යමුද අපිත් Riverston

සීතල කඳු මුදුන්වලින් පහළට ඇදෙන දිය කොමළියන්ගේ පහස විඳගනිමින් හීනියට හිරිගඩු පිපෙන සීතල සුළං විඳින්න යන්නම ඕනැ තැනක් තමයි මාතලේ, රිවස්ටන්. සොබා සෞන්දර්යත් එක්ක ජීවත්වෙද්දි ආදරේ තව වැඩි වෙනවලුනේ. ඉතින් ඒ නිසා ආදරේ සුව විඳින පෙම්වතුන්ට, අලුත විවාහ වුණු ආදරවන්තයින්ට පෙම්වතුත් පාරාදීසයක් විදියටත් මේ මනරම් පරිසරයේ සුව විඳින්න පුළුවන්. ඒ විතරක්ද? හුඟක් දවසකින් විනෝද චාරිකාවක් යන්න දින ගණන් කර කර ඉන්න යාළුවන්ට, පවුලේ හැමෝටම හොඳ නිවාඩුවක් ගත කරන ගමන් අමතක නොවෙන අත්දැකීම් විඳගන්න පුළුවන් ට්‍රිප් එකක් තමයි මේ අපි යන්න ලෑස්ති වෙන්නේ.

දන්නවද මාතලේ රිවස්ටන් යන්න සූදානම්වෙන හුඟක් අයට ඒ අතරමග සුන්දර ස්ථාන හුඟක් මඟ හැරෙනවා කියලා?
මොකද හුඟක් අය ප්‍රධාන ස්ථාන කිහිපයක් ගැන විතරක් දැනගෙන හිටියට ඒ යන අතර මඟ පුංචි පුංචි තැන් හුඟක් තියනවා අපිට බලන්න. ඉතින් අපි මුල ඉඳලා ඒ තැන් එකක්වත් මඟ හැරගන්නේ නැතිව මේ ගමන යමු. රිවස්ටන් ට්‍රිප් එක යන ඔයාට මුලින්ම හම්බවෙන්නේ කොහෙද කියලා දන්නවද?
රිවස්ටන් කියන්නේ වෙනම රටක්. පුංචි සීතල නුවරඑළියක් කිව්වොත් හරියටම හරි. ඒ තරමටම සීතල නැති වුණත් ඔයාට දැනෙන ෆීලින් එක නම් ඒ වගේ. මේ ගමනෙදී මුලින්ම මාතලේ නගරයට පැමිණෙන ඔයා රත්තොට හරහා තමයි රිවස්ටන් වෙත යන්න ඕනෑ. ඊට කලින් රිවස්ටන් නම හැදුන විදියත් දැනකියාගෙනම අපි මේ ගමන යමු. ඇත්තටම කියනවා නම් මේ ප්‍රදේශයේ තියෙන්නේ බටහිර රටවල තිබෙන දේශගුණයට සමාන දේශගුණයක්.  නැවතත් බටහිරට යාම කියන අර්ථය දෙමින් ‘රිවස්ටන්’ කියන නම හැදිලා තියනවා කියලයි ජනප්‍රවාදයේ එන්නෙ. සුන්දරම සුන්දර නකල්ස් කඳු වැටියේ හිත හොරකම් කරන රිවස්ටන් කියන්නේ ලංකාවේ දුෂ්කරම ප්‍රදේශවලින් එකක් බවටත් කියැවෙනවා.

  • මුලින්ම බඹර කිරි ඇල්ලට යමු  

ඔන්න රිවස්ටන් යන අපිට ගමන් වෙහෙස නිවාගන්නත් එක්ක මුලින්ම හම්බවෙන්නේ බඹර කිරිඇල්ල. මේ දිය ඇල්ල හුඟක් ලොකු දිය ඇල්ලක් නොවුණත් මනස්කාන්ත පරිසරය නිසා ඕනෑ වෙලාවක් මෙතැනට වෙලා ඉන්න පුළුවන්. පාර අයිනෙම පිහිටලා තිබෙන මේ දියඇල්ල තමයි ඔයාට මුලින්ම මේ ගමනෙදි හමුවෙන්නේ.
ඊළඟට රිවස්ටන් කුලුන             
මේ තමයි අපිට මේ ගමනෙදි දෙවැනියට හමුවෙන ලස්සන වගේම තරමක් ත්‍රාසජනක තැන. 
ත්‍රාසජනකයි කිව්වට එහෙම වෙන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි මෙම ස්ථානයේ තද සුළං සහ මීදුම පවතින නිසා. මේ කුලුන බලන්න පාරේ ඉඳලා කිලෝ මීටර් 1.5 ක් පමණ ඉහළට යන්න ඕනෑ. කුලුන ළඟට යනකල්ම පාර හොඳින් තිබෙනවා. ඒ නිසා ඔබට හරිම පහසුවෙන් මෙම කුලුනට ළඟාවෙන්න පුළුවන්. එහෙත් හුඟක් වෙලාවට හවස් වෙද්දි මීදුම තරමක් වැඩිවෙන්න පුළුවන්. ඉතින් මේ කුලුන ළඟට යන ඔයාට පුදුම හිතෙන තරම් ලස්සන වටපිටාවක් බලාගන්න පුළුවනි.

