ව්‍යාපාරයකට නිමිත්තක් සොයා ගන්නේ කොහොමද?

 

අපි හැම කෙනෙක්ම සිහින දකින්නෙමු. මේ සිහින අතර සුබ සිහින මෙන්ම අසුබ සිහින ද තිබේ. අප හැම විටම කැමති වන්නේ සුබ සිහින දකින්නටය. ඒ අන් කවරක් නිසා නොව සුබ සිහිනයකින් සිත කය දෙකම ප්‍රබෝධයට පත් වන නිසාය. මේ කියන්නට යන්නේ අප නින්දෙන් දකින සිහින පිළිබඳව නම් නොවේ. සැබෑ ජීවිතය තුළ අප යථාර්ථයක් කර ගන්නට උත්සාහ දරන සිහිනයක් පිළිබඳවය. ව්‍යාපාරයකින් ජීවිතය දිනන්නට මග කියන ලිපි පෙළේ තවත් පරිච්ඡේදයකි මේ. ව්‍යාපාරයක් වෙනුවෙන් ඔබ දකින සිහිනය මෙසේ යථාර්ථයක් කර ගන්න.

 

කරන්නන් වාලේ ව්‍යාපාර කරන්න බෑ.
අප යම් දෙයක් කරන්නට කැමති වුවත් ඒ දේ අනිත් අය අගය නොකරනවා නම් සහ නොපිළිගන්නවා නම් අපේ කැමැත්තෙන් ඵලක් නැත. ඉන් අපට වටිනාකමක් හිමි වන්නේ ද නැත. ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිතන ඔබත් මේ අදහසට එකඟ විය යුතුය. යම් දෙයක් අත්හදා බැලීමෙහි වරදක් නැත. නමුත් දිගුකල් පවතින සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නට නම් ඔබේ ආරම්භය වඩා ඵලදායී ආරම්භයක් විය යුතුය. අපි මේ කතාව මෙසේ පැහැදිලි කර ගනිමු. ඔබ මහන්න දක්ෂ කාන්තාවක් විය හැකියි. ඔබ මෙන්ම මහන්නට දක්ෂ කාන්තාවන් කිහිප දෙනෙකුම ඔබේ ප්‍රදේශය තුළ සිටිය හැකියි. ඔබත් මැහුම් ක්ෂේත්‍රයේම ව්‍යාපාරයක් ඔවුන් කරන අයුරින්ම ආරම්භ කළොත් එය සාර්ථක වේවිද? නැත. ඒ අය අතරින් ඔබ දක්ෂ ව්‍යාපාරිකාවක් වන්නට නම් ඔවුන්ගේ ක්‍රමයෙන් ඔබේ ක්‍රමය වෙනස් විය යුතුය. එසේම ගැනුම්කරුවන් පිනවන අයුරින් ඔබේ නිර්මාණය ඉදිරිපත් කළ යුතුය. තවත් කෙනෙකු කරන අයුරින් ව්‍යාපාරයක් කිරීමෙන් හෝ ඉල්ලුමට අනුව සැපයුම ලබා දීමට අපොහොසත් වීමෙන් ඔබට සාර්ථක ව්‍යවසාහකයෙක් විය නොහැකියි. තවත් කෙනෙකු කරන දෙය වෙනස් විදිහට ආකර්ෂණීය ලෙස කළ හැකි නම් සාර්ථකත්වය ඇත්තේ එතැනය. -නොඑසේ නම් ඔබේ අදහස තවත් කෙනෙකුට පහළ නොවූවක් විය හැක.
අප අතර සිටින බොහෝ දෙනෙකු ව්‍යාපාරයක් කරන්නට සිතන්නේ තවත් කෙනෙකු දෙයක් කරනවා දුටු විටය. අසල්වාසියකු මල් වවනවා නම් තමනුත් ඒ දෙයම කරන්නට උත්සාහ කිරීමෙන් ඵලක් නැත. අප කළ යුත්තේ ඉල්ලුමක් ඇති දෙයකි. ඒ ඉල්ලුම කුමක්දැයි සොයා ගත හැක්කේ සමාජය තුළින්මයි. තමන් කුමන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු දැයි කිසිවෙකුගෙන් ඇසීමට ද අවශ්‍ය නැත. සමාජය තුළ ඇති ප්‍රශ්න සාර්ථකව හඳුනා ගත හැකි නම් සාර්ථක ව්‍යාපාරයක ආරම්භය එයයි. එසේ නම් ඔබ තවත් ව්‍යාපාරික අවස්ථා සොයමින් ළතැවීමට අවශ්‍යද?

