පහන්තුඩාව යමුද බලන්න

ඔබත් ලංකාවේ තියන ලස්සනම දියඇලි ගංගා බලන්න ආස කරන කෙනෙක්ද? සොබා දහමට ආදරය කරන කෙනෙක්ද? එහෙමනම් ඔන්න අද අපි ට්‍රැවල්  කරන්න යන්න ලෑස්ති වෙන්නේ පුදුම තරම් ලස්සන ස්වාභාවික පහනක් බලන්න. පහනක් කිව්වට මේක මැටි පහනක් නෙවෙයි. පහනක හැඩයට ස්වාභාවිකව  රමණීය පරිසරයක නිර්මාණය වුණු දිය ඇල්ලක්. ඒ තමයි ‘පහන්තුඩාව දිය ඇල්ල.’ එන්න අපි යමු මේ ලස්සන පහන්තුඩාව සියැසින්ම විඳගන්න.

ඔන්න යන්න කලින්ම ඔයාලට කියන්න දෙයක් තියනවා, මේ ලස්සන පරිසරය සුව විඳින්න ගියාම ඒ උරුමයට ආදරය කරන්න. ඒක රැකගන්න ඕනැ කියන හැඟීම හුඟක් අය ළඟ නැහැනේ. ඉතින් ආදරෙන් කියන්න ඕනෑ ඔයා මේ ගමනෙදී ගෙනියන ප්ලාස්ටික් පොලිතින් කිසිම දෙයක් මේ සුන්දර පරිසරය ඇතුළෙ දාලා එන්න නම් හිතන්නවත් එපා කියලා. ඒ ලස්සන නැතිවෙන විදියට හැසිරෙන්නත් ඔයාට තහනම්.
එහෙනම් දැන් අපි අපේ ගමන පටන් ගනිමු.

පහන්තුඩාව දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ.  මේ ගමන යන්න කැමති ඔයාට හරියටම පාර කියනවා නම් සමනලවැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය කියන ගම්මානයේ තමයි මේ ලස්සන පහන්තුඩාව දියඇල්ල පිහිටලා තියෙන්නේ.
මේ පරිසරයේ ස්වාභාවික පිහිටීම මොනතරම් සුන්දරද කියනවා නම් අපි මේ ස්ථානයට යන වෙලාවෙත් දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් දිය ඇල්ල නරඹන්න මේ ස්ථානයට ඇවිත් හිටියා. ඉතින් සොබා සෞන්දර්යට ආදරය කරන කෙනක් නම් මඟහැරගන්නෙ නැතිව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දරම තැන්වලින් එකක් තමයි පහන්තුඩාව කියන්නේ කියලා අපට හිතුනෙත් පහනක් ඇතුළෙ දැල්වෙන පහන් දැල්ලක් වගේ දිස්වෙන පහන්තුඩාව දැක්කට පස්සේ

මේ ස්ථානය වැදගත් වෙන්නේ ඇයි කියලත් අපි දැනගනිමු.
මෙතැනට ගියාට පස්සේ අපට නොදන්න විස්තර හුඟක් ඒ ගැන දැනගන්න ලැබුණා. ඇත්තටම පහන්තුඩාව කියන්නේ ලංකාවෙ තිබෙන අනෙක් දියඇලි අතරින් සුවිශේෂීම  තැනක්. ඊට හේතුව මේ දිය ඇල්ලේ තිබෙන ස්වාභාවික පිහිටීම. පහන්තුඩාවට නම හැදෙන්නෙත් මේ පිහිටීම නිසා. ඒ කියන්නේ මේ දිය ඇල්ලේ වතුර වැටෙන ජල තටාකය ස්වාභාවිකවම පහනක හැඩයට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මේ පහන වගේ තිබෙන ජල තටාකයට වතුර වැටෙන දිය ඇල්ල පෙනෙන්නේ මේ පහනේ තිරය විදියට. ඉතින් ඕනෑ තරම් වෙලාවක් කෙනෙකුට මේ අපූරු මනස්කාන්ත දසුන දිහා බලන් ඉන්න පුළුවන්.
මේ දවස්වල අවධානයෙන් යන්න ඕනෑ
සොබාදහම මොනතරම් සුන්දර වුණත් ඒ සුන්දරකමට යටින් ගුප්තබවකුත් නැතුවම නොවෙයි. මොකද අපිට මේ වෙලාවේ පෙනෙන්න තියන දේ වෙනස්වෙන්න යන වෙලාව අපි දන්නේ නැති නිසා. කොහොම වුණත් මේ දවස්වල පහන්තුඩාව දිය ඇල්ල බලන්න එන ඔයාලා පරිස්සම ගැනත් අවධානයෙන් ඉන්න ඕනෑ. මොකද මුල් වතාවට යන ඔයාට පරිසරය හුරුත් නැහැනේ. විශේෂයෙන් දිය නෑම නම් තරමක් ත්‍රාසජනකයි වගේම අවදානම් කියලයි අපට දැනගන්න ලැබුණේ. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල පවතින අධික වැස්ස නිසා දිය ඇල්ලේ ඉහළම කොටසේ වතුර මට්ටම වැඩිවෙන්න පුළුවන් නිසා මේ ස්ථානයේ වතුර මට්ටම විනාඩි 15ක් විතර කාලයක් ඇතුළත ඉක්මනින්ම වැඩිවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දවස්වල පහන්තුඩාවෙන් දිය නෑම නම් ඒ තරම් යහපත් නැහැ.
මේ ගමනෙදී හමුවුණු ගමේ කෙනෙක් අපට කිව්වේ මේ ජල තටාකය ඉතාම ගැඹුරුයි කියලයි. එහි ගැඹුරක් පතුලක් හොයාගන්න එකත් අමාරුයි කියලයි ඒ අය කියන්නේ. ඒ නිසා මේ සුන්දර ගමනට එකතුවෙන ඔයාලා අවදානම ගැනත් සිහියෙන් ඒ සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා.
විඳගන්න අපූරු තැන් බොහෝමයි           
මේ ගමනට සහභාගි වෙන ඔයාලට දියඇල්ල පිහිටි සොබා සෞන්දර්යට ආවේණික සත්තු, ලස්සන ගස්වැල් වගේම මේ තැනට ටිකක් ඈතින් තිබෙන සමනල වැව සංචාරක කලාපයේ සොඳුරු දසුන් විඳගන්නත් අවස්ථාව තිබෙනවා. සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණෙන ප්‍රදේශයක් නිසා ඒ අවට නවාතැන් ගන්නත් ගිමන් නිවාගන්නත් රමණීය තැන් බොහෝමයක් තිබෙනවා. ඉතින් නිවාඩුවට පවුලෙ අයත් එක්ක සුවදායී විනෝද ගමනකට පහන්තුඩාව කදිමයි. 

 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment