් වෙනකොට යාළුවෝ කට්ටියත් එක්ක සරුංගලෙත් අරන් වෙලට යනවා. පොඩි කාලේ ඉඳන්ම පිරිසක් හසුරුවන්න පුළුවන් විදිහේ ගතියක් මල්ලිට තිබුණා. ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න කරන මුඛරිකමක් තිබුණා. ඒ කාලේ මල්ලි ටිකක් දඟකාරයි. ඒත් ඉස්සර ඉඳන්ම මොනදේ කළත් හරියට කරන්න උත්සාහ ගන්න පුරුද්දක් එයාට තිබුණා. මල්ලි ලේසියෙන් වැටෙන්නෙ නැති ලොකු අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්. ඒ නිසාමයි එයා අද ඉන්න තත්ත්වෙට ආවේ. ඒ ගැන හිතන කොට පුදුම සතුටක් දැනෙන්නේ.”
ජනපතිවරණයට මත්තෙන් අනුරගේ ළමා හා තරුණ අවදිය ගත වූ මේ නල්ලච්චිය ගම්මැද්ද පිළිබදව වගේ වගක් නොතිබුණු බොහෝ දෙනෙක් ඉකුත් සතිය හමාර තිස්සේ නොනැවතී මෙහි එන්නට විය. එය එක්තරා අන්දමකින් වියපත් මවත්, ශ්‍රියාලතා මහත්මියත් දැඩි වෙහෙසකර බවකට ඇද දමන්නට හේතුවී තිබිණි. එසේ පැමිණි සමහරෙකු සත්‍ය නොවන බොහෝ විකෘති තොරතුරු ජනගත කොට තිබීම ඔවුනගේ කනස්සල්ලට හේතුවී තිබේ. ශ්‍රියාලතා මහත්මිය ඒ පිළිබදව පැවසුවේ මෙවැනි අදහසකි.
“පහුගිය කාලේ සමහර පත්තරවල එහෙම ගියා දේවහුව පැත්තේ අපි හිටපු මහ ගෙදරක් ගැන විස්තර. ඒ දාලා තිබුණු ඡායාරූප සම්පුර්ණ බොරු. එහෙම මහ ගෙයක් අපිට තිබුණේ නෑ. සමහර තොරතුරුත් විකෘති කරලා දාලා තිබුණෙ. අපි ගැන අපිත් නොදන්න සමහර තොරතුරු තව අය දන්නේ කොහොමද? ඒ ගැන හිතනකොට මට නම් හරි පුදුමයි. ඇත්තටම අපේ ජීවිත ගැන දන්නේ අපිනේ. වෙන අය නෙමෙයිනේ.”
අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික් දෙමායිමේ පිහිටි ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ දී 1968 නොවැම්බර් මස 24 වැනිදාවක අනුර කුමාර දිසානායක මහතා ජන්ම දායාදය ලැබීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිව්වාක් මෙන් පාසල් අවදියේ පටන් විශේෂ ජීව ගුණයකින් අනුරගේ ජීවන පුරුදු ඔප වැටී තිබිණි. ඔහුගේ වයස වසර පහ හයකින් ඉක්ම වූ ශ්‍රියාලතා මහත්මියට මේ සියල්ලක් තවමත් හොඳින් මතකය. ඇය තවත් එවැනි අතීත මතකයන් කිහිපයක් අප හා පැවසුවාය.
“මල්ලි ඒ කාලේ ගණිතය විෂයට හරිම දක්ෂයි. ඒක උපතින්ම ආපු දක්ෂකමක් වගේ දෙයක්. ගාමිණි ඉස්කෝලේ ඉන්න කාලේ ගණිත ගුරුවරයා නැති දවසට මල්ලි පංතියේ ළමයින්ට ගණන් උගන්නලා තියෙනවා. මල්ලී අවසානේ විශ්ව විද්‍යාලෙට ගියෙත් ගණිත අංශයෙන් උසස් පෙළ කරලා. තඹුත්තේගම වෙහෙරගල පන්සලේ ඒ කාලේ හිටපු නායක හාමුදුරුවෝ මට මතක හැටියට රම්බඩගල්ලේ නායක හාමුදුරුවෝ එක්ක මල්ලි හරිම කිට්ටුවෙන් ආශ්‍රය කළා. ලොකු ගෞරවයක් ඒ නායක හාමුදුරුවෝ ගැන මල්ලිගේ හිතේ තිබුණා. ඡන්දෙට කලින් තඹුත්තේගම ඉස්කෝලේ ආදි ශිෂ්‍ය, ගුරු හමුව පැවැත්වුවෙත් වෙහෙරගල පන්සලේ. දැන් පන්සල දියුණුයි. ඉස්සර බොහොම පොඩියට පන්සල තිබුණේ.”
දැන් සියල්ල සංසුන් වී තිබේ. කලක් තිස්සේ පංති කෙනෙහිලිකමින් හෙම්බත්ව, ඉරිසියාවෙන්, වෛරයෙන් මත් වූ සිරිලක ජන සමාජය නැවුම් මාවතක එළිපත්තට පිවිස සිටී. ශ්‍රියාලතා අක්කලා, සීලවතී අම්මලා මෙන්ම තවත් අතෝරක් දෙනා දැල් වූ දෑසින් එදෙස බලා සිටිති. එය නොනිමෙන ප්‍රාර්ථනා පහන් වැටක් මෙනි.
අපි ඔවුනට සමුදී නික්ම ආයෙමු.
- බුල්නෑව ප්‍රදීප් රණතුංග
Leave a comment