 

දියුණු ව්‍යාපාර ගොඩනැගෙන්නේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙන්
ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් කලාවකි. මේ සඳහා ඔබ හොඳ සමාජ ගවේෂකයෙකු විය යුතුයි. හොඳ සමාජ සම්බන්ධතා ද ඇති කර ගත යුතුය. සමාජයේ ඇති ප්‍රශ්න හඳුනා ගත හැක්කේ මෙවැනි සමාජ ඇසුරකින්ය. අපි එය පුංචි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. අද මිනිසුන් බොහොම කාර්යබහුලයි. බොහෝ පවුල්වල ස්වාමි පුරුෂයා මෙන්ම බිරිඳත් රැකියාවල නිරත වෙති. රෑ බෝ වී නිවසට එන බොහෝ දෙනා රාත්‍රී ආහාරය පිටින් ලබා ගැනීමට පුරුදුව සිටී. නිවසට වී සිටින කාන්තාවකට මේ ගැටලුව හඳුනා ගෙන එවැනි පවුල් කිහිපයක් වෙනුවෙන් රාත්‍රී ආහාරය පිළියෙල කළ හැකි නම් එතැන ගොඩනැගෙන්නේ කදිම ව්‍යාපාරික අවස්ථාවකි. එසේම පසුගිය දිනවල ඇති වූ පොලිතින් තහනමත් සමඟ පරිසරයට හිතකර ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත ආරම්භ කළා ඔබට මතක ඇති. එහිදී බඩු ගෙන යන මලු, කෑම ඔතන පොලිතින් වෙනුවට කෙසෙල් කොළයෙන් කළ කෑම ඇසුරුම් වැනි දේට විශාල ඉල්ලුමක් නිර්මාණය විය. මෙලෙස ඔබේ ප්‍රදේශයේ නැති නම් සමස්ත රටේ විවිධ ප්‍රදේශවල ඇති ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකි නම් ඒ ප්‍රශ්නවලට නිර්මාණශීලී පිළිතුරු සෙවිය හැකි නම් එය ව්‍යාපාරයක ආරම්භය විය හැක. 

 

පටන් ගන්නා ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න නිර්මාණශීලී වෙන්න ඕනෑ.
සාර්ථකත්වය අත් කර ගත් ව්‍යාපාරිකයන් හැම කෙනෙකුම නිර්මාණශීලී වූවන්ය. අප යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් අපේක්ෂා කළ යුත්තේ දිනෙන් දින ඉදිරියට යන සාර්ථකත්වයකි. එහිදී අප නිර්මාණශීලී විය යුතුය. එය ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් විය යුතුය. ඔබ කෑම ව්‍යාපාරයක් ආරම්භ කළා යැයි සිතන්න. එම ආහාරවල රසය තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය පාරිභෝගිකයාට පිරිනමන පිළිවෙළ ද වැදගත්ය. කෑම වර්ග පාර්සලයක් ලෙස ලබා දෙනවාට වඩා හොඳ සිත් ගන්නා සුළු ඇසුරුමකින් පිරිනමන්ට හැකි නම් ඔබේ ව්‍යාපාරයට හොඳ ආකර්ෂණයක් හිමිවනු ඇත. මේ ඇසුරුම සඳහා ඔබට වැය වන්නේ පුංචි මුදලකි. නමුත් ඉන් ව්‍යාපාරයට ලැබෙන ආකර්ෂණය සහ ප්‍රතිලාභ ඔබ නොසිතන තරම් යහපත් බව අත්විඳින්නට ලැබේවි. එසේම මැහුම් ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් ඔබේ නිර්මාණ නිරන්තරව නවතාවයකින් පාරිභෝගිකයාට පිරිනමන්නට ඔබ බුද්ධිමත් විය යුතුය. මෙහිදී අලුත් වන විලාසිතා පාරිභෝගියාට හඳුන්වා දෙන පෙර ගමන්කරුවෙකු ලෙස ඔබට කළ හැකි කාර්යයන් රැසක් තිබේ. එසේම පාරිභෝගියාට ආකර්ෂණීය අයුරින් කතා කරන්නට ද හොඳ හැකියාවක් ඔබ තුළ ගොඩනඟා ගත යුතුය. මේ අතරම ඇඳුම් අලෙවිය පිණිස තබනවා නම් අසුරා තැබීම, ඇසුරුම් කිරීම ද ආකර්ෂණීය අයුරින් සිදු කිරීම ඔබේ ව්‍යාපාරයේ දියුණුවට පිටුවහලකි. 
යම් ව්‍යාපාරයකින් ඉදිරියට යන්න සිතන ඔබ ව්‍යාපාරික අදහස මතු කර ගන්නවා හා සමානවම පවත්වා ගෙන යාමේදී ගුණාත්මක මෙන්ම ආකර්ෂණීය සාධක වෙත දක්වන අවබෝධය ද වැදගත් වේ. මෙලෙස ඔබ මතු කර ගන්නා ව්‍යාපාරික අදහස ව්‍යාපාරයක් ලෙස සකස් කර ගැනීමේ දී ඔබ දැනුවත් විය යුතු කාරණා අපි ඉදිරි ලිපි තුළින් සාකච්ඡා කරමු.

විමසීම් 
ලිපිනය, නො - 420, බෞද්ධාලෝක මාවත,  බොරැල්ල.
දුරකථන අංකය 0112669233

සසිනි රණසිංහ.

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Previous

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය Read Next

ශාසනයෙහි ආරම්ය - බිනර පෝය

Realted Post

Leave a comment