  • කවුරුත් කැමති පුංචි ලෝකාන්තය

රිවස්ටන් කුලුනෙන් පස්සේ අපි ළංවෙන්නෙ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න කා අතරත් ජනප්‍රිය තැනක් වන පිටපතනට. එහෙමත් නැතිනම් පුංචි ලෝකාන්තය බලන්න. ප්‍රධාන පාරේ සිට කිලෝ මීටර්  භාගයකට මඳක් වැඩිවෙන්න වගේ ඇවිදගෙන යද්දි ඔන්න අපිට පුංචි ලෝකාන්තය බලන්න පුළුවන්. මේ ගමන ඒ තරම් අමාරු නැති වුණත් මේ ස්ථානයේ දේශගුණය නම් ඉක්මනින්ම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මේ ස්ථානය නරඹන්න ඕනෑ විනෝදෙන් වගේම හරිම කල්පනාවෙන්. මෙතන තිබෙන විශේෂත්වය  එක පාරටම අංශක 90ක පමණ බෑවුමක් හමුවීම. කොහොම වුණත් මේ තැනට යන්න හොඳම වෙලාව  උදේ වරුව සහ හවස් වරුව. මොකද හොඳටම අව්ව තියන දවසක් වුණොත් ඔයාට ගමන් වෙහෙස දැනෙන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් පුංචි ලෝකාන්තය බලන්න යන්නේ පැය 3ක පමණ කාලයක් නිසා වෙලාව හරියට කළමනාකරණය කරගෙන ගමන සූදානම් වෙන්න පුළුවන්.

නාන්න කදිම සේර ඇල්ල                            

ඔන්න පුංචි ලෝකාන්තය බලලා ඉවර වෙලා අපි දැන් යන්න ලෑස්ති වෙන්නෙ තවත් ලස්සනම තැනකට. ඒ තමයි සේර ඇල්ල. සේර ඇල්ලට යන ඔයාට ඇල්ල ළඟටම යන්න අත්වැලක් විදියට පඩිපෙළක් සහිත මාර්ගයක් නිර්මාණය කරලා තියනවා. දැන් ඉතින් පුළුවන් හිතේ හැටියට දිය නාන්න. මෙතන තියන සුන්දරම දේ තමයි ඇල්ලේ වතුර වැඩි කාලෙට ඇල්ල අැතුළෙ ගුහාවේ ඉඳලා බලද්දි පෙනෙන දර්ශනය.  ඔබ ඉස්සර වෙලාම යන කෙනෙක් නම් හිතුණු හිතුණු තැන්වලින් වතුරට බහින්න යන එක නම් සුදුසු නැහැ. මේ දිය ඇල්ලේ පොඩි ළමයින්ට වගේම අනෙක් අයට නාන්න නොගැඹුරු ස්ථාන කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම හරිම ගැඹුරු ස්ථානත් තිබෙන නිසා කල්පනාවෙන්  වතුරට බහින්න ඕනෑ.

  • කඳු නගින්න ආස අයට                               

දැන් තියෙන්නේ කඳු නගින්න. කඳු නඟින්න ආස යාළුවන්ට නම් ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් මේ හමුවෙන්න යන්නේ. අපි දැන් නඟින්න යන්නේ මානිගල කන්දට. සුන්දර නකල්ස් කඳුවැටියේ තියන තවත් රමණීය කඳු වළල්ලක් තමයි මානිගල කියන්නේ. මේ කන්ද තියෙන්නේ පිටවල කියන සුන්දර ගම්මානේ. මානිගල කන්ද තරණය කරන්න ඔයාට පැය 4ක් 5ක් වගේ කාලයක් ගතකරන්න වෙනවා. යාළුවෝ සෙට් එකක් යන්නත් මේ ගමන හරිම විනෝදයි. හුඟදෙනෙක් මේ කන්ද නගින්න යන්නේ නැති නිසා සෙනඟත් අඩුයි. ඒ නිසා හරිම පහසුවෙන් යන්න පුළුවන්. ගමන යද්දි එක එක පැතිවලට යන්න අඩි පාරවල් තිබෙන නිසා හොඳම දේ  මේ ගමනට ගමේ කෙනකුගේ උදවු ලබා ගැනීම.  ඒ විතරක් නෙවෙයි ගමනට අවශ්‍ය කෑමත් ගමේ නිවෙසක ඉඳලා ගන්න පුළුවන්. කඳු මුදුනට යනතුරුම අඩිපාර වැටිලා තිබෙන නිසා අපහසුවක් නැතිව යන්න පුළුවන් වුණත් ගොඩක් දුර යන්න තිබෙන නිසා වැඩි බර උස්සගෙන යන්නේ නැතිව සැහැල්ලුවෙන් යනවා නම් ගමන පහසුයි. නමුත් වතුර බෝතලයක් නම් මතක ඇතිව ගෙනියන්න ඕනෑ.
ටිකක් දුර යද්දි පුංචි ලෝකාන්තය වගේ ලස්සන තැනකුත් බලාගන්න ඔයාට පුළුවන්. අන්තිමට මානිගල කඳු මුදුනට යන ඔයාට නකල්ස් කඳුපන්තියේ අති සුන්දර මනස්කාන්ත දර්ශනයක් දැකබලාගන්න පුළුවනි.
මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන මේ සුන්දර ස්ථාන හැම එකක්ම ඔයාට දවස් දෙකක විතර කාලයක් ඇතුළත දැකබලාගන්න පුළුවන්. ඉතින් ඉදිරියට දීර්ඝ නිවාඩු කිහිපයක්ම එන නිසා මේ සුන්දර නිවාඩුව ගත කරන්න දැම්මම සූදානම් වෙන්න.
 

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Previous

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment